ළමයින්ට හීනවල ජීවත් වෙන්න දෙන්න ඕනැ | දිනමිණ

ළමයින්ට හීනවල ජීවත් වෙන්න දෙන්න ඕනැ

කාංචනා අමිලානි
දේවිකා වඩිගමංගාව

"මට තිබුණෙ හිතුණු දේ කියන්න පුළුවන්, කරන්න පුළුවන් බොහොම නිදහස් ළමා කාලයක්. හරියට ක්ලාරටයි, ඇගේ මල්ලිටයි වගේ. කාලයක් තිබුණා, කවුරු හරි මගෙන් ඇහුවම ලොකු වුණාම කවුරු වෙන්නද ආසා කියලා. මම කියනවා, 'මට එඩේරෙක් වෙන්න ඕනා' කියලා. ඒ මං පොඩි කාලෙ කියවපු චීන ළමා කතන්දර පොතක් නිසා. එතකොට සමහරු මගෙන් අහනවා 'ඔයා ගෑනු ළමයෙක්නෙ, කොහොමද එඩේරෙක් වෙන්නෙ කියලා?'

දේවිකා වඩිමංගාව ප්‍රකට මාධ්‍යවේදිනියකි. වසර විස්සකට අධික කාලයක් ළමා පුවත්පත්වල සේවය කළ ඇය, දැන් වෙසෙන්නේ ජර්මනියේ ය. හැම්බර්ග් සහ දාම්ස්ටඩ් නගරයන් හි ජර්මන් භාෂා අධ්‍යයන ආයතනයෙන් ක්‍රමාණුකූලව ජර්මන් බස හැදෑරූ ඈ, ජර්මන් බසින් සිංහලට පරිවර්තනය කළ පළමු ළමා කෘතිය 'මමයි මගේ අක්කා ක්ලාරායි' නමින් පසුගියදා නිකුත් විය. මේ සටහන ඒ නිමිත්තෙනි.

මම නාන බාල්දියේ බැහැලා සබන් බුබුළු පුම්බමින් උන්නේ. ඒ හැම සබන් බුබුළකටම වෙනස් හැඩයක් තිබ්බා. සමහර ඒවා හරි ම කුඩායි. විසාලෙටම පාවෙවී තිබුණු ඒවා සාමාන්‍ය බැලුම් බෝලයක ප්‍රමාණයට විසාලයි. ඒවා ඇතුළෙ තවත් කුඩා බුබුළු තිබ්බා. විනිවිද පෙනෙන බුබුළු ඇතුළෙ පුංචි කෘමීන් දගල දගලා ඇවිදිනවා වගෙයි මට පෙනුණේ. එයින් එක කෘමියෙක්ව අල්ලලා බලන්න ආපු ආසාව මට වළක්වා ගන්නම බැරි වුණා. දෙපාරක් නොහිතාම මම විසාල සබන් බුබුළුකට ඇගිල්ලෙන් ඇනලා කෘමියාව ඇල්ලුවා.

ඒත් එක්කම නාන කාමරේ දොරට තට්ටු නොකරම ක්ලාරායි, ක්ලාරාගේ මල්ලියි මගේ ඉදිරියේ පෙනී හිටියා. මං හිටියේ නාන බාල්දියේ. මතකයිනේ? කලින් කිව්වනේ ඉතිං. අමතක වෙන්න විදිහක් තියෙන්න බැහැනේ. හැබැයි ඔන්න ක්ලාරායි-ක්ලාරාගේ මල්ලිවයි පටලවා ගන්නෙපා. මම නැවත ඒක නම් කියන්නෙ නෑ.

'හා.... ඔයා නානවා. සබන් බෝල පුම්බනවා. අරහෙ ටෝනි මාමා අපේ පස්වෙනි තට්ටුවේ කාමරයක් කුලියට අරන්.'

'ඉතිං?'

එහෙම ප්‍රශ්නයක් අහන එක නරකයි වුණත්, මට තේරුම් ගන්න බැරි වුණා ක්ලාරායි-ක්ලාරගේ මල්ලියි කියන්නෙ මොකක්ද කියලා. ඉතිං ඒ දෙන්නා කලින් කියපු වාක්‍යයම අඩුපාඩුවක් නැතිව ඒ තානයෙන්ම ආයෙත් කිව්වා. මම හිතන්නේ ඔන්න මාව ඒ පොඩ්ඩො දෙන්න යස නූල් බෝලෙක පැටලෙව්වා කියලයි. දැන් මේ පැටලීම ලිහා ගන්න නාන බාල්දියෙන් බිමට බැහැලා ක්ලාරයි-ක්ලාරගෙ මල්ලියි එක්ක එළිමහනට යන්න වෙනවා. මොකද මගේ ඉස්සරහා ඉතාම පුංචිවට හිටගෙන ඔවුන් ඉන්නවා. ටීක් බෝල වගේ දීප්තිමත්, වටකුරු ඇස්වලින් නොනවතින ආලෝකයක් නිකුත් වෙනවා.

'හා.... මට තේරෙනවා. මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් මම සබන් බෝල පුම්බන එක වැ‍රැදියි. මම එන්නම්. ඔයාලා දොර වහගෙන යන්න'

ඒක සාධාරණ ඉල්ලීමක් නිසා ක්ලාරයි-ක්ලාරගෙ මල්ලියි කුඩා වටකුරු හිස් වනලා එළියට යන්න එකඟ වුණා. මම මගේ ම හිත ඇතුළට පිවිසුණා.

දිමිතර් ඉන්කියොව් ගෙ Ich und meine Schwester Klara කතා මාලාව ජර්මානු බසින් සිංහලට නැඟුව ප්‍රකට පරිවර්තිකාවක, දේවිකා වඩිගමංගාව දිහාවට මං දෙවරක් නොහිතා හැරුණා. සබන් බෝල ගැන වධ නොවීම මං ඇගෙන් ප්‍රශ්නයක් ඇහුවා.

'ඇයි මේ පොත පරිවර්තනය කළේ? මොකක්ද මේකෙ තිබ්බ විශේෂත්වය?'

අතත්‍ය අවකාශයක අපි දෙන්නම හිටියේ. මට ඈ පෙනුණෙ නැතත්, ඇගේ කටහඬේ තිබ්බ උණුසුම මට තේරුණා.

"අපි ජර්මනියට ආපු මුල් කාලෙ වැඩිපුරම කාලෙ ගත කළේ පුස්තකාලවලයි. මම වැඩිපුරම හිටියේ ළමා පොත් තියෙන පැත්තේ. වැඩිපුර කියෙව්වෙත් ළමා පොත්. ළමා අංශෙ හැමෝම හරිම උනන්දුවෙන් අරගෙන කියවන පොතක් තිබ්බා. මමත් ඒක කියවලා බැලුවා. අන්න එහෙම කියවපු, මුලින්ම මගේ හිත ගත්ත ජර්මන් ළමා පොත තමයි දැන් මේ පරිවර්තනය කරලා තියෙන්නේ. මේ පොත කියවපු ගමන් මට හිතුණේ මේ ඉන්නෙ මමම තමයි නේද කියලා. මට මගේ ළමා කාලය මතක් වුණා. කොහොමත් මම තැන්පත් ළමයෙක් වෙලා හිටියෙ නෑ කියන එකත් මතක් වුණා. අපේ පවුලේ ළමයි හය දෙනෙක් හිටියා. මම තුන් වැනියා. මගෙ හැම දඟ වැඩකටම මම කොහොම හරි මල්ලි සම්බන්ධ කරගත්තා. මේ පොතේ තියෙන සමහර සිද්ධි මගේ ඒ ළමා කාලයට සමානයි. ක්ලාරා පොත් මාලාවේ මුල් පොත් දෙක පරිවර්තනය කරන්න ඒකත් ලොකු හේතුවක් වුණා.

ඒ වගේම ශ්‍රී ලංකාව ඇතුළේ ළමයින් වෙනුවෙන් ගොඩක් ජර්මන් පොත් පරිවර්තනය වෙලා තිබුණේ නෑ. ග්‍රිම් කතන්දර වගේ හොඳටම ජනප්‍රිය ළමා කතා ඇරෙන්න, වෙන පොත් ගැන අපි වැඩිය අහලා තිබ්බෙ නෑ. ඒකත් හේතු වුණා මේ පොත් පරිවර්තනය කරන්න. අනිත් එක ක්ලාරා කතා මාලාව ලියපු ලේඛකයා වෙන රටක ඉඳන් ජර්මනියට ආපු කෙනෙක්. එයා ආවෙත් තමන්ගෙ රටෙන් පි‍ටුවහල් වෙලා. ඊට පස්සේ ඉගෙනගන්න ටිකක් අමාරු භාෂාවක් වෙච්ච ජර්මන් ඉගෙන ගෙන ළමා පොත් 100ටත් වඩා ලිව්වා. ඔහු ලිව්ව භාෂාව හරි ම ජීවමානයි. සරලයි. ඒ වගේම ඔහු මාධ්‍යවේදියෙක්. මෙහි එන දේ අපේ කතාවලටත් යම් තරමක් සමානයි. මමත් ඒ වෙනකොට හිටියේ අමාරුවෙන්. ජර්මන් භාෂාව ඉගෙන ගනිමින්. අනිත් එක ක්ලාරා කියන්නේ මගේ හිත ගත්ත මුල්ම පොත. මේ ඔක්කොම හේතු නිසා තමයි ක්ලාරා පොත් මාලාව මට විශේෂයි."

පොරොන්දු ඉ‍ටු කිරීම ගැන ඊළඟට මට මතක් වුණා. නාන බාල්දියෙන් කඩිනමින් බිමට බැහැගෙන, ඇඳුම් ඇඳගෙන, කොණ්ඩය තෙත පිටින්ම මම එළියට එද්දි ක්ලාරයි-ක්ලාරගෙ මල්ලියි දිග ලී බංකුවක වාඩි වෙලා උන්නා. ක්ලාරගෙ මල්ලිගේ කුඩා අතක් වම් කම්මුලේ ‍රැඳවිලා තිබ්බ විදිහ බලන්නත් ලස්සනයි. එයාගේ කලිසම් සාක්කුවෙන් එළියට පැනලා තිබ්බ ටොෆී කිහිපය බිමට වැටෙන්න ඔන්න-මෙන්නයි තිබ්බේ.

ටෝනි මාමව බලන්න එයාලගේ පස් වැනි තට්‍ටුවට පඩිපෙළේ නැඟගෙන යන අතරතුර, ටෝනි මාමා ගැන මම දැනගන්න ඕනා සියලු ම විස්තර දැනුම් දෙන්න මොවුන් සමත් වුණා. කොටින්ම ටෝනි මාමාට විශ්වවිද්‍යාලෙදි මුණ ගැහුණු පෙම්වතී ගැනත් ඉතා ම පැහැදිලි විස්තරයක් මට දැනගන්න පුළුවන් වුණා.

ළමා කතාවක් ඇතුළට ගියාම නැවත එළියට එන්න බැරි වෙන්නෙ ඇයි කියලා මම දැන් පැහැදිලි කරන්නම්. මේ මොහොතෙ සිද්ධ වෙලා තියෙන්නෙ අන්න එහෙම දෙයක්. 'මමයි මගේ අක්කා ක්ලාරා යි' කියන්නේ අන්න එහෙම විස්ම ලෝකයක්. කුඩා දරුවන්ගේ ලෝකයට ඉතා ම මෘදුව පිවිසීම පහසු කාර්යක් නෙවෙයි. කියැවීමේ කලාපයේ ළමයින්ට වෙන්වුණ ඉඩ ඉතා ම සීමිතයි. ඒ සීමිත ඉඩකඩේ ගුණාත්මක කියැවීමක් කරා ළමයින් යොමු කරවන සුළු කෘති ඊටත් වඩා අඩුයි.

ළමයාට, ළමයා ලෙස සැලකුම් ලබන්න නොහැකි වීම ගැනත් ස්වල්ප කනගා‍ටුවකයි මම පසුවෙලා ඉන්නේ. ඒත්, ඒ අතරේ 'මමයි මගේ අක්කා ක්ලාරා යි' ආවා. කතා මාලාවේ පළමු වැන්නයි ඒ. දෙවැන්න 'රතු පාටා සුසානා' නමින් මේ සමඟම එළි දක්වලා තියෙනවා. මේ සියල්ලේ අන්තර්ගත වෙන්නේ ක්ලාරාත්, ඇගේ මල්ලීත් කළ දඟකාරකම්. ඔවුන් හරියට විසාල චිත්‍රෙක ඉන්න කුඩාවටම ඇන්ද මල් පොහොට්‍ටු වගෙයි. හැමෝම විසාල චිත්‍රෙ දැකලා අගය කරද්දි, මුළු චිත්‍රෙම ලස්සන කරන්නේ ඉතා ම කුඩාවට ඇන්ද මල් පොහොට්‍ටු කියලා කෙනෙක් හොයා ගන්නවා වගෙයි.

වර්ණ බහුලව භාවිත කරමින්, තත්ත්වයෙන් බාල කොළවල මුද්‍රණය කළ ළමා පොත් අභිබවා යමින්, ඉතා ම සියුම්ව ඇඳි චිත්‍ර සහ කදිම නිමාවකින් එළි දැකපු ක්ලාරා කතා මාලාවේ පළමු වැන්න සහ දෙවැන්නට ඊට අදාළ අගය ලබා දීමේ වරදක් නැහැ. දිමිතර් ඉන්කියොව් බල්ගේරියානු ලේඛකයෙක්. වයස අවුරුදු 10 පටන් ළමා පොත් ලියූ ඔහු , පසු කලෙක පුවත්පත් කලාවේදියකු සහ නාට්‍යවේදියකු බවට පත් වෙනවා. ඔහුගේ නාට්‍ය සහ පුවත්පත් ලිපි නිසා ජර්මනියේ මියුනිච් නගරයට පි‍ටුවහල් වෙන්නත් සිද්ධ වෙනවා. මෙවිටයි දිමිතර් විසින් ජර්මානු බස හදාරන්නේ. මිය යන විට ජර්මානු බසින් ළමා කතා සියයකට අධික සංඛ්‍යාවක් ඔහු ලියා පළ කර තිබෙනවා. ඔහුගේ කෘති විවිධ භාෂා 25ට පමණ පරිවර්තනය වෙලත් තියෙනවා.

ඒ වගේමයි ක්ලාරා ගේ පොතේ චිත්‍ර ඇන්ද ට්‍රව්ඩල් රයිනර් සහ වල්ටර් රයිනර් යුවළ. ජර්මන් ජාතික චිත්‍ර ශිල්පී යුවළක් වන මේ දෙදෙනා, ක්ලාරා කතා මාලාවට ඇඳි චිත්‍ර ඉතාම ජනප්‍රිය වුණා. ඒ චිත්‍රවල ඇති සජීවී බව සහ ළමාකම මේ ජනප්‍රියත්වයට හේතුව බවයි විචාරකයන් පැවසුවේ.

ඒ අතරේ ආයෙත් පරිවර්තිකාව ආවා. මේ ඇගේ කටහඬ.

"මම දැකපු හැටියට, ජර්මනියේ පුස්තකාලවලට ඇබ්බැහිවුණු ලොකු පිරිසක් ඉන්නවා. සමහර පුස්තකාලවල සාමාජිකත්වය ගත්තම එක්කෙනෙකුට වරකට සිනමාපට, ගීත ඇල්බම් ඇතුළුව පොත්පත් 50ක් බැහැර ගෙනියන්න පුළුවන්. ළමයින්ට පොත් කියවන්න පුරුදු කරන විදිහ ගැන හරියට ආසා හිතෙනවා. දණ ගාන පොඩිම ළමයි පවා පුස්තාලෙට අම්මලා-තාත්තලා එක්කගෙන එනවා. පොත් රාක්ක ළඟ දණ ගගා ඉන්න ළමයි, බිම දිගාවෙලා පොත් කියවන ළමයි මේ පුස්තලාකවල කොතෙකුත් දකින්න පුළුවන්. තාම අකුරු කියවන්න බැරි ළමයි තමන් ආසා වෙච්ච පොත් අම්මාට හරි, තාත්තාට හරි කියලා කියවා ගන්නවා. ඉතිං අම්මලා, තාත්තලත් එහෙම්මම බිම වැටිලා පොත් කියෝනවා. පුස්තකාලෙන් අරගන්න තමන් ‍තෝරගත්තු පොත් දාගන්න ලොකු මළු, කූඩ තියෙනවා. ඒවත් අරගෙන පෝලිමේ ඉන්න ගමන් තවත් පොතක්, දෙකකුත් ඒ අය කියෝනවා. මේවා බලා ඉන්න හරි ම ලස්සනයි.

ඒ වගේමයි 'ෆ්ලෝ මාකට්' කියලා එකක් මෙහේ තියෙනවා. ඒවයෙ පාවිච්චි කරපු නොයෙක් බඩු බොහොම සුළු මුදලකට විකුණනවා. ඒ අතරේ පාවිච්චි කරපු පොතුත් තියෙනවා. බොහෝ වෙලාවට තමන් කියවපු, පාවිච්චි කරපු ළමා පොත්, සෙල්ලම් බඩු විකුණන්නෙ ළමයින්මයි. එතකොට වෙනත් ළමයි ඇවිත් තමන් කැමැති පොත්පත් ඔවුන්ගෙන් මිලදී ගන්නවා. හුවමාරු කර ගන්නවා. ඒ වගේම පාවිච්චි කරපු පොතක් උපන්දින තෑග්ගකට දෙන්න වුණත් මෙහේ කෙනෙක් පසුබට වෙන්නෙ නැහැ. ඒක මදිකමක් කියලා කවුරුත් හිතන්නෙ නැහැ. කියවීම ගැන මේ සමාජයේ තියෙන හොඳ පුරුදු ගැන පුදුම වෙන ගමන්, මම ඒවට කැමැති වෙනවා. ළමයින්ට බල නොකර, හරි ම ස්වාභාවික විදිහට, අනායාසයෙන් කියවන්න හුරු කරන ක්‍රමය කාටත් ආදර්ශයක්."

මේ දේවල් කියමින් ඉන්න අතරේ ලෝකෙ වේගෙන් ගමන් කරලානේ. ටෝනි මාමා කසාදත් බැඳලා. එයාගෙ නෝනා හොඳටම පිම්බිලා ඉඳලා බබෙකුත් හම්බ වුණා. ක්ලාරා බාබර් කෙනෙක් වෙලා ක්ලාරා ගෙ මල්ලිගෙ කොණ්ඩෙත් කපලා දාලා. ඊළඟට ස්නූ‍ෆිව දෙකට බෙදලා තඹ පාටයි-කළු පාටින් පාට කරලා. එච්චරක් විතරක් නම් මැදැයි, එමා නැන්දගේ රත්තරන් මාළුවො හතර දෙනාට වියානා සොසේජස් කවලා.

හොඳයි නේද ක්ලාරාගෙයි-ක්ලාරාගේ මල්ලිගෙයි වැඩ කටයුතු ටික?

තෙතට තිබුණු මගේ කොණ්ඩෙත් වේලිලා මේ ඔක්කොම දැනගන්නකොට. ඒ මදිවට නාන කාමරේ ඇතුළේ ස්නූ‍ෆි මර හඬ තලනවා. මෙච්චර වෙලාවක් මම සබන් බෝල පුම්බමින්, ස්නානයේ යෙදුණු නාන බාල්දියේ ස්නූ‍ෆිව දාලා. ක්ෂුද්‍රජීවියෝ පිරිලා කියලා ක්ලාරායි-ක්ලාරාගේ මල්ලියි ස්නූ‍ෆිව නාවනවා. සබන් බෝලවලින් මුළු නාන කාමරේම පිරිලා. ඒ මදිවට ස්නූ‍ෆි මේ මර උගුලෙන් ගැලවිලා යන්න හිතාගෙන නාන බාල්දියෙන් බහින්න පොරකනවා.

ඒ අතරේ ක්ලාරා පොත් මාලාවේ පරිවර්තිකාව කතා කරනවා. මම දැන් අලි විසාල නූල් බෝලෙක පැටලිලා ඉන්නේ. මේ හැමදේම ක්ලාරායි, ක්ලාරාගේ මල්ලී නිසයි.

"මට තිබුණෙ හිතුණු දේ කියන්න පුළුවන්, කරන්න පුළුවන් බොහොම නිදහස් ළමා කාලයක්. හරියට ක්ලාරටයි, ඇගේ මල්ලිටයි වගේ. කාලයක් තිබුණා, කවුරු හරි මගෙන් ඇහුවම ලොකු වුණාම කවුරු වෙන්නද ආසා කියලා. මම කියනවා, 'මට එඩේරෙක් වෙන්න ඕනා' කියලා. ඒ මං පොඩි කාලෙ කියවපු චීන ළමා කතන්දර පොතක් නිසා. එතකොට සමහරු මගෙන් අහනවා 'ඔයා ගෑනු ළමයෙක්නෙ, කොහොමද එඩේරෙක් වෙන්නෙ කියලා?' ඒ කාලෙ මට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ මේක තමයි. බැරිම තැන මම අප්පච්චිගෙන් ඇහුවා ගෑනු ළමයෙකුට එඩේරෙක් වෙන්න බැරිද කියලා. අප්පච්චි දුන්න උත්තරේ වුණේ 'මොකද බැරි? ගෑනු ළමයින්ටත් එඩේරු වෙන්න පුළුවන්' කියලා. මේ මගේ ළමා කාලෙ දැකපු හීන. ඒ වගේ හැම ළමයෙකුටම පොඩි කාලෙ විවිධාකාර හීන තියෙනවා. අන්න ඒ හීනවල ළමයින්ට ජීවත් වෙන්න ඉඩ දෙන්න ඕනා කියලා දැනුත් මම හිතනවා.

ඒත් දැන් අපේ ළමයින්ට එහෙම ළමා කාලයක් නැතිතරම් කියලයි මට හිතෙන්නෙ. ඔවුන්ට හීන දකින්න වෙලාවක් නෑ. පාසල් නිල ඇඳුම පිටින් හවස් වෙනකනුත් ළමයි වෑන්වල හරි, අමතර පන්තිවල හරි හිරවෙලා. ඒ මූණුවල සතුටක් මම දැක්කෙ නෑ. එයාලගෙ ළමා කාලය එයාලගෙන් උදුරගෙන කියලයි මට හිතුණේ. මේ දරුවන්ගේ අම්මලා, තාත්තලා අර මම කියපු ළමා කාලය ඒ විදිහටම ගත කරපු අය වෙන්න ඇති.

හැබැයි තමන්ගේ ළමයින්ට ඒ ළමා කාලය දෙන්න ඕනැ කියලා ඒ අය හිතන්නෙ නෑ. මවුපියන් තමන්ගෙ ළමයින්ව ලොකු තරග බිමකට ඇදල දාලා. ළමයෙකුට විතරක් නෙමෙයි, නිදහස් ළමා කාලය මතක් කරවලා වැඩිහිටියෙකු තමන්ගේ ළමා කාලයට යවන්න, එහි වටිනාකම ආයෙත් මෙනෙහි කරවන්න පවා මෙවැනි පොතකට පුළුවන් කියලා මම හිතුවා. අවුරුදු 20 ට ආසන්න පත්තර ජීවිතේ ළමා පත්තර එක්ක ජීවත් වුණ මට, ළමා පොතක්, ළමා කතාවක් කියන්නේ අපහු මගේ සුන්දර නිදහස් ළමා කාලෙ ජීවත් වීමක්."

මම ආයෙ සබන් බෝල පුම්බන්න පටන් ගත්තා. ක්ලාරායි-එයාගෙ මල්ලියි ආයෙත් නැටි දෙකක් වගේ මගේ පස්සෙන් එන්න පටන් ගත්තා.

"ඔයා මෙහේ සබන් බෝල පුම්බනවා. අන්න අරහේ......" මොකක්ද වෙලා තියෙන්නෙ කියලා මම ඇහුම්කන් දෙන්න ගියේ නැහැ. ක්ලාරා කතා මාලාවේ තුන් වැන්න කියවලාම ඒක දැනගන්න එක කාගෙත් ඇඟට ගුණයි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...