උභතෝකෝටික උන්මන්තකයෙක් කඩාවදී | දිනමිණ

උභතෝකෝටික උන්මන්තකයෙක් කඩාවදී

රන්ජන් අමරරත්න
සමන් වික්‍රමාරච්චි

අපූරු කතා වස්තුවත්, නව ආකෘතියත් නිසා; මේ නවකතාව පාඨකයා අලුත් ප්‍රබන්ධ ලෝකයකට රැගෙන යයි. මනෝ විශ්ලේෂණ සිද්ධාන්ත පදනම් කොට සිදු කරන ජීවිත විවරණය නිසා; මේ නවකතාව පාඨකයාගේ ඥාන මණ්ඩලය අවදි කරයි.

සමන් වික්‍රමාරච්චි මහතාගේ අභිනව ප්‍රබන්ධය ‘අප්පච්චි ඇවිත්’ යනුවෙන් ප්‍රකාශයට පත් වී තිබේ. කෘතිය මේ වනවිටත් බොහෝ දෙනකුගේ අවධානයට ලක් වී ඇත. මේ නවකතාව මූලික වශයෙන් මනෝ විශ්ලේෂණාත්මක ප්‍රබන්ධයක් හැටියට හඳුන්වා දිය හැකි ය. සිංහලයේ මනෝ විද්‍යාත්මක නවකතා කිහිපයක් පිළිබඳ සංවාදයක් පැවැතියේ වුව, මනෝ විශ්ලේෂණාත්මක ප්‍රබන්ධ ගැන සඳහනක් අප දැක නැත. ලෝක ප්‍රබන්ධ කථාවලිය තුළ මනෝ විශ්ලේෂණාත්මක කෘති ගැන සඳහන් වේ. එබඳු කෘති ගණනාවක් ගැන අපේ රටේ ද සංවාද පවත්වා ඇත. මනෝ විශ්ලේෂණාත්මක නවකතාවට පාදක වූයේ සිග්මන් ප්‍රොයිඩ්ගේ නියමයන් යැයි කිව හැකි ය. මේ ගණයේ ප්‍රකට නවකතාවක් හැටියට රොබට් බ්ලොව් ගේ ‘සයිකෝ’ ප්‍රබන්ධය පෙන්වා දිය හැකි ය.

සයිකෝ නවකතාවේ ප්‍රධාන චරිතය වන නෝමන් බෙට්ස්ගේ චර්යාව හා චින්තනය සඳහා ඔහුගේ මියගිය මවගේ බලපෑමක් තිබේ. බෙට්ස් මව මිය ගිය බව පිළිගන්නේ නැත. මළමිනිය ගබඩා කාමරයක තබාගෙන ඇයගෙන් උපදේශන ලබාගනී. තානායම්කරුවකු වන ඔහු මිනිස් ඝාතන කිහිපයකට සම්බන්ධ වෙයි. ඝාතන සිදුවන්නේ මවගේ බලපෑමට අනුව ය. මව - පුත්‍රයාට බලපාන ආකාරයට අදාළ විද්‍යාත්මක සාක්ෂි ද පවතී. එහෙත්, නෝමන් බෙට්ස් වරදකරුවකු කරන්නේ කෙසේ ද? බැලූ බැල්මට ඔහු සාමාන්‍ය පුද්ගලයෙකි. එහෙත් ඔහුට ආවේශයක් තිබේ. බලපෑමක් තිබේ. ඔහු මානසික විපර්යාසයකට ලක් වූ තැනැත්තෙකි.

මේ නවකතාව පාඨකයාගේ දැඩි ආකර්ෂණයට ලක්වන්නේ කතාවෙන් මතුවන ත්‍රාසය, භීතිය හා කුතුහලය මූලික කරගෙන ය. ඒ හැරෙන්නට සිග්මන් ප්‍රොයිඩ්ගේ නියමයන් ඇසුරුකොට සිදු කෙරෙන ජීවිත විවරණයක් ද මෙහිදී දැකගත හැකි ය.

අප්පච්චී ඇවිත් නවකතාවේ කතා වස්තුව ගැළපීම, ආකෘතිය, සන්දර්භය පමණක් නොව ආඛ්‍යාන ශෛලිය පවා වෙනස් ය. සයිකෝ කෘතිය සමඟ මෙය සැසඳිය හැක්කේ සිග්මන් ප්‍රොයිඩ්ගේ විධි - නියම හා සංකල්ප ඔස්සේ ජීවිත විවරණයකට යන බැවින් ය. අප්පච්චී ඇවිත් කතාවේ ප්‍රධාන චරිතය නිස්සංක සේනාධීර නම් වේ. ඔහුට බලපාන මානසික ව්‍යාධිය වන්නේ අප්පච්චීගේ බලපෑම ය. පියා මියගොස් වසර ගණනාවක් ගෙවී ඇතත්; ඔහු පියා කැටුව මනසින් ජීවත් වෙති. ඔහු සියලු ගැටලු සඳහා අප්පච්චිගේ උපදේශනය අපේක්ෂා කරයි. කොටින් ම ඔහුගේ නිවෙසේ කාමරයක අප්පච්චී ජීවමානව සිටී. ඔහු වරෙක අප්පච්චී සමඟ බැඩ්මින්ටන් සෙල්ලම් කරති.

කතාවේ ප්‍රධාන ගැටුම මතුවන්නේ මිනිස් ඝාතන තුනක් පිළිබඳ සිදුවීම් සමඟ ය. එක ඝාතනයක් සඳහා නඩු විභාග හෝ පරීක්ෂණ හෝ නැත. එය ඝාතනයක් ලෙස සනාථ කිරීමට අදාළ භෞතික සාධක නැත. මළ සිරුරක් පවා නැත. එම ඝාතනය පිළිබඳ තොරතුරු හෙළි කරන්නේ ප්‍රධාන චරිතය යි. එය අබිරහස් මරණයක් සේ පෙනෙයි. එහෙත් එය ඝාතනයක් පිළිබඳ පරිකල්පනයක් හෝ ඒ සම්බන්ධ ප්‍රබන්ධයක් හෝ හැටියට ද සලකන්නට පුළුවන. අනෙක් ඝාතන දෙක සම්බන්ධයෙන් භෞතික සාධක පවතී. මළ සිරුරු පවතී. සාක්ෂි පවතී. නඩු විභාග ද පැවැත් වේ.

දෙවනුව සඳහන් කළ ඝාතන දෙක කතාවට අදාළ මූලික සිදුවීම ලෙස ද ගත හැකි ය. ඝාතනයට ලක් වී ඇත්තෝ නිස්සංකගේ බිරිය හා දුව වෙති. සැකකරුවා නිස්සංක ය. ඔහු තම බිරිය හා එක ම දියණිය මරා දමා ඇතැ’යි සැකයක් පවතී. හැබෑවට ම ඝාතකයා කවු ද? නිස්සංක ද? නැතහොත් ඔහුගේ මිය ගිය පියා ද? ගැටලුව ඇත්තේ එතැන ය. මියගිය අප්පච්චිගේ ආත්මය නිස්සංකට ආවේශ වී තිබේ ද? නිස්සංක උමතු රෝගියෙක් ද? නවකතාවේ අන්තර්ගතය ඉතා සංකීර්ණ ය.

අප්පච්චී ඇවිත් නවකතාව ආකාර දෙකකින් විග්‍රහයට ලක් කළ හැකි ය. එක ආකාරයක් වන්නේ මනෝ විශ්ලේෂණය පිළිබඳ අධ්‍යයනයක යෙදෙමින් කතාකරුවාගේ දැක්ම හා නිරූපණ පැහැදිලි කිරීම ය. ඒ සඳහා සිග්මන් ප්‍රොයිඩ්ට සමගාමී මනෝ විශ්ලේෂකයන්ගේ නියමයන් දෙසට ද අවධානය යොමු කළ යුතු ය. කාල් ලෙස්ලි, බී.එෆ්.ස්කිනර්, ඒබ්‍රහම් මොස්ලෝ, ජෝන් වොට්සන්, විලියම් ‍ජේම්ස් ඒ අතර කිහිප දෙනෙකි. අනෙක් ආකාරය වන්නේ ප්‍රබන්ධ කථාවක් හැටියට ගෙන මේ කෘතියෙහි රස - භාව - අර්ථ හා ශිල්ප ධර්ම විග්‍රහයට ලක් කිරීම ය. අපගේ අවධානය යොමු වන්නේ දෙවැනි ආකාරය වෙතට ය.

නිස්සංකගේ චරිතය ගොඩනඟා ඇත්තේ අපූරු විලාසයකට ය. පළමුව මේ චරිතයට පාඨකයා ආකර්ෂණය වෙයි. ඔහු ඉතා යුක්ති සහගත දක්ෂ පුද්ගලයකු බව ද , විශ්වාසවන්ත පුද්ගලයකු බව ද අපට දැනෙයි. ඔහු කැටුව දුර ගමනක් යෑමට පාඨකයෝ පෙලඹෙති. ඔහු උමතු රෝගයකින් පෙළෙන බව කියන්නෝ සෙසු පුද්ගලයෝ ය. නඩු විභාගයේ සාක්ෂිවලින් ද, විත්තියෙ නීතිඥයාගේ දේශනයෙන් ද සාක්ෂාත්වන්නේ ඔහු උමතු රෝගියකු හා මිනීමරුවකු වන බව ය. එහෙත් තීන්දුව පාඨකයාට භාරකොට තිබේ. නඩු විභාගයේ අවසානයක් දක්වා නැත. උත්කර්ෂයට නංවා ඇත්තේ නිස්සංකගේ චරිතය යැයි කියන්නට පුළුවන.

නිස්සංකගේ චර්යා රටා හා චින්තන රටාකෙරෙහි බලපාන ප්‍රධාන බලවේග දෙකක් තිබේ.

(I)පියාගේ බලපෑම

(II)ඔහුගේ ම කල්පනා ලෝකය

ජීවමාන මිනිසුන් කෙරෙහි මළවුන් බලපාන ආකාරය ගැනත්; ජීවමාන මිනිසුන් මළවුන් කෙරෙහි දක්වන ආකර්ෂණය ගැනත් පර්යේෂණ සිදු වී ඇත. මේ විෂයය ‘නෙත්‍රොෆීලියා’ ලෙස හඳුන්වයි. නිස්සංක ඔස්සේ එම විෂයයට ද සමීප විය හැකි ය.

“උඹට එහෙම යන්න බැහැ” උඹ ඉන්න ඕන මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ”

(පිටුව 41)

“ඔය උඹේ කතා හැම එකක් ඇතුළෙම ඉන්නෙ මමනෙ, කියපන් ඉතින්!”

(පිටුව 58)

මේ සංවාද දෙකෙන් ම මතුවන්නේ අප්පච්චී නිස්සංක කෙරෙහි බලපවත්වන ආකාරය යි. හෙවත් පියා - පුතාට බලපාන ආකාරය යි. ඊළඟට මේ සංවාද ඔස්සේ මතුවන්නේ පියා කෙරෙහි දැඩි සේ ආශක්ත වූ සයිකෝසිකයෙකි. නිස්සංක හැබෑවටම පියා කෙරෙහි ආශක්ත වන්නේ කුමක් නිසා ද? පියා කෙරෙහි දක්වන බිය, වෛරය, ආදරය යන ඕනෑම දෙයක් විය හැකි ය.

කතුවරයා දක්වන යටි අරුත ඊට වඩා වෙනස් ය . ඔහුට අනුව නිස්සංක යනු පූර්ණ නිදහස ‍සොයා යන මිනිසෙකි. ඒ අනුව ඔහුට පවුල් චක්‍රය ඇතුළු සියලු සබඳතාවලින් නිදහස් වීමට අවශ්‍ය වේ. එහි ප්‍රතිඵලය සබඳතා මරා දැමීම ය. සබඳතා මරා දැමීම සඳහා පුද්ගලයන් ඝාතනය කිරීමට වුව පෙලඹිය හැකි ය. ප්‍රොයිඩ්ගේ සංකල්ප තවදුරටත් විස්තාරණය කරන ලැකාන් - ජි පැක් ආදීන්ගෙ විග්‍රහවලට අනුව මේ තත්ත්වය වටහාගත හැකි ය.

පුද්ගලයා සතු විසිතුරු ප්‍රබන්ධ ලෝකය ජීවිතය ගැඹුරින් වටහාගත හැකි තවත් සාධකයෙකි. නිස්සංකට පුළුල් පරිකල්පන ලෝකයක් තිබේ. අප්පච්චී පවා එය දන්නා බව කතුවරයා හඟවයි. කතුවරයාට අනුව නිස්සංකට ද එය වැටහෙයි.

“නවත්තපන් උඹේ ඔය පචගැහිල්ල මම දන්නෙ නැද්ද උඹේ හැටි. ‍අතේ පැළවෙන බොරු ගොතලා කියන්න උඹ ඒ කාලෙ ඉඳලම හපනානෙ.”

(පිටුව - 56)

“කොතනින් පටන්ගත්තත් උඹ මට කියන්නෙ උඹම හදාගත්ත කතාවක් තමයි. ඒකෙ වෙනසක් නැහැ. ඉතින් කියාපන් තෙපරබාන්නෙ නැතිව.”

(පිටුව - 82)

නිස්සංක පාසල් සමයේ පසුවන විට පියාගේ කා‍ර්යාලයට යයි. එහිදී කාර්යාල සේවකයන්ගේ විමසීම්වලට පිළිතුරු

සපයන ඔහු කියා සිටින්නේ, තමා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන බවයි. ඔහු මේ මඟින් සිය පියා ද අපහසුවට පත් කරයි. කල්‍යාණිගේ මරණය සම්බන්ධ කතාව ද ඔහුගේ පරිකල්පන ලෝකයට අයත් ය. පළමුවරට මෙය හෙළිවන්නේ අප්ච්චී සමඟ කරන තවත් සංවාදයකදී ය.

“කව්ද කල්‍යාණි කියන්නෙ?”

“ඇයි අප්පච්චි මම කිව්වෙ නැද්ද?

මගෙ අතින් මැරුණේ කළ්‍යාණිනෙ!”

(පිටුව -100 )

පුද්ගලයා සතු ප්‍රබන්ධ ලෝකය අමුතු දෙයක් නොවේ. එය අප සියල්ලන් ම අත්දකින දෙයකි. ඇතැම් කුඩා දරුවෝ තරගයට මෙන් ප්‍රබන්ධ ගොතා කියති. ඒවා අමූලික බොරුවන්නේ වුව; දරුවන්ගේ ආශාවන්, සතුට හා සිහින එහි රැඳී තිබේ. පුද්ගලයාගේ ෆැන්ටසිය ලෙස එය හැඳින්විය හැකි ය. ෆැන්ටසි අධ්‍යයනය යනු ජීවිතය ගැඹුරින් හැදෑරීමකි. නිස්සංකගේ චර්යා ඔස්සේ ජීවිතයේ ඇතුළාන්තය ස්පර්ශ කළ හැකි ය.

මේ කතාවේ පිටු අංක 144 සිට පිටු අංක 148 දක්වා ඇති පරිච්ඡේදය (අප්පච්චී ඇවිත් නවකතාවේ පරිච්ඡේදවලට අංක නැත) නිමැවී ඇත්තේ දුරකථන සංවාදයකින් ය. එම සංවාදය මිනිසා හා ගැහැනිය අතර පවත්නා ලිංගික ආශාව පිළිබඳ ෆෑන්ටසියක් සේ ගත හැකි ය. එය විවිධාර්ථ සහිත සංවාදයකි. කතුවරයා එය ශූර ලෙස නිර්මාණය කර තිබේ. එයින් ලිංගිකත්වය පිළිබඳ ආකර්ෂණයක් ද මතුවෙයි.

නිස්සංක හා මනෝ වෛද්‍යවරයා අතර පවත්නා සංවාදය පාඨක ආකර්ෂණය දිනා ගනු ලබන තවත් අවස්ථාවකි. එම සංවාදයට අනුව නිස්සංක නම්; උමතු රෝගියාට ‍වෛද්‍යවරයා රැවටෙයි. නිස්සංක රෝගියකු නොවන බව ද , ශූර කපටියකු වන බව ද එහිලා සනාථ වෙයි.

‘ඒ විදිහට හිතන්නෙ හරි දැනෙන්නෙ හරි පිස්සන්ටනෙ ඩොක්ටර්. මට නම් කවදාවත් එහෙම දෙයක් දැනිලා නැහැ.”

(පිටුව - 111)

වෛද්‍යවරයා මේ අවස්ථාවේ මහත් අපහසුවට පත්වෙයි. ඔහු පුටුවේ ඇඹරෙයි. නිස්සංක දෙබිඩි චරිතයක්දැ’යි පාඨකයා අනුමාන කරයි. සෑම පුද්ගලයකුටම දෙබිඩි ජීවිතයක් තිබිය හැකි ය.

අප්පච්චී ඇවිත් කතාව ආරම්භ වන්නේ මරණ පරීක්ෂණයේ සාක්කි විභාගයකින් ය. එය “ මරණ පරීක්ෂණයක සාක්කි කිහිපයක්” ලෙස නම් කර තිබේ. රහස් පරීක්ෂක කතාවක ස්වරූපය ද, අපරාධ නවකතාවක ස්වරූපය ද ඇතිව කතාව විකාශනය වෙයි. මේ අතර ප්‍රධාන චරිතයෙහි කාල්පනික ලෝකය හෙළිදරව් කරන පොතක් තිබේ.

එය ද නඩුවේ සාක්ෂියක් ලෙස සටහන් වී ඇත. කතාවේ අවසන් භාගය නිමවා ඇත්තේ නඩු විභාගයේ කොටස්වලින් ය. එහිලා විත්තියේ නීතිඥයා ප්‍රකාශ කර සිටින්නේ නිස්සංක උමතු රෝගියකු බව ය.

කතුවරයා සංවාදවලට ප්‍රමුඛ තැනක් ලබාදී ඇත. වරෙක එය චිත්‍රපට තිරනාටකයක් ලෙස පෙනී යයි. මෙවර මෑන් බුකර්ස් (2017) දිනාගත් ජෝර්ජ් සොන්ඩර්ස්ගේ “ලින්කන් ඉන් ද බ්‍රාඩෝ” කෘතිය ද සංවාදවලට මුල් තැන දී රචනා වී ඇත. සමන් වික්‍රමාරච්චි මහතාගේ ආඛ්‍යාන රටාව හා ආකෘතිය ‍වෙනස් ය. එය සිංහල ස්වතන්ත්‍ර නවකතාවට අලුත් හැඩයක් ලබාදී ඇති බව පෙනෙයි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...