පොලිස් රගර් ක්‍රීඩාවට කාගිල්ස් වසර 3ක අනුග්‍රාහකත්වයක් | දිනමිණ

පොලිස් රගර් ක්‍රීඩාවට කාගිල්ස් වසර 3ක අනුග්‍රාහකත්වයක්

ෆවුස් මොහොමඩ්
කාගීල්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඉම්තියාස් අබ්දුල් වාහිද් මහතා පොලිස් රගර් කණ්ඩායමට කාගීල්ස් අනුග්‍රාහකත්වය ලබාදෙමින් පොලිස් රගර් ක්‍රීඩා කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා වෙත සංකේතාත්මක චෙක්පත පිරිනැමූ අයුරු.

අසූව දශකයේ සහ අනූව දශකයේ මුල් භාගයේදී අඛණ්ඩව වසර 8ක් අන්තර් සමාජ පළමුපෙළ ලීග් රගර් තරගාවලියේ ශූරතාව දිනාගනිමින් රගර් පිටිය දිග්විජය කළ පොලිස් රගර් ක්‍රීඩා සමාජයට මේ වසරේ සිට වසර 3ක කාලයක් සඳහා පූර්ණ අනුග්‍රාහකත්වය ලබාදීමට කාගීල්ස් සිලෝන් පුද්ගලික සමාගම ඉදිරිපත්වී සිටී.

ජාත්‍යන්තර හා ජාතික තලයේ විශිෂ්ට දස්කම් දැක්වූ රගර් ක්‍රීඩකයන් රැසක් අතීතයේදී බිහි කළ පොලිස් රගර් ක්‍රීඩා සමාජයට කාගීල්ස් සමාගම වෙතින් වසරකට රුපියල් මිලියන 8 බැගින් වසර 3ක කාලයක් සඳහා රුපියල් මිලියන 24ක අනුග්‍රාහකත්වයක් ලැබී තිබේ.

1958 වසරේදී පොලිස් රගර් ක්‍රීඩාව ආරම්භ වීමෙන් පසුව දේශීය රගර් පිටියේ විශිෂ්ටතම කණ්ඩායමක් බවට පත්වීමට පොලිස් රගර් ක්‍රීඩා සමාජය සමත්වූයේ වසර 1984 සිට 1991 දක්වා කාලය තුළ මෙරට රගර් ලීග් තරග බිමේ සිය ආධිපත්‍ය පතුරුවාලමිනි.

අතීතයේදී දැක්වූ එම දස්කම් නැවත විදහා පෑමට පොලිස් රගර් ක්‍රීඩා සමාජයට හැකිවනු ඇතැයි ඊයේ පොලිස් මූලස්ථානයේදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කාගීල්ස් සමාගමේ අනුග්‍රාහකත්වය පිරිනැමීමේ මාධ්‍ය හමුවේදී එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ඉම්තියාස් අබ්දුල් වාහීද් මහතා විශ්වාසය පළ කළේය. නැවත පෙරළිකාර දස්කම් දැක්වූ යුගය සඳහා පොලිස් රගර් කණ්ඩායමට සුබපැතීමට ද ඉම්තියාස් අබ්දුල් වාහිද් මහතා අමතක කළේ නැත.

පොලිස් රගර් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදු කරමින් සිටින බවත්, විනය, තාක්ෂණය, ගුණාත්මකභාවය ඉහළ තලයකට ඔසවා තබමින් රගර් ක්‍රීඩකයන් සිය දස්කම් ඔප්නංවා ගනු ඇතැයි මෙහිදී අදහස් පළ කළ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කීවේය.

‘අපේ කණ්ඩායම මෙවර තරග කරන්නේ කොන්ත්‍රාත් ක්‍රීඩකයන්ගෙන් තොරවයි. සම්පූර්ණයෙන්ම තරුණ පොලිස් නිලධාරින්ගෙන් සමන්විත අපගේ කණ්ඩායමට අභියෝග රැසක් තිබෙනවා. 85,000ක් සිටින ශ්‍රී ලංකා පොලිස් සේවයෙන් තෝරාගත් දක්ෂ රගර් ක්‍රීඩකයන්ගෙන් අපි සංචිතයක් පිහිටුවා තිබෙනවා. ‘ පොලිස්පතිවරයා කීවේය.

පොලිස් රගර් ක්‍රීඩා කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා සහ කාගීල්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඉම්තියාස් අබ්දුල් වාහීද් මහත්වරු අතර අනුග්‍රාහකත්වයට අදාළ ගිවිසුම් අස්සන් කිරීම හා හුවමාරු කිරීම මෙහිදී සිදුකෙරිණි.

කාගීල්ස් අනුග්‍රාහකත්වය යටතේ ක්‍රීඩා කරන පොලිස් රගර් පිලේ ක්‍රීඩා ඇඟළුම් කට්ටලය නිවාරණය කිරීම පොලිස්පතිවරයා අතින් සිදුවිය. පොලිස් රගර් කණ්ඩායමට වසර තුනකට අනුග්‍රාහකත්වය සැපයු කාගිල්ස් සමාගම වෙත සමරු තිළිණයක් පිරිනැමීම ද පොලිස්පතිවරයා අතින් සිදුකෙරිණි.

මේ අවස්ථාවට කාගීල්ස් සමාගමේ සමූහ වෙළෙඳ කළමනාකාරීනී මල්ජිනි ජයසේකර මහත්මිය ඇතුළු පොලිසියේ උසස් නිලධාරීහු රැසක් එක්වූහ.

නව අදහස දක්වන්න