ගෝලීය පාර්ලිමේන්තු ඇගයීම් විශේෂ සමුළුව ශ්‍රී ලංකාවේ දී | දිනමිණ

ගෝලීය පාර්ලිමේන්තු ඇගයීම් විශේෂ සමුළුව ශ්‍රී ලංකාවේ දී

කමනි අල්විස්

ගෝලීය පාර්ලිමේන්තු ඇගැයීම් විශේෂ ජාත්‍යන්තර සමුළුව ලබන වසරේ දී ශ්‍රී ලංකාවේ දී පවත්වන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා පැවසීය.

වසර 2015 දී මෙම ජාත්‍යන්තර නේපාල, කත්මන්ඩු ගෝලීය පාර්ලිමේන්තු අගැයීම් සමුළුවට නේපාලයේ දී පැවැත් විණි. ලබන වසරේ දී මෙම ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා අගැයීම් සංගමය සම්බන්ධ කරගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ලබාගෙන බවත් ඇමැති කබීර් ශෂීම් මහතා ප්‍රකාශ කළේය.

ලොව විවිධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විශේෂඥයන් ඇතුළු විද්වතුන් මේ සඳහා සහභාගි වන බව පැවසූ ඇමති කබීර් හෂීම් මහතා ජාතික අගැයීම් ප්‍රතිපත්තිය පාර්ලිමේන්තු පනතකින් ඊට පෙර ස්ථාපනය කර ගැනීම අරමුණ බවත් පැවසීය.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (13) පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ඇමැතිවරයා මේ බව පැවසීය.

ගෝලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ වර්තමාන සභාපතිවරයා ලෙස තිරසාර සංවර්ධන ක්‍රියාවලිය තුළ, ඉහළ සංස්කෘතික අගැයීම් සඳහා ලබාදුන් දායකත්වය සහ ජාතික ප්‍රිතිපත්ති සඳහා වන අවශ්‍යතාවය අවධාරණය කළ පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස ගෝලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙත ලබාදුන් අගැයීම වෙනුවෙන් පිරිනැමෙන සම්මානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමති කබීර් ශෂීම් මහතා වෙත ඊයේ (13) පාර්ලිමේන්තුවේ දී පිරිනැමුණි.

එම අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී වුණි.

එම අවස්ථාවෙන් පසු ඇමති කබීර් හෂීම් මහතා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් ඇමති කබීර් හෂීම් මහතා මෙසේ ද පැවසීය.

මෙම සම්මානය ශ්‍රී ලංකාව ලද සම්මානයකි. ජාත්‍යන්තරව ලබාදෙන සම්මානය අගැයීම අප රටේ කීර්ති නාමයට පිටිවහලක්.

එක්සත් ජාතින්ගේ සංවිධානය ඇතුළු ප්‍රධාන සංවිධාන කීපයකින් සම්මාන දී තිබේ. ජාතික ඒකාබද්ධ ප්‍රතිසංවිධාන අමාත්‍යාංශයේ ලේකම් සිවඤාණසෝලි මහතා වසර 2010 සිට පැරිසියේ සම්මුතියට සහභාගිවෙසික් ණය ආධාර ප්‍රතිඵලදායිව සිදුකර ගැනීමට අවශ්‍ය කාර්ය ඉටුකළේය.

විපක්ෂයේ සිටින කාලයේදීත් අගැයීම් සිදුකළ යුතු බවටත් විනිවිදභාවය වගවීම ඇතිවීම පිළිබඳව අගැයීම් පරීක්ෂණ ඉල්ලා තිබේ. ජාතික ප්‍රතිපත්තියක් සකසන ලෙස ද ඉල්ලීම් කර තිබනවා.

වියදම් කරන සෑම සතයකටම වගවීම සහ විනිවිදභාවය ඇතිවිය යුතුයි යන ප්‍රතිපත්තියේ සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද පද්මසිරි මහතා- වියදම් වන හැම සතයක්ම පිළිබඳව වගවීම සහ විනිවිද බව ඇතිවිය යුතුයි යනුවෙන් රාජ්‍ය ප්‍රතිපත්තියක් තවම නැහැ. පාර්ලිමේන්තුව අනුමත කරන වැඩපිළිවෙළක් තිබේ. දිස්ත්‍රික්ක දහයක රාජ්‍ය නිලධාරින් මේ පිළිබඳව දැනුවත් කර තිබේ. ලබන වසරේ සැප්තැම්බරය වනවිට රාජ්‍ය ප්‍රතිපත්තිය සකස්වෙනු ඇත. මහජන මුදල්වලට වටිනාකමක් දිය යුතුයි. සෑම ප්‍රතිලාභයක්ම අධීක්ෂණය විය යුතුයි.

ජාතික ඒකාබද්ධ ප්‍රතිසංවිධාන අමාත්‍යාංශයේ ලේකම් පී. සිවඤාණසෝලි මහතා- අගැයීම් සංවර්ධනයට වැදගත්ය, ශ්‍රී ලංකාව සංවර්ධනයේ ඉහළ තත්ත්වයක තිබේ. පාඩම් ඉගෙන ගෙන ඉදිරියට යන රටකි. සෑම අමාත්‍යාංශයකම ඇගැයීම් ඒකකයක් නුදුරේදී ඇතිවෙයි. අය-වැය තුළින් අසාර්ථක ව්‍යාපෘති මගහැර සාර්ථක ව්‍යාපෘති හඳුනා ගැනීමට අගැයීම් උපකාර වෙයි.

මෙහිදී මාධ්‍යවේදීන් ඇමති කබීර් හෂීම් මහතාගෙන් අසන ලද ප්‍රශ්න සහ ලැබුණු පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය - අය වැය කෙබඳුද?

පිළිතුර - පෙරහරක් පැමිණෙන පණිවිඩය කසකරු ලබාදෙයි. එයාකාර බව අය වැයට පෙර අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩුකළ මංගල ඇමතිතුමා නියග, ගංවතුර පැවතියත් ජනතා බර අඩුකර සහන ලබා දුන්නේය. නීල හරිත ආර්ථිකයක් රටට හඳුන්වා දුන්නේය. වසර දහයක් මුළුල්ලේ සිල්ලර ජනප්‍රිය පොරොන්දු පෙන්වමින් ජනතාව රැවටූ යුගය නිමා කළේය.

ප්‍රශ්නය - අයවැයෙන් ආණ්ඩුව අනාගත් බව ඒකාබද්ධ විපක්ෂය කියනවා.

පිළිතුර - වසර 2015 ඒකාබද්ධය හොඳටම අනාගත්තා. අය-වැය දවසේ පාපැදිවලින් ගමන් කරමින් සුඛෝපභෝගි වාහන ඒ සමඟම ගෙනඑමින් අනාගත්තේ ඔවුන්මයි.

ප්‍රශ්නය - මැතිවරණයට සූදානම් ද?

පිළිතුර - හැමදාම අපි සූදානම්. ඒකාබද්ධය හැරෙනකොට අපි ලැහැස්ති වී හමාරයි. ඡන්දය දිනීම ජනතාව තීරණය කරයි. ඒකාබද්ධය පුංචි ආණ්ඩුව පාලනය කරලා දූෂණ, වංචා සිදුකළා. ජනතා ප්‍රතිලාභ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ සහ ඇතමුන්ගේ සාක්කු ‍පිරෙව්වා. විවිධ පුද්ගලයන් ඉඩම් අත්පත්කර ගත්තා.

එක්සත් ජාතික පක්ෂය ලෙස අප බලාපොරොත්තු වන්නේ ජනතාවට ගරු සේවයක් ලබාදීමයි. පාපැදිවලින් ඇවිත් මොන්ටෙරෝ රථවල ගමන් කරන අවස්ථා වෙනස් කරනවා.

ප්‍රශ්නය - රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කරනවාද? මහජන බැංකුව ලයිස්තුගතව තිබේ ද?

පිළිතුර - රාජ්‍ය ආයතන පුද්ගලීකරණය නොකරමි. රාජ්‍ය බැංකුවල මූල්‍ය ප්‍රාග්ධනය වැඩි කළ යුතුයි. ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව ක්‍රියා කළ යුතුයි. රජයේ අනන්‍යතාවය රකිමින් ප්‍රාග්ධනය වැඩි කිරීම අරමුණයි. මහජන බැංකු ව්‍යවස්ථාවට අනුව පහත සංශෝසනය කර ප්‍රාග්ධනය වැඩි කිරීම සිදුවනු ඇත.

ඡායාරූපය - ශාන් රූපස්සර 

නව අදහස දක්වන්න