පොලාඩ් ඩකා පිල ඔසවා තබයි | දිනමිණ

පොලාඩ් ඩකා පිල ඔසවා තබයි

 කිරන් පොලාඩ් ගේ වේගවත් පිති හරඹය හේතුවෙන් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 13වැනි තරගයෙන් ජයගත් ඩකා ඩයිනමයිට්ස් පිල ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් විය.

ඩකා හිදී පැවැති තරගයෙන් ඩයිනමයිට්ස් පිල හමුවේ අකිල ධනංජය ක්‍රීඩා කරන කුල්නා ටයිටන්ස් පිල කඩුලු 4කින් පරාජයට පත්විය. තරගයේ පළමුව පන්දුවට පහරදුන් කුල්නා පිල ලකුණු 156කට සීමාකළ ඩයිනමයිට්ස් ක්‍රීඩකයෝ පන්දුවක් ඉතිරිව තිබියදී ජය හිමිකර ගත්තේ කඩුලු 6ක් පමණක් අහිමිකර ගනිමිනි.

ලකුණු 41කට කඩුලු 5ක් අහිමිව තිබියදී ජහුරුල් ඉස්ලාම් සමග එක්වූ කිරන් පොලාඩ් ඩයිනමයිට්ස් පිල ජයග්‍රාහී මාවතට ගෙන ගියේ වේගවත් ලකුණු 73ක සබඳතාවක් පිහිටුවමිනි. ඔහු පන්දු 24කදී වේගවත් ලකුණු 55ක් කළේ හතරේ පහර 3කින් හා හයේ පහර 6කින් වර්ණවත් කරගනිමිනි. නොදැවී ලකුණු 45ක් රැස්කළ ඉස්ලාම් හතරේ පහර 5ක් සමගින් පන්දු 39කට මුහුණ දුන්නේය.

පළමුව පන්දුවට පහරදුන් කුල්නා ඉනිමට වේගවත් ලකුණු 64ක් එක් කිරීමට කාර්ලෝස් බ්‍රැත්වේට් සමත් විය. පන්දු 29කට මුහුණදුන් ඔහු හතරේ පහර 4ක් හා හයේ පහර 6ක් ඉනිමට එක්කර ගත්තේය.

මුණවීරලාගේ පිල පරදි

මේ අතර ඩිල්ෂාන් මුණවීර ක්‍රීඩා කරන චිතගොං වයිකින්ස් පිල සමග තරගාවලියේ 14වැනි තරගයෙන් කඩුලු 6ක ජයක් කොමිලා වික්ටෝරියන්ස් පිලට හිමිවිය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් චිතගොං පිල කඩුලු 4ක් දැවී ලකුණු 139ක් රැස්කළ අතර එම ඉලක්කය කඩුලු 4ක් දැවී තිබියදී පසුරා ගැනීමට කොමිලා පිලට හැකිවිය.

ජයග්‍රාහී කොමිලා පිල වෙනුවෙන් ඉම්රුල් කේයස් පන්දු 36කින් ලකුණු 45ක් හා ජොස් බට්ලර් පන්දු 31කින් ලකුණු 44ක් රැස් කළහ.

ඩිල්ෂාන් මුණවීර ලකුණු 17කට කඩුලු 2ක් දවාගත් අතර සුන්සමුල් ඉස්ලාම් ද කඩුලු 2ක් දවාලීය.

නව අදහස දක්වන්න