අන්තර් සමාජ පළමු පෙළ ලීග් රගර් | දිනමිණ

අන්තර් සමාජ පළමු පෙළ ලීග් රගර්

ෆවුස් මොහොමඩ්

පළමු ජය පතා සී.එච්. ක්‍රීඩකයෝ අද සී.ආර්. පිල සමඟ ගැටෙති

පසුගිය වසරට වඩා නව මුහුණුවරකින් මෙවර අන්තර් සමාජ පළමුපෙළ ඩය‍ලොග් ලීග් රගර් තරගාවලියට එක්වී සිටියත් පළමු තරග 2කදීම පරාජය විඳ දරා ගත් සී.එච්. කණ්ඩායම අද (17) පස්වරුවේ අපරාජිත සී.ආර්. කණ්ඩායම සමග කොළඹ තුරඟ තරග පිටියේදී තරග වදියි.

නාවික හමුදා රගර් පිලේ ප්‍රබල ක්‍රීඩකයන් රැසක් මෙවර තරගවාරයේ සතුකර ගැනීමට හැකිවූවත් සී.එච්.පිලට තවමත් නැගී සිටීමට අවස්ථාව ලැබී නැත. පසුගිය සතියේදී යුද හමුදා පිල හමුවේ පරාජයට පත්වූ සී.එච්.පිල පළමු තරගයේදී පරාජය වූයේ වත්මන් ලීග් ශූර මහනුවර පිලටය. එසේ වුවත් මේ තරග 2දීම සී.එච්.පිල විශිෂ්ට ක්‍රීඩා රටාවක් පෙන්නුම් කිරීමට සමත්වීම කැපී පෙනුණි. ජාතික කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩකයන් රැසක් සිටියත් මහනුවර පිලට පළමු තරගයේදී උත්සාහක දිනුම් 2කට වඩා තැබීමට සී.එච්.පිල ඉඩ තැබුවේ නැත. යුද හමුදා පිලට පරාජය වූවත් සිය දෙවැනි තරගයේ පළමු භාගයේ ලකුණු 15-10කින් පෙරමුණ ගැනීමට සී.එච්. පිල සමත්විය.

එබැවින් ජයග්‍රහණ පිපාසයෙන් පෙළෙන සී.එච්. පිල වෙතින් අද තරගයේදී සී.ආර්.පිලට දැඩි අභියෝගයක් එල්ල වනු ඇත. කෙසේ වෙතත් පිට පිට තරග 2ම ජයගෙන ප්‍රසාද ලකුණු 11ක් ලබා ලකුණු සටහනේ තුන්වැනි තැන සිටින සී.ආර්.පිල අබිබවා යාම එතරම් පහසු කරුණක් නොවනු ඇත.

පසුගිය සතියේ තරගයේ පළමු භාගය නිමාවෙද්දී ලකුණු 23-7කින් නාවික හමුදා පිල හමුවේ පසුබෑමකට ලක්වී සිටි සී.ආර්.පිල දෙවැනි භාගයේදී නැවත නැගි සිටියේ විස්මිත අයුරිනි. නිත්‍ය නායක කවිඳු පෙරේරා නීති විරෝධී ක්‍රීඩා රටාව නිසා තරග 3ක තහනමකට ලක්වීමෙන් නායකත්වයට පත්වූ තරින්ද රත්වත්තගේ විශිෂ්ට ක්‍රීඩා රටාව ජයග්‍රහණයට මං විවර කළේය.

මේ අතර ප්‍රසාද ලකුණු 12ක් ලබා ලකුණු සටහනේ පෙරමුණේ පසුවන හැව්ලොක්ස් පිල සහ පස්වැනි තැන සිටින නාවික හමුදා පිල අතර තරගය හෙට (18) වැලිසර නාවික හමුදා පිටියේදී පැවැත්වෙයි. මහනුවර ක්‍රීඩා සමාජය සහ යුද හමුදා පිල අතර තරගය නිත්තවෙලදීත්, ගුවන් හමුදා පිල සහ පොලිස් පිල අතර තරගය රත්මලානේදි අනිද්දා (19) පැවැත්වීමට නියමිතය.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...