අවුකන ආවරණයට අකුණු අනතුරු නැහැ | දිනමිණ

අවුකන ආවරණයට අකුණු අනතුරු නැහැ

විදුලි ඉංජිනේරුවෝ කියති

ඓතිහාසික අවුකන පිළිම වහන්සේට ආරක්ෂාව සලසමින් ඉදිකැර ඇති ආවරණ වහලය නිසා පිළිම වහන්සේට අකුණු අනතුරු නැතැයි ඒ ගැන සොයා බැලූ විදුලි ඉංජිනේරුවරු අවධාරණය කැර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරයි.

ඓතිහාසික අවුකන පිළිම වහන්සේට ආරක්ෂාව සලසමින් ඉදිකොට ඇති ආවරණ වහලය හේතුවෙන් පිළිම වහන්සේට අකුණු අනතුරු ඇතිවන බව ‍විහාරාධිපති ස්වාමීන් වහන්සේ විසින් මාධ්‍යයට කරුණු වාර්තාකොට තිබූ අතර ඒ පිළිබඳ අවධානය යොමුකළ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා මේ පිළිබඳ වහා සොයා බලන ලෙස පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබිණි.

ඒ අනුව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ‍ජනරාල් මහාචාර්ය ජී. බී. මණ්ඩාවල මහතා මේ පිළිබඳ විද්වතුන්ගේ අදහස් ලබාගනිමින් අවශ්‍ය පිළියම් යෙදීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා අධ්‍යාපන අමාත්‍යාංශයට ඒ සම්බන්ධයෙන් එවා ඇති ලිපියේ මෙසේ සඳහන්ය.

මෙම ආවරණ වහලය 2013, 2014, 2015 යන කාලය තුළ භාණ්ඩාගාර ප්‍රතිපාදන මත රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව විසින් ඉදිකරන ලදී. තවත් මෙවැනිම වහලයක් එම දෙපාර්තමේන්තුව මගින් මාළිගාවිල ඓතිහාසික බුදු පිළිම වහන්සේ ආවරණය වන පරිදි ද තවත් වහලයක් ඓතිහාසික තිවංක පිළිම ගෙයි ආරක්ෂාව පිණිස රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මඟින් ද ඉදිකිරීමට කටයුතු කරන ලදී.

මෙම වහලය පිළිම වහන්සේ පිහිටුවා ඇති විහාර සීමාවෙන් පිටත අඩි 10 ක් පමණ ගැඹුරට කැණීම් කරන ලද අත්තිවාරම් 4 ක ගොඩනංවන ලද වැරගැන්වූ කම්බි යෙදූ කොන්ක්‍රීට් පාදම් 4 ක් මත සවිකළ යකඩ කණු 4 ක ආධාරයෙන් ඉදිකළ Space Frame වර්ගයේ වහලයකි. මෙම වහලය ඉදිකර මේ වන විට වසර 2 ක් පමණ ගත වී ඇති අතර අකුණුසර වැදීමේ හැකියාවක් ඇති බවට විහාරාධිපති හිමියන් ප්‍රකාශ කළ ද මේ දක්වා මෙම වහලයට හෝ ආශ්‍රිත ප්‍රදේශයට අකුණුසර වැදුණු බවක් වාර්තා වී නොමැත.

මාධ්‍ය මඟින් මේ පිළිබඳ පළවූ වාර්තා හැරුණුකොට විහාරාධිපති හිමියන් අප වෙත වාචිකව හෝ ලිඛිතව මේ පිළිබඳව දන්වා නොමැත.

කෙසේ නමුත් ‍අදාළ ඉදිකිරීම මඟින් පිළිම වහන්සේට කිසිදු අකුණු අනතුරක් සිදුනොවන බව විදුලි ඉංජිනේරුවරුන් තහවුරු කළ අතර, මෙම වහලයේ තාක්ෂණය අනුව එමඟින් අකුණු භූගත කරන බව ඔවුන් පෙන්වා දී තිබේ.

නමුත් අකුණුසර වදින අවස්ථාවක ඒ ආසන්නයේ සිටින පුද්ගලයින්ට යම් බලපෑමක් ඇතිවීමේ හැකියාවක් ඇති බව පමණක් දැනගන්නට ලැබුණි. එබැවින් එවැනි අනතුරු වැළැක්වීමට ආරක්ෂක ක්‍රමවේදයන් භාවිතා කළ යුතු බවට උපදෙස් ලැබුණි.

මෙම පිළිම වහන්සේ දහනව වන සියවස අග භාගයේදී නැවත සොයා ගන්නා අවස්ථාවේදී වහලයකින් තොරව පැවති අතර, 1900 කාලයේ දී පොළවට සම්බන්ධ නැති ලෝහමය වහලයකින් හිස කොටස පමණක් ආවරණය කිරීමට කටයුතු යොදා තිබුණි. පසුව එය ගලවා ඉවත් කළ අතර, 1970 දශකයේදී පැරණි පාදම ආශ්‍රිතව සැලසුම් කළ ගඩොල් ආරුක්කු වහලයක් ඉදිකරන්නට යෙදුණු අතර එම වහලය 1999 දී ගලවා ඉවත් කරන ලදී. ඉන්පසු නැවත නිරාවරණය වී තිබීම හේතුවෙන් 2013 දී දැනට ඉදිකර ඇති මෙම වහලය ඉදිකිරීම සඳහා කටයුතු කරන ලදී. වහලයක් නොමැති අවස්ථාවන්හිදී හෝ අනෙකුත් වහලයන් පැවති කාලයන්හිදී මෙම පිළිමය අකුණු අනතුරු අවදානමක් නොතිබූ අතර, මේ හා සමාන වහල සහිත මාළිගාවිල පිළිමය, තිවංක පිළිමගෙය හා ගල් විහාරය යන කිසිදු ස්ථානයකින් මෙවැනි අනතුරුදායක තත්ත්වයක් වාර්තා නොවේ.

කෙසේ නමුත් මෙම ගැටලුව සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මහේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ උපදෙස් ලබාගෙන ඇති අතර, මේ වන විට ඉහත ආකාරයට යකඩ භාවිතයෙන් වහල ඉදිකර ඇති පුරාවිද්‍යා ස්ථාන තුනටම අකුණු ආරක්ෂක උපකරණ සවිකිරීමට සැලසුම් කර ඇත.Ó 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...