Secret Ella, පාරාදීසයක සොදුරු නවාතැන | දිනමිණ

Secret Ella, පාරාදීසයක සොදුරු නවාතැන

මදාරා මුද­ලිගේ 
 

සීතල පිණිබිඳු ගත දැවටෙන්නේ ගීයක් මුමුණන්නාක් මෙනි. උස් කඳු යායවල් අතරින් විහිදෙන හරිත පැහැ තේ වතු මීදුම් සළුවෙන් පෙනී නොපෙනී යන්නා සේය. තුරුලිය ගොමුවෙන් දෙකොපුල්වලට පතිත වන දිය බිඳු හඟවන්නේ උදෑසන කාලයෙහි තිබූ වැසි බර කාලගුණයයි. මාර ගස මුදුනෙහි සිටි දෙමලිච්චා විගස ඈතට පියඹා ගියේ හදිසිකාරයකු පරිදිය.

සිතට මෙන්ම ගතට ද සුවදායී බවක් දැනෙන්නේ කඳුකර ප්‍රදේශයේ පවතින නිස්කලංක බව නිසාවෙනි. එකෙනෙහිම ඇසුණු " හූ... " හඬට සවන් දුන් අප ඒ වෙත දිව ගියේ මහත් පුදුමයෙනි. ශ්‍රී ලංකාවේ පිහිටා ඇති එකම ආරුක්කු නමයක් සහිත පාලම ඉහළින් දිවෙන දුම්රිය ආකර්ෂණීය අයුරින් අපට දිස් වූයේ මින් පෙර ‍නොදැකපු මනස්කාන්ත දසුනක් විලසිනි. අප මෙලෙස රැඳී සිටියේ ඇල්ල ප්‍රදේශයේ තේ වත්තක් මධ්‍යයේ පිහිටා තිබෙන ‘The Secret Ella,Luxury Planters Bungalow’ පරිශ්‍රයෙහිය.

ශ්‍රී ලංකාවෙහි යටත් විජිත යුගයේ පැවැති ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමවලට අනුගතව නිර්මාණය කර ඇති මේ හෝටල් බංගලාව තේජාන්විත ස්වරූපයකින් යුක්තය. ධවල පැහැයෙන් යුත්ත බිත්ති කියා පාන්නේ තේජාන්විත බවය. හෝටල් බංගලාව ඇතුළතට පිවිසුණු අපට දැක ගත හැකි වූයේ මීට වසර ගණනාවකට පෙර ශ්‍රී ලංකාවේ ජීවත් වූ මිනිසුන්ගේ සමාජීය, ආර්ථික මෙන්ම සංස්කෘතික සමාජ ක්‍රමය විඳහාපාන ඡායාරූප පෙළකි.

මේ සමූහ ව්‍යපාර ජාලයේ නවතම නිර්මාණය වන්නේ ‘‍The Secret Ella,Luxury Planters Bungalow’ වේ. මේ හෝටලය ඇල්ල ප්‍රදේශයේ තිබෙන ‘First Ever Planter's Bungalow Resort’ යන තේමාවෙන් ද හදුන්වනු ලබයි. ශ්‍රී ලංකාවේ සීතල දේශගුණයකින් යුක්ත කඳුකර ප්‍රදේශයක තේ වත්තක් මැද පිහිටා තිබෙන මේ හෝටලය විදෙස් සංචාරකයන්ට අමතක නොවන නිවාඩු නිකේතනයක් වී තිබෙන්නේ අවට පරිසරයෙහි තිබෙන පරිසර සුන්දරත්වය මෙන්ම පෞරාණික වටිනාකමක් ඇති ස්ථානයන් බොහෝමයක් පිහිටා ඇති හෙයිනි.

පුංචි ශ්‍රී පාදය, දෝව පන්සල, රාවණා ඇල්ල, රාවණා කන්ද, රාවණා ගුහාව, කන්ද විහාරය සහ රාවණා පන්සල මේ හෝටලය අවට තිබෙන ප්‍රසිද්ධ සංචාරක ස්ථාන වේ. එමෙන්ම මුළු ලෝකයේම ප්‍රසිද්ධියට පත්ව තිබෙන ශ්‍රී ලංකාවේ තිබෙන ආරුක්කු නමයක් සහිත පාලම නැතහොත් දෙමෝදර පාලම, නැරැඹීම සඳහා විශේෂයෙන්ම විදෙස් සංචාරකයන් මෙහි පැමිණෙන්නේය. මේ හෝටල් භූමියේ සිට පහළින් පිහිටා තිබෙන දෙමෝදර පාලම උඩින් ගමන් කරන දුම්රිය ද අපූරුවට දැක බලා ගැනීමට ද විදෙස් සංචාරකයෝ මහත් රුචිකත්වයක් දක්වති.

මේ හෝටලය සඳහා 2016 වර්ෂයේ දී world Luxury Hotel සම්මාන උළෙලේ දී Luxury Hotel -best seenic Enviroment සම්මානය හිමි විය. මෙය ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාවට විශාල කීර්තියක් ලබා දුන් අවස්ථාවක් වේ. තව ද 2016 වර්ෂයේ දී Trip Advisor මඟින් Certificate of Excellence ජයග්‍රහණය ද හිමි කර ගත්තේය. මේ වන විට Trip Advisor හි ඇල්ල ප්‍රදේශයේ තිබෙන හොඳම හෝටල් අතුරින් 01 වැනි ස්ථානය හිමි වී ඇත්තේ 98 Acres Resort and spa හෝටලයටය. එමෙන්ම එහි 02 වැනි ස්ථානය ගෙන තිබෙන්නේ මේ සමූහ ව්‍යාපාරයේ හෝටලයක් වන The Secret Ella හෝටලය වීම සුවිශේෂීත්වයකි.

U.H.E සමූහ ව්‍යාපාරයේ සභාපති වන ධර්මසිරි අබේරත්න මහතා The Secret Ella හෝටලය පිළිබඳ අදහස් දැක්වූයේ මෙපරිදිය.

‘මේ හෝටලයට පැමි‍ණෙන දෙස් විදෙස් සංචාරකයන්ට සුවිශේෂී අත්දැකීම් රාශියක් ලබා ගන්න පුළුවන්. ඒ අතරින් අපගේ සමූහ ව්‍යාපාරය යටතේ තිබෙන ඌව හල්පේවත්ත තේ කර්මාන්තශාලාව දෙස් විදෙස් සංචාරකයන්ට දැක බලා ගන්න අපි අවස්ථාව ලබා දෙනවා‍.

ඒ වාගේම අපගේ තේ කර්මාන්තශාලාවේ දී නිෂ්පාදනය කරන තත්ත්වයෙන් උසස් තේ කෝප්පයක රස විඳීමේ අවස්ථාවත් අප ලබා දෙනවා. ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තශාලාවක සිදු කරන ක්‍රියාවලීන් මැනවින් නිරීක්ෂණය කරන සංචාරකයන්ට පෙර නොවූ වීරූ අත්දැකීමක් විඳ ගන්න පුළුවන් වෙනවා. ඒ වාගේම අපගේ 98 Acres Resort and spa එක මඟින් ශරීර සම්භාහනයන් සිදු කර ගැනීමට පුළුවන්. විශේෂයෙන්ම විදේශිකයන්ට මෙය සුවිශේෂී අවස්ථාවක්. අපගේ තේ කර්මාන්තශාලාවක තේමාව මත නිර්මාණය කළ රෙස්ටුරන්ට් එකෙහි තේවලින් සකසන ලද විවිධ ආහාරපාන රසවිඳීමේ අවස්ථාවත් සංචාරකයන්ට හිමි වෙනවා. 

 

නව අදහස දක්වන්න