වසර 2020 වන විට අංග සම්පූර්ණ ජාතික අක්ෂි වෛද්‍යයාතනයක් ස්ථාපිත කරනවා | දිනමිණ

වසර 2020 වන විට අංග සම්පූර්ණ ජාතික අක්ෂි වෛද්‍යයාතනයක් ස්ථාපිත කරනවා

සන්ධ්‍යා කරුණාරත්න

අංග සම්පූර්ණ ජාතික අක්ෂි වෛද්‍යයාතනයක් වසර 2020 වන විට ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

ජාතික අක්ෂි රෝහලේ පවතින අඩුපාඩු නිවැරැදි කරමින් අංග සම්පූර්ණ රෝහලක් නිර්මාණය කරන බවත් නිදහස් සෞඛ්‍ය සේවාව කියන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සෞඛ්‍ය සේවාව ලබාදීමට මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බවත් ඇමැතිවරයා පැවැසුවේය.

කොළඹ ජාතික අක්ෂි රෝහලේ නව පරිපාලන ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගීවෙමින් ඇමැතිවරයා මේ බව ඊයේ (13) ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මෙසේද පැවැසුවේය. ජාතික අක්ෂි රෝහල සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. වසර 2020 වනවිට එම සංවර්ධන වැඩසටහන් අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අක්ෂි කාච නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මකයි. අඩුපාඩු මධ්‍යයේ වුවත් දුප්පත් රෝගීන්ට අක්ෂි කාච නොමිලේ ලබාදීමට වෛද්‍යවරුන් ගන්නා උත්සාහය මම අගය කරනවා. අක්ෂි කාච නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙළ දුප්පත් රෝගීන් ද අගය කරනවා. එයයි වෙනස. අසරණ රෝගීන්ට පිහිට විය යුතුයි. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමේදී අසරණ රෝගීන් සතුටු වුණා. එය ක්‍රියාත්මක කිරීමේදී අපහසුතා මතු වුණා. කඩාකප්පල් කිරීමට උත්සාහ කළා. එවැනි බාධක මහාචාර්ය සේනක බිබිලේ මහතාටත් ඇති වුණා. නමුත් අපේ ගමන අඛණ්ඩව ඉදිරියට ගෙන යනවා. ඉදිරියේදී තවත් ඖෂධ වර්ග රැසක මිල අඩු කරනවා. ඒ වගේම පෞද්ගලික රෝහල්වල ගාස්තු අඩු කිරීමටත් පියවර ගන්නවා. නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය ලබා වෛද්‍යවරුන් වූ අයට යුතුකමක් තිබෙනවා ජනතාවට සේවය කිරීමට. එම සේවය අකුරට ඉටු කළ යුතුයි. විෂන් 2020 වැඩසටහන ද ජාතික අක්ෂි රෝහලට පවරා ඇති නිසා එම වැඩපිළිවෙළ ද සාර්ථක කර ගැනීමට කටයුතු කරන්න. රටේ ජනතාවට නිදහස් සෞඛ්‍ය සේවාව උපරිමයෙන් ලබා දිය යුතුයි.

මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ලයනල් මුහන්දිරම්ගේ මහතා, අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිනී මධුවන්ති දිසානායක මහත්මිය ඇතුලු වෛද්‍යවරුන්, කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය ඇමැති ෆයිසාල් කාසිම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ලයනල් මුහන්දිරම් මහත්වරු මේ අවස්ථාවට සහභාගී වූහ.

ඡායාරූපය - වාසිත පටබැඳිගේ 

නව අදහස දක්වන්න