දුරකථන බද්ද ජනතාවට නොව අසීමිත ආදායම් ඇති ව්‍යාපාරිකයන්ටයි | දිනමිණ

දුරකථන බද්ද ජනතාවට නොව අසීමිත ආදායම් ඇති ව්‍යාපාරිකයන්ටයි

බුද්ධිකා ඉඹුලාන
ඇමැති මහින්ද අමරවීර මහතා ඇතුළු පිරිස මුහුදු වෙරළ පිරිසුදු කිරීමේ වැඩ සටහනට සහභාගී ව සිටි අයුරු.

අය-වැයෙන් වැඩි කළ දුරකථන බද්ද මහජනතාවගෙන් නොව ව්‍යාපාරිකයන් ලබන අසීමිත ආදාමෙන් අය කර ගැනීම රජයේ අරමුණ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙම බද්ද තමන්ගෙන් අයකර ගැනීමට රජය කටයුතු කරන බවට වැරැදි මත ඇතැම් අය පළ කිරීම නිසා මහජනතාව දැඩි බියකින් පසුවන බවත්ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.

රජයේ නීල හරිත සංවර්ධන වැඩ පිළිවෙළට සහාය පළ කිරීම අරමුණු කර ගනිමින් සහ නොවැම්බර් මස 21 දිනට යෙ දී තිබෙන ලෝක ධීවර දිනය නිමිත්තෙන් අඟුලාන වෙරළ තීරය පිරිසිදු කිරීමේ ශ්‍රමදානය නිමිත්තෙන් පෙරේදා (13) පැවැති පරිසර සංරක්ෂණ වැඩ සටහනට සහභාගීවෙමින් ඇමැතිවරයා මේ බැව් අනාවරණය කළේය .

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ඇමැතිවරයා පැවැසුවේ මෙම දුරකතන බද්ද නිසා කිසිලෙසකින් දුරකතන ගාස්තු ඉහළ නංවන්නේ නැති බවයි.

'2018 අයවැය ලේඛනය සම්බන්ධයෙන් විවිධ අය විවිධ මත පළ කරනවා. විපක්ෂයේ අය කියනවා මේක හිගන්නන්ට පවුඩර් දාපු අයවැයක් කියළා. තවත් අය කියනවා මේ අයවැය සංවර්ධනය ඉළක්ක කර ගත්ත අයවැයක් කියළා.

නමුත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි හොඳ දෙය හොඳ විදියටත් අහිතකර දෙයක් තියෙනවා නම් ඒ ගැනත් අපි විවේචනය කරනවා.

දැන් ජංගම දුරකථන ඇතුළු දුරකතනවලින් බද්දක් අය කිරීමට රජය කටයුතු කරන බවත්, ඒ නිසා ඉදිරියේ දී දුරකතන ඇමතුම් ගාස්තු පවා ඉහළ යා හැකි බවත් සමහරු ප්‍රකාශ කරනවා. නමුත් මම පැහැදිලිවම කියනවා රජය මෙම දුරකථන බද්ද අය කරන්නේ මහජනතාවගෙන් නොවෙයි. එම සමාගම් හා ව්‍යාපාරිකයන් ලබන අසීමිත ආදායමෙනුයි අපි ඒ බද්ද අය කරන්නේ.

දුරකතන සමාගම් දුරකතන කුළුණු හරහා විශාල ආදායමක් උපයනවා. අපි මේ කුළුණු සියල්ලම එක තැනකට ගෙන ඒමයි අපේ අරමුණ.

ඒ නිසා දුරකතන ගාස්තු, මෙම බද්ද නිසා කිසිසේතුම ඉහළ දමන්නට අපි ඉඩ තියන්නේ නෑ. ඒ සම්බන්ධයෙන් මහ ජනතාව අනිසි බියක් තබා ගන්න අවශ්‍යම නැහැ.

ඒ වගේම තමයි සමහරු අහනවා ඉදිරි මැතිවරණ ගැන. මම කියන්නේ ජනවාරි 20 හෝ 30 අතර දිනයක පළාත් පාලන මැතිවරණය පැවැත්වේවි. ඒ දින දෙකම ශ්‍රීලංකා නිදහස් පක්ෂයට සුබ දිනයන් බව මම මතක් කරනවා.

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ඉදිරි පත්වීම සඳහා අපේක්ෂකයන්ගේ විශාල උනන්දුවක් තියෙනවා. අපේක්ෂකයන් තෝරා ගැනීම මේ වනවිට සියයට 99කින්ම අවසන් .

ඒ නිසා මනාප ක්‍රමයට පොර කාපු යුගය අවසන් කර, මැතිවරණ කොට්ඨාසයකට නියෝජිතයෙක් බැගින් ලබා දෙන මැතිවරණ ක්‍රමය අපි මෙම පළාත් පාලන මැතිවරණයෙන් ආරම්භ කරනවා .

පසුගියදා අනුරාධපුරයේ පැවැතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැළියක් නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඡන්දවලින් මැති සබයට ගොස් වෙනත් පක්ෂයක් ප්‍රවර්ධනය කරන මෙවැනි අය ගැන පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැඩි තීරණයක් ගනීවි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට වෙනත් පක්ෂවල ප්‍රවර්ධනයට කටයුතු කරන අය අපේ පක්ෂයට අවශ්‍ය නෑ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරන්නට මෙයට පෙරත් බොහෝ අය වලි කෑවා. මෙහිදී එවැනි අය විනාශ වුණා මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම් විනාශ වුණේ නෑ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...