කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලය විවෘත වෙයි | දිනමිණ

කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලය විවෘත වෙයි

උපාලි කරුණාරත්න
කොළඹ ගාලුමුවදොර ඉදි වූ ෂැන්ග්‍රි-ලා හෝටලය විවෘත කිරීමට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මැති ඇමැතිවරුන් ඇතුළු ෂැන්ග්‍රි-ලා හෝටල් සමූහයේ ප්‍රධානීන් පීත්ත පටිය කැපීමේ අවස්ථාවට සහභාගී වූ අයුරු. ඡායාරූපය-සුදත් සිල්වා

ශ්‍රී ලංකා අනන්‍යතාවට චීන දායකත්වය

කොළඹ ගාලුමුවදොර ඉදිකළ ෂැන්ග්‍රි-ලා හෝටලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (16) පෙරවරුවේ විවෘත කෙරිණි.

මෙම උත්සවය චීන සහ ශ්‍රී ලංකා සංස්කෘතිකාංගයන්ගෙන් විචිත්‍ර වූ අතර ගෞවරනීය ආරාධිතයා වශයෙන් පළමුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් ඉන්පසුව ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් පැමිණීමෙන් අනතුරුව උත්සවයේ වැඩ කටයුතු ආරම්භ විය. නව ආරම්භයක් සනිටුහන් කරමින් පීත්ත පටිය කැපීමෙන් අනතුරුව චීන සංස්කෘතිකාංගයක් චීන ශිල්පීන් පිරිසක් ඉදිරිපත් කළ අතර ඔවුන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු පැමිණ සිටි ආරාධිතයන්ට උපහාර දැක්වූහ.

එම සංස්කෘතික කණ්ඩායම ඉන්පසුව ආරාධිතයන් හෝටලයට කැඳවාගෙන පැමිණි අතර ජාතික ගීය ගායනා ‍කර පහන් දැල්වීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ෂැන්ග්‍රි-ලා හෝටලයේ සමරු ඵලකය නිරාවරණය කළේය.

මෙම හෝටලයේ විශේෂ අමුත්තන්ගේ සමරු පොතෙහි ප්‍රථම සටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තැබූ අතර තිස් දෙවන මහලේ පිහිටි නැරඹ්මු මැදිරියේ සිට අවට පරිසරය ද නිරීක්ෂණය කළේය. ෂැන්ග්‍රි-ලා ආසියා සමාගමේ සභාපති හූයි කුවොක් මහත්මිය පනාධිපතුතුමා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

මෙම හෝටලයේ පළමු අමුත්තන් ලෙස ජත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත රංගන ශිල්පිනී ජැකලීන් ෆර්ඩිනැන්ඩස් සහ චීනයේ ප්‍රමුඛස්ථානයක් හිමිකරගෙන සිටින ෆැන් යී රින් මහතා සහ ලූ ලූ මෙනෙවිය පිළිගන්නා ලදී.

මෙහිදී අදහස් දක්වමින් ෂැන්ග්‍රි-ලා ආසියාහි ප්‍රධාන විධායක ලිම් බින්ග් චී සඳහන් කළේ, ශ්‍රී ලංකා රජය සංචාරක ව්‍යාපාරය දියුණු කිරිම සඳහා මෙවන් විශාල හෝටල් සෑදීමට අවස්ථාව ලබාදීම අගය කරන බවයි. ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන විදේශිකයන්ට රටේ සංස්කෘතික පරිසරය සහ විටිනාකම් විදගැනීමට හැකි බවද සඳහන් කළ ප්‍රධාන විධායකවරයා ෂැන්ග්‍රි-ලා හෝටලය ශ්‍රී ලංකාවේ නව සංචාරක සංස්කාතියක් ඇතිකරන බවද කීය.

මෙම හෝටලය ලොව පුරා ෂැන්ග්‍රි-ලා හෝටල් සමුහයට අයත් 101වන හෝටලය ලෙස විවෘත වු අතර කාමර 541කින් සමන්විතය. මෙම හෝටලය කොළඹ ගාලුමුවදොර පිටියට ආසන්නව අක්කර දහයක භූමි භාගයක සිදුකරන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අධියරේ කොටසකි. ෂැන්ග්‍රි-ලා හෝටල් සමූහයට අයත් මෙම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය වර්ග මිටර් 60000ක ඉහළ පංතියේ කාර්යාල පහසුකම් සහිත කුලුනක් ද ගොඩනැ‍ෙඟෙන අතර සුඛෝපභෝගී තට්ටු නිවාස 390කින් සමන්විත කුලුනු දෙකක් ඉදිවේ. එයට අමතරව ජාත්‍යන්තර සහ දේශීය සන්නාම අලෙවිකරණ අවන්හල් සහ විනෝදාස්වාදය සපිරි සුපිරි පන්කියේ සාප්පු සංකීර්ණයක් ද මෙයට එක්වනු ඇත. හොංකොං පදනම් කරගත් Shangri-La Hotels and Resorts මේ වන විට ලෝකය පුරා පිහිටි හෝටල් සියයකට වැඩි ප්‍රමාණයක මෙහෙයුම් කටයුතු සිදුකරන අතර මේවායේ කාමර 41000කට වැඩි ප්‍රමාණයක් ඇත.

තරු පන්තියේ මෙම හෝටල් මගින් සංචාරකයන්ට සුඛෝපභෝගී පහසුකම් සහ සේවා පිරිනමන අතර ෂැන්ග්‍රි-ලා හෝටල් ඕස්ට්‍රේලියාව, කැනඩාව, චීනය, ෆීජි, ප්‍රංශය, හොංකොං, ඉන්දියාව, ඉන්දුනිසියාව, ජපානය, මැලේසියාව, මාලදිවයින, මුරුසිය, මොන්ගෝලියාව, මියන්මාරය, පිලිපිනය, කටාර්, සංගප්පූරුව, ශ්‍රී ලංකාව, ඕමානය, තායිවානය, තායිලන්තය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, එංගලන්තය රටවල පිහිටා ඇත.

මංගල සමරවීර, ජෝන් අමරතුංග, කබීර් හෂීම්, රවුෆ් හකීම්, පාඨලී චම්පික රණවක, සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ෆයිසර් මුස්තාපා, ඇමැතිවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා සහ‍ දේශපාලනඥයන්, ෂැන්ග්‍රි-ලා ශ්‍රි ලංකා හෝටල් සමුහයේ අධ්‍යක්ෂ සජාඩ් මව්සොන් යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල ආරාධිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

නව අදහස දක්වන්න