පාර නොදන්නා පාසල් ගුරුවරු | දිනමිණ

පාර නොදන්නා පාසල් ගුරුවරු

දුමින්ද සම්පත්

ගුරුවරයාගේ වත්මන් භූමිකාව වටිනාකම් රැසකින් සමන්විත බව මගේ වැටහීම ය. සමාජයට ගැළපෙන පුරවැසියකු බවට දරුවා පත්කිරීමේදී මනෝ විද්‍යාත්මක කාර්යභාරයක් ගුරුවරයාට පැවරේ. එම කාර්යයභාරය ඉටුකිරීමට ගුරුවරයාට මනෝවිද්‍යාත්මක හැදෑරීමක් තිබිය යුතු වේ. මේ නිසා ගුරුවරයා මනෝවිද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක දැනුමෙන් පෝෂණය කළ යුතුය.

අපේ අධ්‍යාපන පද්ධතියේ වැදගත්ම ඒකකය පාසලය. මෙරට පාසල් ළමයි හතළිස්පන්ලක්ෂයක් පමණ සිටිති. පාසල් ගණන දසදහස් පන්සියයකට ආසන්නය.

දරුවකු සිය ජීවිතයේ වැඩි කොටසක් ගත කරන්නේ පාසල තුළය. මේ කාලසීමාවේදී දරුවාගේ ප්‍රධාන භාරකරුවා වන්නේ ගුරුවරයාය. මේ නිසාම විශාල කාර්යභාරයක් පාසල් ගුරුවරයාට පැවරී තිබේ.

පාසලක මූලික කාර්යය විය යුත්තේ රටකට අවශ්‍ය පුරවැසියා නිර්මාණය කිරීමය. ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක ජීවත්විය හැකි පුද්ගලයකු පාසල තුළින් බිහිකළ යුතුය.

ශ්‍රී ලංකාව බහුවාර්ගික, බහු ආගමික, බහු සංස්කෘතික රටකි. පුද්ගලයන්ගේ ආර්ථික තත්ත්වය ද විවිධය. එවැනි රටක පුරවැසිභාවය පාසල තුළින් ඉගැන්වීම වැදගත්ය. මේ කාර්යය කළ යුත්තේ ගුරුවරුන්ය. නමුත් ඊට ගුරුවරුන් කෙතරම් සූදානම් ද යන්න ගැටලුවකි. විශ්වවිද්‍යාල, ජාතික අධ්‍යාපන ආයතනය හෝ අනෙකුත් අධ්‍යාපන මධ්‍යස්ථාන හෝ තිබුණ ද දරුවනට සමාජානුයෝජනය පිළිබඳ දැනුම, පුහුණුව ලබාදිය හැක්කේ පාසල් ගුරුවරයාටය. අපේ අධ්‍යාපන පද්ධතිය තුළ ගුරුවරයාගේ භූමිකාව කේන්ද්‍රීය සාධකයක් වන්නේ මේ නිසාය.

ගුරු කේන්ද්‍රීය අධ්‍යාපන රටාව තුළ එදා පාසල් දරුවා ගුරුවරයාගේ ආධිපත්‍යයට නතුව සිටියේය. එම අධ්‍යාපන රටාව අද වනවිට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන රටාවකට මාරුවී ඇත. අධ්‍යාපන ක්‍රමවේද වෙනස්වෙමින් තිබේ.

ගුරුවරයාගේ යුගයේ කාර්යයභාරය කුමක් ද යන්න පිළිබඳව විශාල කතිකාවක් ඇරඹී ඇති අතර ගුරුවරයාගේ භූමිකාව අවසන් ද? ගුරුවරයා වෙනුවට ටැබ් එකක් ආදේශ කළ හැකි ද? නැතිනම් ගුරුවරයාගේ භූමිකාව තාක්ෂණයට මාරු කළ හැකි ද? යන්න එකී කතිකාවතය.

ගුරුවරයාගේ වත්මන් භූමිකාව වටිනාකම් රැසකින් සමන්විත බව මගේ වැටහීම ය. සමාජයට ගැළපෙන පුරවැසියකු බවට දරුවා පත්කිරීමේදී මනෝ විද්‍යාත්මක කාර්යභාරයක් ගුරුවරයාට පැවරේ. එම කාර්යයභාරය ඉටුකිරීමට ගුරුවරයාට මනෝවිද්‍යාත්මක හැදෑරීමක් තිබිය යුතු වේ. මේ නිසා ගුරුවරයා මනෝවිද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක දැනුමෙන් පෝෂණය කළ යුතුය.

පාසල් පද්ධතිය තුළ මේ වනවිට මතුවෙමින් තිබෙන අර්බුද රැසකට හේතුව ගුරුවරයාට දරුවා හරිහැටි හඳුනාගැනීමට අවශ්‍ය පුහුණුව නොමැති වීමය. ජාතික අධ්‍යාපන ආයතනය, ගුරු විද්‍යාපීඨ වැනි ආයතන මඟින් ගුරුවරයාට ලබාදෙන පුහුණුව ගුණාත්මක එකක් විය යුතුය. හේතුව ගුරුවරයා යනු දරුවා සමඟ ඍජුව ගනුදෙනු කරන්නා වීමය. ගුරුවරයා හා දරුවා අතර පරතරය පිළිබඳ කතාන්දර සමහර ටෙලිනාට්‍ය හරහා පවා එළිදක්වන තත්ත්වයට පත්ව තිබේ. එය කනගාටුදායක තත්ත්වයකි. ඉන් ගම්‍යවන්නේ ඛේදවාචකයේ බරපතළකමයි.

දරුවාගේ සමාජ වටපිටාව, අධ්‍යාපන තත්ත්වය, ආර්ථිකය, මානසික අවශ්‍යතාව, ඔහුට ආදරය කරුණාව දැක්වීම වැනි සාධක කෙරෙහි ගුරුවරයාගේ අවධානය ගිලිහෙමින් තිබේ. ඊට ප්‍රධාන හේතුව ගුරුවරයාගේ මනෝ හා සමාජ විද්‍යාත්මක දැනුම අල්පවීමය. ගුරුවරයා හා දරුවා දුරස්වීම නිසාම ගුරුවරයා සහ දරුවා අතර ගැටුම් ද නිර්මාණය වෙමින් තිබේ.

තාක්ෂණික ලෙස වෙනස්වන ලෝකය සමඟ දරුවා ගමන් කරමින් සිටී. එහෙත් අප රටේ ගුරු අධ්‍යාපනය තවමත් පවතින්නේ සාම්ප්‍රදායික මට්ටමකය. සාම්ප්‍රදායික ක්‍රම තුළ පුහුණුව ලබන ගුරුවරයා පාසල තුළ තවදුරටත් අධිපතිවාදී භූමිකාව නිරූපණය කරමින් සිටී. මේ අධිපතිවාදී භූමිකාව වර්තමාන සිසු පරපුර වෙත තවදුරටත් ගුරුවරුන්ට ගොඩනැඟිය හැකිද යන්න අප කල්පනා කළ යුතුය. වේවැලෙන් තලා දරුවන් මෙල්ල කළ හැකි පරිසරයක් මේ වනවිට පවතී යැයි මා සිනත්නේ නැත. එය යල්පැනගිය සහ සමාජය ප්‍රතික්ෂේප කරනු ලැබූ ක්‍රමයක් බවට පත්ව ඇත.

දරුවන්ට සිදුවන හිරිහැර දණ්ඩන පිළිබඳව මානවහිමිකම් යටතේ පැමිණිලි කළ හැකි තත්ත්වයට සිවිල් හා දේශපාලන නිදහස දියුණු යුගයක් කරා අපි පැමිණ සිටිමු. මේ නිසා වර්තමාන ගුරුවරයාගේ භූමිකාව තාක්ෂණික හා වාණිජ පද්ධතියට අනුව වෙනස්විහ යුතුය. එමෙන්ම ගුරුවරයා මනෝවිද්‍යාත්මක ශිල්පීය ක්‍රමවලින් සන්නද්ධ විය යුතුය. නැතහොත් නව පරපුර සමඟ ගනුදෙනු කිරීමට ගුරුවරයාට නොහැකි වනු නියතය.

ගුරුවරයාගේ කාර්යයභාරය මේ වනවිට බෙදී ගොස් තිබේ. අප කැමති වුවද අකමැති වුවද දරුවාට දැනුම ලබාදීමේ කාර්යය භාරය මේ වනවිට පෞද්ගලික අංශය සතුකරගෙන ඇත.

අද පාසල් දරුවන්ගෙන් බහුතරය උපකාරක පන්ති කරා යොමුව සිටිති. තවදුරටත් පාසල දරුවාට අධ්‍යාපන දැනුම ලබාදීමේ ප්‍රමුඛ මධ්‍යස්ථානය නොවේ. පාසලට තිබූ එම ආධිපත්‍යය සහ ඒකාධිකාරය වෙළෙඳ පොළ විසින් ග්‍රහණය කරගෙන ඇති බැවිනි.

වෙළෙඳ පොළ බාර නොගන්නා භූමිකාව වන, දරුවාගේ ශික්ෂණය, සමාජයීය පුරවැසිභාවය, නිර්මාණය කිරීමේ කාර්යය පාසල් ගුරුවරයා භාරගත යුතු කාලය උදාවී ඇත. මෙකී කාරණය කිසිසේත්ම උපකාරක පන්තියකින් බලාපාරොත්තු විය නොහැකිය.

වෙළෙඳ පොළ ඍජුවම ක්‍රියාත්මක වන්නේ ලාභය මතය. එනිසා උපකාරක පන්තිවලින් විභාගය සමත් කරවන දැනුමින් පමණක් දරුවන් සන්නද්ධ කරනු ඇත.

දැනුම ලබාදීම පාසලෙන් විතැන්වෙද්දී පාසල තුළින් ඉස්මතුවිය යුතු දැවැන්ත කාර්යභාරය වන්නේ ශික්ෂණයෙන්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජීවත්වන ගුණගරුක බව වර්ධනය කිරීමයි. ඒ සඳහා ගුරු භූමිකාව වහා වෙනස් විය යුතු නමුත් ඊට පාසල් පද්ධතිය සැකසෙන බවක් පෙනෙන්නට නැත.

පාසලක් යනු වධකාගාරයක්, උසාවියක් නොවේ. දරුවා විනිශ්චය කරන මධ්‍යස්ථානයක් ලෙස ද පාසල ක්‍රියාත්මක නොවිය යුතුය. පාසල සමාජානුයෝජන මධ්‍යස්ථානයක් විය යුතුය.

විවිධ කුලවල, සමාජ ශ්‍රේණිවල, ආර්ථික මට්ටම්වල, විවිධ හැකියා ඇති දරුවන් පාසලට පැමිණේ. මේ සකලවිධ දරුවන් කිසිඳු වෙනසකින් තොරව රැකබලා ගැනීම ගුරුවරයාගේ කාර්යයභාරය වේ. එකම නිල ඇඳුමකින් දරුවන් සරසන එකම තැනවන්නේ පාසලයි. සමානාත්මතාව පිළිබඳ පළමු මූලධර්මය ඉන් ඉගැන්වේ. මෙම මූලධර්මය දරුවාගේ සිතට කාන්දු කරන්නට ගුරුවරයාට හැකිවී ඇත්ද යන්න ගැටලුවකි.

එකම නිල ඇඳුම ඇන්ද ද සියලු දරුවන් එක සමාන සමාජ ආර්ථික මට්ටම්වල නැත. මේ නිසා දරුවන්ගේ මනෝභාවයන් විවිධය. ඒ බව ද ගුරුවරයා වටහාගත යුතුය. පාසල තුළ විනය මාලාවක් තිබේ. මේ විනය මාලාවට සියලු දරුවන් අවනත විය යුතුය. එකම වර්ගයේ එකම පැහැති සපත්තු දැමීම පාසලක විනයට අදාළය. එහෙත් සමහර දරුවකුට එම වර්ගයේ හෝ එකම පැහැ සපත්තු ගැනීමට වත්කම නැතිවිය හැකිය. එවන් දරුවකු පාසලෙන් නෙරපන්නේ නම් එය සැබෑ ගුරු භූමිකාවට නිගාවකි. සමහර දරුවකුගේ ඇඳුම කිළිටි විය හැකිය. ඊට හේතුව දරුවාගේ අපිරිසුදු බව නොව, දරුවාගේ ආර්ථික මට්ටමේ බලපෑමක් විය හැකිය. මෙවැනි කාරණා තේරුම් ගැනීමේ හැකියාව ගුරුවරයා සතුවිය යුතුය.

නව යොවුන්වියේ දරුවන් ගැන කටයුතු කිරීමේදී විශේෂ සැලකිල්ලක් දැක්වීම ගුරුවරුන්ගේ වගකීමකි. බොහෝ ගුරුවරු දරුවන් ප්‍රේම සබඳතා පැවැත්වීම, වැරදි ආශ්‍රය පවත්වාගෙන යාම, මත්ද්‍රව්‍ය ගැනීම වැනි විවිධ විෂමාචාර කරනවා යැයි සැක සංකා උපදවාගෙන සිටිති. මාධ්‍ය මඟින් ද මේ තත්ත්වය අතිශයෝක්තියෙන් වාර්තා කරන අවස්ථා ද තිබේ.

ඉහත කී කාරණා නව යොවුන්වියේ දරුවන් තුළ සුලබ ලක්ෂණය. යොවුන්වියට එළඹෙත්ම මෙවැනි තත්ත්ව දැකිය හැකි බව ගුරුවරයා තේරුම්ගත යුතුය. එවන් අවස්ථාවකදී ගුරුවරයා පොලිස් නිලධාරියකු මෙන් ක්‍රියා කළ යුතු නැත. ගුරුවරයා හා දරුවා අතර වඩාත් මිත්‍රශීලී ප්‍රජාතන්ත්‍රවාදී සබඳතාවක් පවතීනම් දරුවා හඳුනාගැනීමට ගුරුවරයාට පහසුය. එවිට දරුවාට නිවැරදි උපදේශනයක් සැපයිය හැකිය.

මේ සමාජ ක්‍රමය තුළ ගුරුවරයාද ආර්ථික, සාමාජික මෙන්ම වෙනත් ගැටලු රැසකට මුහුණදී සිටී. එහෙත් පාසල් ගේට්ටුවෙන් ඇතුල්වූ පසු ගුරුවරයා තම පෞද්ගලික කාරණා අමතක කොට ජාතික කාර්යභාරය ඉටුකිරීමට සූදානම් විය යුතුය.

දරුවාගේ ආදර්ශය ගුරුවරයාය. මේ නිසා ගුරුවරයා හික්මුණු චරිතයක් විය යුතුය. ප්‍රශ්නයක් ඇසූ සැණින් ගුරුවරයා කලබලයට පත් නොවිය යුතුය. ගුරුවරයාගේ අනවබෝධය හා කලබලකාරී ගති නිසා පාසල් පද්ධතිය තුළ සිදුවූ ඛේදවාචක රැසකි. ඒ අතරින් මෑතකදී අපට අසන්නට ලැබුණේ පාසල් දැරියක ගැබ්ගෙන ඇතැයි දරුවා පාසලෙන් නෙරපීමක් පිළිබඳවය. පසුව කළ පරීක්ෂණවලින් තහවුරු වූයේ දැරිය ගැස්ට්‍රයිටීස් රෝගයෙන් පෙළෙන බවය. මේ දැරියගේ ආර්ථික මට්ටමද ඉතා පහළය.

දැරිය කිසිවකු සමඟ‍ පෙම් සබඳතාවක් පවත්වන්නට ඇතැයි සැක සිතීමත් ඇය ලිංගික සබඳතාවක් ඇතිකර ගැනීමෙන් ගැබිනියක වී ඇතැයි සැක සිතීමත් කඩිමුඩියේ පැමිණි වැරදි විනිශ්චයන්ය. මෙයින් දරුවාට සිදුවූ හානිය බරපතළය.

මෙවැනි දේ හේතුවෙන් අපහසුවට පත්වන්නේ රාජ්‍යයයි. ගුරුවරුන් පාසලට පත්කරනුයේ රාජ්‍යය විසින් වීම ඊට හේතුවයි. නිවැරදි පුහුණුවක් ගුරුවරයාට දිය යුත්තේ මේ නිසාය. අන්තර් පුද්ගල සබඳතාවද ගුරුවරයා විසින් ප්‍රගුණ කළ යුත්තකි.

ගුරු පුහුණු පාඨමාලා ද නූතන ලෝකයට ගැළපෙන සේ වෙනස් කර ඇත්ද යන්න පිළිබඳව ජාතික අධ්‍යාපන ආයතනයෙන්, ගුරු විද්‍යා අධ්‍යාපන ආයතනයෙන්, ගුරු විද්‍යා පීඨවලින් විමසිය යුතුය.

නව යොවුන්වියේ දරුවෙකු ආදර සබඳතා ගොඩනඟා ගැනීම ගැටලුවක් නොවේ. ඊට කලබල විය යුතු ද නැත. ඔවුන් ගතකරනුයේ ආදරය අවශ්‍ය වයසක බැවිනි. දරුවකු ආදරය කරන්නේ එය අවශ්‍ය බැවිනි. එහෙත් ඉහත කී දරුවාට අහිමිව ඇත්තේ ද ආහාරයයි. ආදරයත් ආර්ථිකයත් මානුෂික ගැටලුය. මේ ප්‍රශ්න දෙකම නිවැරදිව සමෝධානය කරගත යුතුය. මෙකී කාරණා දෙකම දරුවෙකු පාසලකින් එළියට ඇද දැමීමට තරම් කාරණා නොවේ.

වර්තමාන අධ්‍යාපන රටාව ද පාසල් ඛේදවාචකයට හේතුවක් වී ඇත. ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය කීවද අද බොහෝ පාසල් උත්සුක වන්නේ තමන්ගේ පාසලෙන් උසස් විභාග ප්‍රතිඵල ලබාදීමට පමණි. ශිෂ්‍යයා යහපත් පුරවැසියකු කිරීමේ වගකීම පාසල්වලින් ගිලිහෙමින් තිබේ. සමහර විදුහල්පතිවරු තම පාසලේ විනය සම්බන්ධව අනවශ්‍ය ප්‍රතිරූප ගොඩනඟා ගැනීමට උත්සාහ දරති. එවැනි පාසලක, විදුහල්පතිවරු ආදර සබඳතාවක් ඇතිකර ගැනීම, මත්ද්‍රව්‍ය ගැනීම වැනි සාධකයක් දරුවකු පාසලෙන් එළියට දැමීමට තරම් හේතුවක් බවට පත්වේ. සමහර මවුප‍ියෝද ඊට අනුබල දෙති. එවැනි හේතු නිසා දරුවකු පාසලෙන් එළියට දැමීමෙන් අපකීර්තියට පත්වන්නේ රටය. කළ යුත්තේ එවැනි දරුවන් සුමගට ගැනීමය. එසේ නොකොට දරුවාට දඬුවම් පැමිණවීමෙන් ඔහු අනාගතයේදී දාමරිකයකු සමාජ විරෝධී අයකු විය හැකිය.

අධ්‍යාපනය යනු දරුවෙකුගේ සකලවිධ දක්ෂතා මෙන්ම දුර්වලතාද මූලික අවධියේදීම හඳුනාගෙන ඊට නිවැරදි විසඳුම් ලබාදීමයි. අධ්‍යාපන භූමිකාව සම්බන්ධයෙන් ගුරුවරයා තුළ දැනට පවතින ආකල්ප වෙනස් විය යුතුය. තරගකාරී විභාග රටාවට දරුවා හුරුකිරීම වෙනුවට සැබෑ මනුෂ්‍යයකු නිෂ්පාදනය කිරීමට පාසල දායකවිය යුතුය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...