ග්‍රාමසේවා වසමකට මිලියන 2.5 බැගින් මිලියන 35,055ක් දුන්නා | දිනමිණ

ග්‍රාමසේවා වසමකට මිලියන 2.5 බැගින් මිලියන 35,055ක් දුන්නා

ස්වර්ණා විජේකෝන්
චමීර ඇල්ලදෙණිය
රෝෂන් තුෂාර

නිදහස ලැබී වසර 70ක් ගත වුණත් පවුල් ලක්ෂ 14ක් සමෘද්ධි ලබනවා
- රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන

විධායක ජනාධිපතිධුරය බිහිකළ එජාපය අද එයට විරෝධය පළකරමින් සිටිනවා
- මන්ත්‍රී නලින්ද ජයතිස්ස

මුදල් ඇමැති ගෙන ආ අය-වැය යෝජනාව ඉතාම සුබවාදීයි
- ඇමැති පී හැරිසන්

පසුගිය කාලයේ පාලකයාගේ හිතුමතයට අනුව තමයි අධිකරණ තීන්දු ලබාදුන්නේ
- මන්ත්‍රී පියසේන ගමගේ

ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරිමට එක් ග්‍රාමසේවා වසමකට රුපියල් මිලියන 2.5 බැගින් සියලුම ග්‍රාම සේවාවසම්වලට රුපියල් මිලියන 35,055ක් ලබාදී ඇති බව ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (14) ප්‍රකාශ කෙළේය.

වේත්‍රධාරි අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව ඊයේ (14) රැස්විය.

අයවැය දෙවනවර කියවීමේ විවාදය ආරම්භ විය.

ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා- නිදහස ලබා වසර හැත්තෑවක් ගත වනවිටත් අපට විසඳාගත නොහැකි අංශ තිබෙනවා. නිදහසින් පසු අප විසඳු ගැටලු තිබෙනවා. නමුත් විසඳා නොමැති ගැටලු විසඳා ගැනීමට මේ අය වැයේ යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. විවෘත ආර්ථිකයත් සමඟ අප තවදුරටත් ඉදිරියට යනවාද කියන ප්‍රශ්නය අප සතුව තිබෙනවා. අපි විවෘත ආර්ථිකයක් සමඟ කර්මාන්ත ක්ෂේත්‍රයේ විශාල සංවර්ධනයක් කළා. 1977 සිට 1994 දක්වා විදුලිය ලබාදුන්නා. ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන කළා. 2017 වස‍ර කියන්නේ විශාල අභියෝග රැසකට මුහුණ දුන් වර්ෂයක්. ප්‍රාදේශීය ලේකම් කාර්යාල 325න් ප්‍රාදේශිය ලේකම් කාර්යාල 95ක් ගංවතුරෙන් යටවුණා. ප්‍රාදේශිය ලේකම් කාර්යාල 117ක් නියඟය සඳහා මුහුණු දුන්නා. ඒ සඳහා අතිරේක බිලියන 70ක මුදලක් අපට ආයෝජනය කරන්න වුණා. ඊයේ යාපනය දිස්ත්‍රික්කයේ දැඩි ගංවතුර තත්ත්වයක් ඇති වුණා. සමහර අය අහනවා මේ වසර තුනේ රජය ඉටු කෙළේ මොනද කියා. අපි ලක්ෂ 10 වැඩසටහන් 14022 ක් ක්‍රියාත්මක කර තිබෙනවා. මිලියන 2.5 ගානේ මිලියන 35055 ක් යොදවා තිබෙනවා. ගම නැංවීමේ අභියෝගය බාරගෙන තිබෙනවා. එය 2015 හා 2016 වසරදෙක සඳහා ක්‍රියාත්මක කළා. එක් ග්‍රාම සේවා කොට්ටාශයකට රුපියල් මිලියන 2.5 ගණනේ වියදම් කළා. ඒ සඳහා අපි ගම නැගිට්ටවීමට කටයුතු කළා. මේ අයවැය ඉදිරිපත් කිරී‍මේදී ඊළඟ අභියෝග ජයගන්නේ කෙසේද කියා සිතා බැලිය යුතුයි. අපිට දිනාගන්න බැරිවූ අභියෝග දිනාගැනීමටයි මේ අය‍වැයෙන් යෝජනා ඉදිරිපත් වී තිබෙන්නේ. විවෘත ආර්ථිකය තුළ අපට ජයගන්න බැරිවූ කාරණා මේ අයවැය තුළින් ජය ගැනීමට කටයුතු කරනවා. උප්පැන්න සහතිකයට මුදල් අය කරනවා කියා ප්‍රචාරයක් යනවා. නමුත් අප ජනාධිපති කාර්යාලය හා රජය එක්ව එකතු වී උප්පැන්න සහතික, හැදුනුම්පත් ලබාදීම සිදු කර තිබෙනවා. රාජ්‍ය අංශයෙන් ජනාවට ලබාදිය යුතු වැඩසටහන් අප ක්‍රියාත්මක කරනවා. රාජයේ සේවයේ කාර්යාල කාර්යාල සේවකයකුගේ මූලික වැටුප 23,000 දක්වා වැඩි කරනවා. විශේෂඥ වෛද්‍යවරයකුගේ මූලික වැටුප 69,756 දක්වා වැඩි කරනවා. ඒ කියන්නේ රුපියල් 9000කින් ඔවුන්ට වැටුප් වැඩිවෙනවා. කාර්යාල කාර්යාල කාර්ය සහායකයකුගේ සිට නීතිපතිතුමා දක්වා රජයේ සේවකයකුගේ මූලික වැටුප සියයට 15කින් වැඩිවෙනවා. නීතිපති තමයි රාජ්‍ය සේවයේ විශාලම වැටුප ලබන්නේ. ඔහු ලබන වසරේදී රුපියල් 110,000කින් මූලික වැටුප වැඩිවෙනවා. ඒ සඳහා අතිරේක රුපියල් බිලියන 12ක් අවශ්‍ය වෙනවා. මේ වේලාවේදී වී ආර් එස් එකක් දැම්මොත් කවුරුත් විශ්‍රාම යන්නේ නැහැ. මේ අයවැය රැකියාවන් දස ලක්ෂයක් ඇති වන අයැවැයක්.

දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රවීන්ද්‍රන් කෝඩීස්වරන් මහතා (දෙජාස)-වසා දැමුණු කඩදැසි කම්හල විවෘත කර නැවත රැකියා බිහි කරන්න හැකියාව තිබෙනවා. නමුත් එම කර්මාන්ත ශාලා විවෘත කිරිමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවක් පෙනෙන්නට නැහැ. මේ අයවැයේ ඍජු හා වක්‍රබදු වෙනස විශාලයි. ඍජු බදු වැඩිකර වකු බදු අඩු කිරීමෙන් තමයි ස්ථීර ආර්ථිකයක් කරා ළඟා විය හැක්කේ. නමුත් සියයට 40ක් දක්වා වක්‍ර බදු අඩු කිරීම කළ යුතුයි. බදු ආදායම කියන්නේ ආර්ථිකය නගාසිටුවන සාධකයක්.

ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා- නිදහස ලැබී වසර 70ක් ගත වුණත් පවුල් ලක්ෂ 14ක් සමෘද්ධි සහනාධාරය ලබනවා. ණය දිගුකාලීන ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. ණය පැහැර හැරීම් වැඩිවෙලා තිබෙනවා. රාජ්‍ය ආදායම සියයට11 දක්වා අඩු වෙලා තිබෙනවා. පසුගිය වසර දෙක තුළ පමණක් සියයට 2කින් වැඩි වෙලා තිබෙනවා. ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ ගැටළු මතු වෙලා තිබෙනවා. පුරවැසියන් මිලියන 3කට වැඩි ප්‍රමාණයක් රට හැරගොස් තිබෙනවා. පෞද්ගලික හා රාජ්‍ය අංශ ශක්තිමත්ව ඉදිරියට යා යුතුයි. මෙවර අයවැය සුවිශේෂි ලක්ෂණයක් තිබෙනවා. මොකද ව්‍යවසාකයින් නගා සිටුවූමට යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. ජපානය වැටුණු වේලාවේ ව්‍යවසායකින් පස්දෙනක් එකතු වී තමය ජපානය ගොඩනැගුවේ. මෙවර අයවැයත් ව්‍යවසාය ආර්ථිකයක් බව ‍අපට පෙනෙනවා. ව්‍යවසායකයින් දිරිමත් නොකර අපේ ආර්ථිකය කළමනාකරණය කරන්න බැහැ. අපේ රටට පැමිණෙන දෙස් විදෙස් ව්‍යවසාකයින්ට උවමනා දේ ලැබෙනවා ද කියා අපි බැලිය යුතුයි. සිංගප්පූරුව වැනි රටක් සියළු හුවමාරු ගනුදෙනු ලිහිල් කළා. ඒ ලිහිල් කළා කියලා ඔවුන්ගේ සංස්කෘතියට බලපෑමක් වත් ආරක්ෂාවට බලපෑමක් වත් වුණේ නැහැ.‍ කලාපයේ හා ගෝලීය ආර්ථිකයත් සමඟ අප ඉදිරියට යා යුතුයි. අපනයන ආදායම වැඩිකරගත යුතුයි. ව්‍යවසාය සංවර්ධනය සඳහා බලපෑමක් ඇති කරන්න අඩිතාලමක් යොදා තිබෙනවා. අයවැය පසුවිපරම් කමිටුවත් පත් කිරිමට යෝජනා කර තිබීමත් ඉතාම වැදගත්. නව නිර්මාණ කරන අයට මුදල් ලබාදීමටත් පේටන්ට් බලපත්‍රය ලබාගැනිමටත් රජය මැදිහත්විමට යෝජනා කර තිබෙනවා. අපනයන කරන භාණ්ඩ සිදුකරන ස්ථාන පිළිබඳ අ‍වබෝධයක් ලබාදීමට පියවර ගන්නවා. ව්‍යවසායකයින්ට වටිනාකමක් මෙවර අයවැයට ලැබී තිබෙනවා.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා (ජවිපෙ)- මේ රටේ පැවැති ආර්ථික දේශපාලන ස්වරූපය නිසා ජනතාවට යම් යම් ජයග්‍රහණ ලැබී තිබුණත් අපි එහි ආදීනව දැක තිබෙනවා. විශේෂයෙන් විධායක ජනාධිපතිධුරය ආදීනව ජනතාව දැක තිබෙනවා. විධායක ජනාධිපතිධුරය බිහිකළ එජාපය අද එයට විරෝධය පළකරමින් සිටිනවා. විධායක ජනාධිපතිධූරය තුළ තමයි මේ රටේ යුද්දයක් නිර්මාණය වුණේ. රඑය සමඟ විවෘත ආර්ථිකයත් ආවා. අපි ඒ කරපින්නාගෙන ආ ආර්ථික ක්‍රියාවලිය මේ රට ඉදිරියට ගෙන යන්න සමත් වී තිබෙනවා ද කියා සිතා බැලිය යුතුයි.

ග්‍රාමීය ආර්ථික කටයුතු ඇමැති පී හැරිසන් මහතා- අපි බලාපොරොත්තු නොවුණ සිදුවීම් හරහා තමයි රට ඉදිරියට ආවේ. රට පාලනය කළ සැම ආණ්ඩුවකටම එම ගැටළුවලට මුහුණු දෙන්න සිදු වුණා. 2017 වසරේ අපිට බලාපොරොත්තු නොවූ නියඟයක් ආවා. එය කන්න තුනකට බලපෑවා. එය රටෙන් තුනෙන් එකක ප්‍රමාණයකට දැනුණා. ඉන් පසුව විශාල ගංවතුරක් පැමිණ විවධ ගැටළුවලට මුහුණ දෙන්න සිදු වුණා. සෑම මුදල් ඇමැතිවරයකුම ඔවුන්ගේ මට්ටමින් මේ ගැටළුවලට මුහුණ දෙමින් ආර්ථිකය ගොඩ නැගීමට කටයුතු කළා. මේ බාධක මැද්දේ මුදල් ඇමැතිවරයා ගෙන ආ අයවැය යෝජනාව ඉතාම සුබවාදීයි. රටක් හැටියට අප මුහුණ දෙන ණය කන්ද, ජාත්‍යන්තර වශයෙන් රට මුහුණ ‍දුන් කලු පැල්ලම පිළීබඳ තිබියදී මේ අයුරින් හොඳ අයවැයක් ඉදිරිපත් කිරීම ඉතාම සතුටු වෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කර තිබෙනවා. අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇති කළ යුතුයි. නවීන ලෝකයේ ගැළපෙන ආකාරයටඑ රැකී රක්ෂාවලට ගැළපෙන ආකාරයට අධ්‍යාපනය සකස් වෙලා නැහැ. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා එදා අධ්‍යාපන ඇමැතිවරයා ලෙස ගත් තීන්දු තීරණ අදටත් සුබවාදීම ක්‍රියාකරනු අයුරු පෙනෙන්නට තිබෙනවා. අද පෞද්ගලික අංශයේ රැකියා උත්පාදනය වැඩි කළ යුතුයි. එය අවශ්‍ය කරුණක්. ඒ සඳහා අයවැය යෝජනා ඉදිරිපත් වී තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා (එජනිස)-මේ අයවැය මඟින් දුප්පත් ජනතාවට බරපටවන දුෂ්ඨ අයවැයක්. බදු අනුපාතය සියයට 85 පමණ පොදු ජනතාවගෙන් ‍උදුරා ගන්නේ. සියයට 25ක් පමණයි සමාගම්වලින් ගන්නේ. මේ අයවැය සැලසුම් කළ ක්‍රමන්ත්‍රණයක්. එය පරාජය කළ යුතුයි.

දිවා විවේකයෙන් පසු නියෝජ්‍ය කාරක සභාපති සෙල්වම් අඩෙක්කලනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 1.30ට පමණ යළි සභාව රැස්විය.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී පියසේන ගමගේ මහතා (එජනිස)- මට අධිකරණයෙන් සාධාරණය වුණා. මේ වැනි අධිකරණ ක්‍රියාවලිකයක් ඕස්ට්‍රෙලියාවේ සිදු වුණානන්ම එය ඉතා ඉක්මනින් සිදු වෙනවා. පසුගිය කාලයේ පාලකයාගේ හිතුමතයට අනුව තමයි අධිකරණ තීන්දු ලබාදුන්නේ. නමුත් වර්තමානයේ එවැනි දෙයක් සිදුවූයේ නැහැ. මෙවර අයවැයෙන් අධිකරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරිමට වෙන් කිරීම පිළිබඳ ඇගයිය යුතුයි. මැනව සම්පත් සංවර්ධනය වෙනුවෙන් මිලියන 18,000ක් වෙන් කර තිබෙනවා. නිපුණතා සංවර්ධන ඇමැතිවරයා ලෙස මා 2004 සිට වැඩ කළා.

වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී ශිවමෝහන් මහතා (දෙජාස)- රජයේ වෛද්‍ය විද්‍යාල වලසිසුන් වැඩවර්ජනයේ සිටියේ. වෛද්‍ය ක්ෂේත්‍රයේ සිසූන් මෙහෙමනම් අපේ රටේ වෛද්‍ය ක්ෂේත්‍රය කොතරම් දියුණුවක් වේදැයි අපට හිතාගන්න පුළුවන්. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට ඉන්ටර්නල් ෂිප් ලබාදී නැහැ. ඒ නිසා වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ වෛද්‍යවරුන් මේ වසරේ එළියට ඒම සිදු වන්නේ නැහැ.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර මහතා මුලසුනට පැමිණියේය.

වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා- මංගල ඇමැතිතුමාගේ මංගල අයවැය සාර්ථකයි. මංගල අමැතිතුමාගේ දේශපාලන කාලයේදී මූල්‍ය වංචාවක් ගැවි නැහැ. එවැනි පුද්ගලයෙක් අයවැය ඉදිරිපත් කිරිම ඉතාම සාර්ථකයි. 1994සිට එතුමා පාලන කළ අමාත්‍යාංශ සාර්ථකත්වයක් ලබල තිබෙනවා. 77විවෘත ආර්ථිකය ඇති කළ පසු ශ්‍රී ලංකාව ඉදිරියට ගියා. වාසුදේව නානායක්කාර මහතා තවමත් කියන්නේ වසර තිහකට පැරණි කතාවක්. සම්පත්වලින් පෝහොසත් රටවල් රැජය මඟින් ව්‍යාපාර පවත්වාගෙන යනවා. නමුත් අපට එය කරන්න බැහැ. අපේ රටේ පුද්ගලික අංශයෙන් සියයට 67ක් ආර්ථිකයට ශක්තියක් ලබාදෙනවා. විවෘත ආර්ථිකය නිසා මේ තත්ත්වය ඇති වුණේ. විවෘත ආර්ථිකය තමයි අපේ රටේ ආර්ථික කොඳුනාරටිය. අපි ආර්ථික බන්ධන ලිහිල් කරලා තිබෙනවා. මංගල ඇමැතිතුමාගේ අයවැයෙන් එය නිසි දිශානතියකට හරහා තිබෙනවා. මංගල ඇමැතිතුමා 1994 ‍දි ටෙලිකොම් එක ලිහිල් කළා. අද ටෙලිකොම් ආයතනය දියුණු මට්ටමක තිබෙනවා. ඒ වැනි ලිහිල් ප්‍රතිපත්තියක් මෙවර අය‍වැයනේ යෝජනා කර තිබෙනවා. ඒ මත ව්‍යවසායක අයවැයෙක් නිර්මාණය වී තිබෙනවා. මේ වැඩපිළිවෙළ හරහා සුබසාධන කටයුතු කප්පාදු කර නැහැ. සෞඛ්‍ය ‍ක්ෂේත්‍රයේ කිසිදු කප්පාදුවක් කර නැහැ. අපේ ණය අපි ගෙවිය යුතුයි. අපේ ණය නියමිත කාලයට ගෙවූ රටක් කියා කීර්තිනාමයක් තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ විශාල රාජ්‍ය සේවයක් තිබුණා. ඒ රාජ්‍ය සේවකයින්ගෙන් ඵලදායිතාවයක් ලැබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයට රුපියල් බිලියන 200යි. නමුත් වැටුප් ගෙවන්නයි විශ්‍රාම වැටුප් ගෙවන්නයි රුපියල් බිලියන775ක් ‍වසරකට වෙන් කරන්න ඕන. ඒ නසා ණය කළමනාකරණය කිරීමට කණ්ඩායම් හැගීමක් අවශ්‍යයි.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා (එජනිස)- පසුගිය අයවැය දෙකේදී ඉටු නොකළ පොරොන්දු බොහොමයක් තබාගෙන නව පොරොන්දු ලබාදීමට විහිළුවක්.මේවා ජනතාව පිළි ගන්නේ නැහැ. ජනතාව මේවායින් අන්දන්න බැහැ.

වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය ඇමැති පාලිත රංග බණ්ඩාර මහතා- පසුගිය ආණ්ඩුව රජයේ සේවකයින්ට වැටුප් සතපහකින් වැඩි කළේ නැහැ. නමුත් අපි ආණ්ඩුව ලබා ගත්විට රුපියල් දහදහසකින් වැඩි කළා. කෘෂිකම්රාතය වැඩිමුදලක් අපි ලබාදුන්නා. මහින්ද රාජපක්ෂපගේ වලත්ත ආණ්ඩුව නියෝජනය කළ අද අද කතා කරන්නේ කොහොමද කියා හිතාගන්න බැහැ. අපි තෙල් මිල අඩු කළා. වැටුප් වැඩි කළා. ගෑස් මිල අඩු කළා. එදා ඉන්ධන අඩු බැරි ආණ්ඩුව අපි තෙල් මිල අඩු කළාම ඒ ගාණට තෙල් ගහලා අද මේ සභාවට එනවා. එදා කෘත්‍රිම රා හදපු කාලණ්ණි ආණ්ඩුනේ නියෝජිතයො අද පල්ලියේ දේශනාව කියනවා වගේ කතා කරනවා. සාධාරණ විවේචන කරන්න අපි එය පිළිගන්වන්නම්. එදා හොරාකෑ අය අද ජනතාව‍ වෙනුවෙන් කඳුළු සලනවා. පසුගිය ආණ්ඩුව ඉතුරු කරල ගිය ණය කන්දයක් අපි භාරගත්තේ.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා (එජනිස)-වසර තුනක් ඇතුළත ආර්ථික ප්‍රතිපත්ත නවයක් මේ ආණ්ඩුව ඉදිරිපත් කර තිබනවා. ඒ කියන්නේ වසරකට රට ගමන් කරන දිශානතිය තුන් පැත්තකට යොමු වෙලා. එකිනොකට පරස්පර විරෝධී ආර්ථික ප්‍රතිපත්ති මාස තුනක් ඇතුළත ආණ්ඩුව වෙනස් කර තිබෙනවා. දැන් කතා කරනවා ණය කන්දක් ගැන.2015 වන විට මේ රටේ ණය බර රුපියල් බිලියන 7391යි. මේ වනවිට රුපියල් බිලියන 10,161ක් ඉක්මවා ගිහින් වසර දෙකක් තුළ බිලියන දෙදහකට වැඩිය ණය අරගෙන.

අධිකරණ හා විදේශ රැකියා ප්‍රවර්ධන ඇමැති තලතා අතුකෝරාළ මහත්මිය- මෙවර අය වැය සහනාධාර ලබාදෙන් අය වැයක් නොවයි. නමුත් දිගුකාලීන ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමට මේ අයවැය යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. මහමුහුදෙන් මුදල් ජනනය කරන්නා වූ අයවැයක්. පරිසරය සුරැකීමට පවා අයවැය යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. සංචාරක ව්‍යපාරය ප්‍රවර්ධනය වැඩි පියවර ගැනීමට කටයුතු කර තිබෙනවා.ජනජීවිත ශක්තිමත් කිරීම‍ට පියවර ගෙන තිබෙනවා. සූර්යබල ශක්තිය වැඩිදියුණු කිරීමට යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ප්ලාස්ටික් භාවිතය අධෛර්ය කිරිමට යෝජනා කර තිබෙනවා. ස්වංරැකියා සඳහා දිරිදීමනා ලාබදීමට පියවර ගෙන තිබෙනවා. ආර්ථිකය සුබදිශානතියකට ගෙනයාමට අයවැයෙන් ශක්තිමති පදනමක් දැම්මා. ස්වභාවික ආපදාවලින් විපතට පත් ජනතාවට වෙනුවෙන් අපි සහන ලබාදුන්නා.

වාරාය හා නාවුක කටයුතු නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා

නිල හරිත අයවැයක් අද ඉදිරිපත් කර තිබෙනවා. ගංවතුර තත්ත්වය ඇතිවී මැස හයක් ඇතුළත කළු ගිං නිල්වලා ව්‍යාපෘති සඳහා අයවැයෙන් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. එමඟින් ගංවතුර පාලනයට පියවර ගෙන තිබෙනවා. මේ වසරේදී ගංවතුර හා නියං ආධාර රුපියල් බිලියන 70ක් වෙන් කළා. 2017 අයවැයෙන් එවැනි මුදලක් වෙන් කර තිබුණේ නැහැ. නමුත් අවශ්‍යතාව මත අපි ඒ සඳහා මුදල් වෙන් කර ජනතාවට සහන දුන්නා. නව අධ්‍යාපන ක්‍රමයක අවශ්‍යතාව සමාජය තුළ පවතිනවා. විශේෂයෙන් පාසල් අධ්‍යාපනයෙන් පසු රැකියා බිහිවන අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතුයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා මුලසුනට පැමිණියේය.

කෘෂිකර්ම රාජ්‍ය ඇමැති වසන්ත අළුවිහාරේ මහතා- ජනතාවට බරක් නැති අයවැයක් තමයි ඉදිරිපත් කර තිබෙන්නේ. පසුගිය සන්ධාන රජය ඇති කළ විශාල ණය බර නිසාත් නියඟය හා ගංවතුර නිසාත් ආර්ථිකයට විශාල බලපෑමක් කර තිබෙනවා. ඒ නිසා ණය පියවීමටත් ඉදිරියේ ඇති ආහාර අර්බුදයටත් විසඳුම් සෙවිමට අවශ්‍ය යෝජනා මේ අයවැයේ ඇතුළත් වෙනවා. ජනාධිපතිවරයා වගාසංග්‍රාමය හරහා ආහාර අර්බුදයට විසඳුම් සෙවීමට කටයුතු කර තිබෙන අතර ඒ සඳහා අයවැයෙන් මුදල් වෙන්කිරිමට යෝජනා කර තිබෙනවා. පරිසරය සුරැකීමට යෝජනා ඉදිරිපත් කර ඇති අතර, එය ක්‍රියාත්මක කිරිමෙන් පසු ප්ලාස්ටික් භාවිතය අවම කිරිමට එයට හැකිවේවි. නීල හරිත අය වැය මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සුබකලදවසක් ඇතිවේවි

ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන රාජ්‍ය ඇමැති ඒ එච් එම් ෆවුසි මහතා- එක ජාතිකයක් ලෙස ජීවත්වීමට හා ප්‍රතිසන්ධානය කිරීමට මෙවර අයවැයෙන් විශාල මුදලක් වෙන් කර තිබෙනවා. ශක්තිමත් ජාතියක් ලෙස ජාත්‍යන්තරයට ශ්‍රී ලංකාව ඔසවා තැබීමට මෙමඟින් හැකියාව ලැබෙනු ඇත. සියලුදෙනා සතුටු කළ හැකි අයවැයක් කවදාවත් ඉදිරිපත්වී නැහැ. යම් යම් අඩුපාඩු තිබෙන්නට පුළුවන්. නමුත් අඩුපාඩු අවම කරගනිමින් ජාතියක් විදිහයට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට අප කටයුතු කළ යුතුයි. ඒ සඳහා මේ නීල හරිත අයැවය මඟින් හැකියාව ලැබේයි.

කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ඇමැති පී දිගම්බර්න් මහතා- පසුගිය රජය කාලයේ වතු නවාස ලබාදෙන බව අයවැය ලේඛනවල සදහන් කළා. නමුත් ඒවා සුන්දර වචනවලට පමණක් සිමා වුණා. මෙවර නීල හරිත අයවැයෙන් එක් ප්‍රදේශයකට පමණක් මුදල් වෙන් කර නැහැ. වතු ජනතාව වෙනුවෙන් නිවාස ව්‍යාපෘතිය ඇති කිරිමට මෙන්ම අනෙක් ප්‍රදේශවල නිවාස අවශ්‍යතාව සපුරාලීමට මුදල් වෙන් කර තිබෙනවා. දැනටමත් තනි නිවාස වතු ජනතාවට ලබාදීමට යහපාලන රජය කටයුතු කළා. ඉදිරියේදී තවත් වතු නිවාස ඇතිකරදීමට කටයුතු කරනවා.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී මොහාන් ප්‍රියදර්ශන මහතා (එජනිස)- යහපාලන රජය බලයට එඑන්න අධ්‍යාපනයට සියයට 6ක් වෙන්කරනවා කිව්වා. අද එම පොරොන්දු ඉටු කර නැහැ. එක් ප්‍රාදේශිය ලේකම් කොට්ටඨශකය නිවාස 1000ක ව්‍යාපෘතිය සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ටාශයකම ක්‍රියාත්මක කරනවා කිව්වට එය ක්‍රියාත්මක වී නැහැ. අද අයෝජකයින් පැමිණෙන්නේ නැහැ. ව්‍යවසායක අයවැයක් කිව්වාට එක ව්‍යවසායකයකු එන්නේ නැති අයවැයක්.

ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති එම් එම් හාරිස් මහතා- අඩු ආදායම් ලාභි ජනතාව තෘප්තිමත් කරන අයවැය යෝජනාමාලාවක් මෙවර ඉදිරිපත් කර තිබෙනවා.උතුරු පළාත වෙනුවෙන් රුපියල් මිලියන 90,000ක් වෙන් කර තිබෙනවා. නැගෙනහිර පළාත් ක්‍රීඩාංගණ සංවර්ධන සඳහා විශාල මුදලක් වෙන් කර තිබෙනවා. ක්‍රීඩාව තුළින් සංහිඳියාව ගොඩනැංවීමට අඩිතාලම යොදා තිබෙනවා. නැගෙනහිර පළාතේ සමහර දේශපාලනඥයින් ඉතිහාසය විකෘති කරනවා. ඒ අයට එරෙහිව කටයුතු කළ යුතුයි.

මඩකළපු දිස්ත්‍රික් මන්ත්‍රී අලී සහීර් මවුලානා මහතා (මුකොග්‍ර)-දේශීය ව්‍යවසායකයින් නගාසිටුවීමට කටයුතු කිරිම වැදගත්. ජාතික බුද්ධිම දේපළ කාර්යල පිහිටුවීම මඟින් අධ්‍යාපන ක්ෂේත්‍රයට විධිමත් සංවර්ධනයක් ඇති කළ හැකියි. වසර 13ක අධ්‍යාපනය ඉතාම වැදගත්. ඔවුන්ගේ කුසලතාවයන් මගින් රටේ ආර්ථිකය නගාසිටුවීමට පියවර ගැනීම සතුටුයි.

නුවර දිස්ත්‍රික් මන්ත්‍රී වේළුකුමාර් මහතා මුලසුනට පැමිණියේය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මන්ත්‍රී අබ්දුල්ලා මහරූෆ් මහතා (එජාප)-නැගෙනහිර පළාතේ මාර්ග සංවර්ධන සඳහා මුදල් වෙන් කර තිබෙනවා. අපේ පළාත්වල ග්‍රාමීය ප්‍රදේශවල මාර්ග ප්‍රතිසංස්කරණ මට්මක තිබෙනවා. ඒවා කඩිනමින් සංවර්ධනය කරන්න උවමනායි. අපගේ නිර්දේශ මේ වනවිටත් අයැවය සඳහා ‍යොමු කර තිබෙනවා.

‍ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා (එජාප)- අයවැය ලේඛනය විවේචනය කරන්න සිටි ඒකාබද්ධයට අද විවේචනය කරන්න දෙයක් නැහැ. අපි ඡන්දය ඉලක්ක කරගෙන අයවැය‍ ලේඛනය සකස් කළේ නැහැ. ශ්‍රී ලංකාවේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට අඩිතාලම දැමීමේ මූලික අරමුණ ඇතිවයි අපි අයවැය ඉදිරිපත් කළේ.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රසන්න රණවිර මහතා (එජනිස)- මෙවර අයවැයෙන් ජනතාවය කිසිදු සහනයක් ලබාදී නැහැ. පසුගිය අයවැය තුනේදීම කළාසේම වචන වලින් අයවැයක් පමණක් මෙවරත් ඉදිරිපත් කර තිබෙන්නේ. මේ අයවැයෙන් මැදමුලන බද්ද කියා මුදල් ඇමැතිවරයා හඳුන්වා දුන්නා. අපි ඒකට ගියන්නේ අලෝෂියස් බද්ද කියයි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර මහතා මුලසුනට පැමිණියේය.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා (එජාප)-ප්‍රසන්න මන්ත්‍රීතුමා අද ඇප පිට ඇවිල්ල නිදහසේ කතා කළා. නමුත් එතුමා අයවැය පිළිබඳ අවබෝධයකින් කතා කළේ නැහැ. මෙතෙක් කල් තිබුණේ සුබසාධක අයවැයක්. නමුත් මෙවර අයවැය ව්‍යවසායක අයවැයක්. මෙයින් මේ රටේ ආර්ථික ශක්තිමත් කිරිමට හැකියාව තිබෙන නිසයි.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා (එජනිස)-මහින්ද රාජපක්ෂ මහත්තයගේ කා‍ලයේ ඉරණමඩු ජල යෝජනා ක්‍රමය ඇති කළා. නමුත් ඉරණමඩු ටැංකියේ ජලය යාපනයට දෙන්න ශ්‍රීධරන් මහත්තයා කැමැති නැහැ. එ‍තකොට දෙමළ ජාතිකයින්ට බාධා කරන්නේ අපිද. නෑ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්මයි. . ‍එසේ නොකළනම් ඔවුන්ගේ දේශපාලනයක් නැහැ.

විවාදය නිමාවිය.

පාර්ලිමේන්තුව අද (15) පෙරවරු 9.30‍ට යළි රැස්වේ. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...