මල් සුවඳ යට දුක් කඳුළු ඇත.. | දිනමිණ

මල් සුවඳ යට දුක් කඳුළු ඇත..

සීතලව ගෙවී ගිය රැය පහන් වන්නේ හිරු එළියටත් පෙර ඔවුන්ගේ දෑස්වලට පණක් දෙමිනි. තාමත් ළා තුනී මීදුමකින් වැසුණු අලුයම අන්ධකාරයෙන් පරිසරය වෙලාගෙනය. අලුත් දවසකට පණ ගහන්නට පොරකන ස්වභාව ධර්මය මොනවදෝ කියන්නාසේ ය. ඔවුන්ගේ ඒ උත්සාහය තවත් දවසක් ගෙවා නිම කරන්නටය. කාටත් බරක් නොවී පණ කෙන්ද ගැටගසා ගන්නටය. ගල්ගමුව, මහගල්කඩවල, සෙනරත්ගම පදිංචි මොවුන් ජීවනෝපාය වශයෙන් කරන්නේ මල් වෙළදාමයි. මෙතැන් පටන් කියැවෙන්නේ වෙළෙදුන්ගේ කතාවය.

පෙර දිනයේ කඩා මිටි ගැසූ නෙළුම් මල් සහ නෙළුම් බටු මිටි රැගෙන ඔවුහු පාන්දරින්ම මාර්ගය වෙත යති. මාර්ගය අයිනේ ඇති බේසමක හෝ වෙනත් යමක් මත තබා මල් වෙළෙදාමේ යෙදෙති. කුරුණෑගල - අනුරාධපුර ප්‍ර‍ධාන මාර්ගයේ අයිනක මල් වෙළදාමේ නියැලෙන මොවුහු අව් රශ්මියත්, අවටින් ඇවිස්සෙන දූවිලි ජාලාවත්, වාහනවලින් පිටවන දුමත් ආදී නොයෙක් පීඩා, දුක් දැනුණද ජීවන අරගලය වෙනුවෙන් ඒ සියල්ල ඉවසති.

වාහනවලට නෙළුම් මල් මිටි දිගු කරන අතර ඔවුහු අප සමග කතාබහට එක් වූහ. චින්තක නුවන් බාලසූරිය මහතා.

‘‘මේ රස්සාව දැන් අවුරුදු 10ක විතර ඉඳලා කරනවා. ඒ අවුරුදු 10 ම දුෂ්කරතාවලට මුහුණ දුන්නා. එක අතකින් බලද්දි ඒ මේ රස්සාවේ හැටි. මේ විකුණන මලකට පින් සිද්ධ වෙන්න තමයි මගේ බිරියයි දරු පැටවු තුන් දෙනයි ජීවත් වෙන්නෙ. සතියෙ දවස්වලට මම පාන්දර පහට විතර පාරට එනවා. සති අන්තයේ නම් පාන්දර තුනේ හතරේ ඉඳලා පාරේ. සති අන්තයේ ගොඩක් අය අනුරාධපුරේ යන නිසා පාන්දර ඉඳලා මල් ටිකක් විකුණගන්න තමා බලන්නෙ. දවසකට මල් දාහක් එක්දාස් පන්සීයක් වගේ කඩනවා. ඒත් සේරම විකුණන්න අමාරුයි. අව්වත් එක්ක මල් රැකගන්න වතුර ලීටර් දෙකක් තුනක් තියාගෙන ඉහලා මල් වේලෙන්නේ නැතුව තියාගන්න ඕනේ. ඉතිං හැම වාහනයක්ම අපි ළග නතර කරන්නෙ නෑ. නතර කළත් හැම අයම මල් ගන්නෙත් නෑ. සමහරු ගාණ අහලා යනවා. තවත් අය අසාධාරණ ගණන්වලට මල් ඉල්ලනවා. හොද වාහනවලින් ඇවිත් එහෙම ඉල්ලද්දි අපිට දුකයි. ටිකක් හිතුවනම් අපිත් මේ රස්සාව කරන්නෙ ජීවත් වෙන්න කියලා නේද? හවස් වෙද්දි කීයට වුණත් අපි මල් දෙනවා. දවස් දෙක තුනක් තියාගෙන මල් විකුණන්න බැහැ.

ජී. එම්. හීන්බණ්ඩා මහතා.

‘‘මටත් දැන් අවුරුදු 52ක්. මේ මල් රස්සාව පටන් අරගෙන අවුරුදු 8ක්. මල් මිටි කරන්නෙ කලින් දවසේ රෑ. නෝනයි මමයි එකතු වෙලා මිටි හැටක් හැත්තෑවක් විතර හදනවා. මල් කඩන්නත් අපි විිඳින්නෙ අපා දුකක්. හැමදාම ගමේ වැවෙන් කඩලා මල් විකුණන්න බෑ. දවස් දෙකක් තුනක් කඩද්දි ගමේ වැවේ මල් ඉවරයි. ඒ නිසා අනුරාධපුර, ගල්ගමුව, සංගප්පාලය, නිකවැරටිය, කුලියාපිටිය වගේ පැතිවලටත් අපි යනවා. ඒ වැව් අයිති අය නිකං මල් දෙන්නෙ නෑ . රුපියල් 500ක් 1000ක් අතේ තියන්න ඕනෙ. සමහර වෙලාවට පන්සල්වලටත් කීයක් හරි දුන්නොත් තමා අවසර ලැබෙන්නෙ. වැවට බහින්නෙත් කොළ අත්තක්වත් වැවට එල්ලලා. මොකද අපි නොදන්න වැව්නෙ. සත්තු ඉන්න පුළුවන්. කිඹුල්ලු ඉන්න පුළුවන්. සමහර වැව් එරෙනවා. සමහර ඒවගේ වළවල්. වැව් මැද ළිං කපලා. වෙලාවකට ඒවටත් වැටෙනවා. ගෙදර ඇවිත් වැඩ පටන්ගන්නේ දෙවියන් සිහි කරලා ආයෙත් කොළ අත්තක් එල්ලලාම තමයි.“

ජේ. අයි නුවන් මහතා

‘‘මම මේ මල් රස්සාව කරන්නෙ දැන් අවුරුදු 5ක විතර ඉඳන්. වෙළෙඳාමෙන් අපි සේරම ලොකු පිනකුත් කරගෙන තියනවා. බුදුන් දෙවියන් පුදන්න යන බැතිමතුන්ට අපි මල් කොයි තරම් විකුණලා ඇද්ද. අපිට සතුටු වෙන්න තියන එකම කාරණාවත් ඒකම විතරයි. මේ මල් පිපෙන කාලෙට මේ රස්සාව කළාට මල් නැති කාලෙට වෙන රස්සාවක් හොයා ගන්න ඕනෙ. එක්කො කුලී වැඩ. නැත්තම් ගඩොල් කපන්න. වැස්ස කාලෙට මේ රස්සාව අපි කරන්නෙ නෑ. වතුර වැඩි කාලෙට වැව්වල මල් පිපෙන්නෙ නෑ. මේ වෙද්දිත් වැව්වල මල් අඩුවීගෙන යන්නෙ. ලබන මාසේ වෙනකොට වැව්වල මල් නැතිව යනවා.

මල් මිටියකට මල් 15ක් තියනවා. රුපියල් 100 ගාණේ මල් මිටියක් විකුණන්නෙ. අනුරාධපුරෙන් මේ ගාණට මල් ගන්න බෑ. එහෙ මල් ගණන්. ඒත් සමහර වාහනවලින් මල් මිටිය ඉල්ලන්නෙ රුපියල් 50 ට. අපේ මහන්සියවත් නෑ එහෙම වික්කාම. සමහර වෙලාවට නම් හිතේ සන්තෝසෙන් කීයක් හරි වැඩිපුර දීලා යන අයත් ඉන්නවා. ඒ වගේ දවසකට ඇරෙන්න අනික් දවස්වලට මහා ලොකු ආදායමක් ලැබෙන්නෙ නෑ“

‘‘ මේ රස්සාවට අවුරුදු 20ක් විතර වෙනවා. ඉස්සර නම් ලංකාව පුරාම ගිහිල්ලා මල් විකුන්නා. දැන් මගෙ වයසත් එක්ක එහෙම කරන්න බෑ. දැනටත් පුතාගෙත් උදව් අරගෙන මේකත් කරගෙන යන්නෙ. සංගල්පාලේ, ආණමඩුව, ගල්ගමුව, මැදවච්චිය වගේ ප්‍රදේශවලට ගිහින් තමා මල් කඩාගෙන එන්නෙ. කොහොමත් මල් 500ත් 800ත් අතර ප්‍ර‍මාණයක් විකුණගන්න පුළුවන් දවසකට. මල් කඩන්න ගියාම ඒවටත් සෑහෙන ගාණක් දෙන්න ඕනේ. වැව් බදු අරන් කරන්න ගොඩක් අය අපිට කතා කරනවා. එහෙම ලොකු ගාණක් යට කරන්න තරම් ශක්තියක් අපිට නෑ. අනික වැව් බදු අරන් කරගෙන යද්දි මල් නැති වුණොත් ගෙවපු ගාණ වතුරේ. “

ඕඩර්වලටත් අපි මල් ලබා දෙනවා. ඒකට මල් තොගයක් හොයන්න ඕනෙ. සමහර වෙලාවට ඒවගෙන් වුණත් මහා ලොකු ලාභ ලැබෙන්නෙ නෑ. ඒත් අතැරලා දාන්නත් බෑ.

රතු නෙළුම් සුදු නෙළුම් මල් පෙති අතර තැලී පොඩිවන ඔවුන්ගේ ජීවිතවල ඇත්තේ මෙවන් වූ කර්කෂ බවකි. ඒ ජීවිත වලට යම් සිසිලසක් වන්නට අපේක්ෂා කරන්නේ නම් ඔවුන්ගෙන් මල් මිටක් මිලදී ගන්නට ඔබට නිර්ලෝභී විය යුතුය.

ගල්ගමුව අරෝෂණ
මාන්නප්පෙරුම


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...