විදුලි බලය සමඟ යුද හමුදාව හැප්පෙයි | දිනමිණ

විදුලි බලය සමඟ යුද හමුදාව හැප්පෙයි

ප්‍රින්ස් ගුණසේකර

මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් පිරිමි අංශයේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා යුද හමුදාව සමග ලංකා විදුලිබල මණ්ඩලය තරග වැදීමට සූදානමින් සිටියි. එහි කාන්තා අවසන් තරගය යුද හමුදාව හා ගුවන් හමුදාව අතර පැවැත්වෙයි. ආධුනික කාන්තා අංශයේ අවසන් ගැටුම බෝයගම සිරි පැරකුම් හා මහඋස්වැව ගලිගමුව රත්නපාල ක්‍රීඩා සමාජය අතර හා ආධුනික පිරිමි අවසන් තරගය කුරුණෑගල ගෝල්ඩන් ටයිගර්ස් ක්‍රීඩා සමාජය හා ගාල්ල එස්. එල්. ඒ. ඕ. සී ක්‍රීඩා සමාජය අතර පැවැත්වේ. ‘ඔසවමු දස්කම් අනාගතයට’ යන තේමාව ඔස්සේ සීමාසහිත සිලෝන් බිස්කට් සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් සංචිධාන කරන මේ ජාතික වොලිබෝල් ශූරතාවලියේ අවසන් තරග මේ 18 වැනිදා මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

සුපර් ලීග් පිරිමි අංශයේ අවසන් මහා තරගයට පිවිසි ශ්‍රී ලංකා යුද හමුදාව අවසන් පූර්ව තරගයේදී මාස්කැෂුවලයින් පිල 3-1ක් ලෙස පරාජය කළ අතර ලංකා විදුලිබල මණ්ඩලය 3-0ක් ලෙස වරාය අධිකාරිය පිල පරාජයට පත් කළේය. මේ හේතුවෙන් වරාය අධිකාරිය හා ගුවන් හමුදාව අතර පැවැති තෙවැනි ස්ථානය තේරීමේ තරගයෙන් 3-2ක් ලෙස ගුවන් හමුදාවට ජය හිමි විය.

සුපර් ලීග් කාන්තා අංශයේ අවසන් මහා තරගයට පිවිසි ශ්‍රී ලංකා යුද හමුදාව අවසන් පූර්ව තරගයේදී වරාය අධිකාරී පිල 3-0ක් ලෙස පරාජය කළ අතර ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ තරග වට 3-0ක් මාස් කැෂුවලයින් පිල පරාජයට පත් කළහ. තෙවැනි ස්ථානය තේරීමේ තරගයේදී මාස් කැෂුවර්ලයින් පිල තරගවට 3-1ක් ලෙස වරාය අධිකාරී පිල පරාජයට පත් කළේය.

ආධුනික පිරිමි අවසන් තරගයට පිවිසි කුරුණෑගල ගෝල්ඩන් ටයිගර්ස් ක්‍රීඩකයෝ අවසන් පූර්ව ගැටුමේදී කෑගල්ල ක්‍රියේටර්ස් ක්‍රීඩා සමාජය තරගවට 3-0කින් හා ගාල්ල එස්. එල්. ඒ. ඕ. සී ක්‍රීඩකයෝ තරගවට 3-0කින් මහනුවර වැගනර්ස් පිල පරාජයට පත් කළහ. තෙවැනි ස්ථානය සඳහාවූ තරගයේදී වැගනර්ස් පිල 3-0 කින් පරාජය කළ කෑගල්ල ක්‍රියේටර්ස් පිල ජය තහවුරු කර ගත්තේය.

ආධුනික කාන්තා අංශයේ අවසන් ගැටුමට පිවිසි ගලිගමුව බෝයගම සිරි පැරකුම් ක්‍රීඩිකාවෝ තරගවට 3-0කින් කුරුණෑගල ඔමේගා ලයන්ස් ක්‍රීඩා සමාජය අවසන් පූර්ව තරගයේදී පරාජයට පත්කළ අතර මඩකළපුව බ්ලැක් ලයන්ස් පිල තරගවට 2-0ක්ව තිබියදී මහඋස්වැව ගලිගමුව රත්නපාල ක්‍රීඩා සමාජයට ජයග්‍රහණය ප්‍රදානය කොට ඉවතට ගියේය. අනතුරුව පැවැති ඔමේගා ලයන්ස් හා බ්ලැක් ලයන්ස් අතර තෙවැනි ස්ථානය තේරීමේ තරගයේදී කුරුණෑගල ඔමේගා ලයන්ස් ක්‍රීඩා සමාජයට තරගවට 3-0කින් ජය හිමි විය.

මෙවර සුපර් ලීග් අංශයෙන් ශූරතා දිනන පිරිමි හා කාන්තා කණ්ඩායම් දෙකට රුපියල් ලක්ෂ එකහමාර බැගින් පිරිනැමෙන අතර ආධුනික අංශයේ ජයග්‍රාහී පිරිමි හා කාන්තා කණ්ඩායම් දෙකට රුපියල් ලක්ෂය බැගින් පිරිනැමේ. සුපර් ලීග් දෙවැනි ස්ථානවලට රුපියල් ලක්ෂය බැගින් හා තෙවැනි ස්ථානවලට රුපියල් 50000 බැගින් පිරිනැමේ. ආධුනික අංශයේ දෙවැනි ස්ථානවලට රුපියල් 50000 බැගින් හා තෙවැනි ස්ථානවලට රුපියල් 25000 බැගින් පිරිනැමීමට සිලෝන් බිස්කට් ආයතනය කටයුතු යොදා ඇත. 

නව අදහස දක්වන්න