රාජ්‍ය සේවය පණගැන්වීම ...! | දිනමිණ

රාජ්‍ය සේවය පණගැන්වීම ...!

රාජ්‍ය සේවය පිළිබඳ ඉතා හොඳ කතාවක් ඉරානයෙන් අසා දැන ගත හැකි ය. එරට රාජ්‍ය නිලධාරීන්ගේ අදහස වන්නේ අපේ  ශක්තිය අල්ලාහ් දෙවියන් කෙරෙහි ඇති භක්තිය යන්න ය. ඉන් කියැවෙන්නේ මේ නිලධාරීන් විනයගරුක පුද්ගලයන් බව ය. දෙවියන් අපට දුන් සම්පත් පොදු මනුෂ්‍යයාගේ යහපත උදෙසා යෙදවිය යුතු බවත්; ඒවා සූරාකෑමට ලක් කළහොත් අල්ලා දෙවියන්ගේ ශාපය ඉඳුරාම අදාළ පුද්ගලයන් කරා එන බවත් ඔව්හු කියා සිටිති. රාජකාරිය දේවකාරියටත් වඩා උතුම් යැයි කතාවක් ශ්‍රී ලංකාවේ පවතී. එය පිළිගන්නේ නම්; ඉරානයේ පවතින විනයගරුක බවට වැඩි දෙයක් අපේ නිලධාරීන් ළඟ තිබිය යුතුය.

අපේ රාජ්‍ය ‍සේවය ගැන මහජනයා තුළ පවත්නා හැඟීම ඒ හැටි ‍හොඳ එකක් නොවේ. ඒ හැරෙන්නට රාජ්‍ය නිලධාරීන් දේශපාලකයන් සමඟ එකතු වී කරන ලද මහා පරිමාණ දූෂණ එකින් - එක හෙළිදරව් වෙන්නට පටන්ගෙන තිබේ. ඇතැම් පරීක්ෂණවලදී ද, ඇතැම් නඩු විභාගවලදී ද නිලධාරීන් අල්ලා රිමාන්ඩ් ගත කිරීමට පොලිසියට සිදු වී තිබේ. රාජ්‍ය දේපොළ කොල්ලකෑම හෝ අයථා ලෙස භාවිත කිරීම හෝ සැලැකිය හැක්කේ බලවත් අපරාධයක් හැටියට ය. ‍මේ අපරාධවලට නිලධාරීන් පෙලඹෙන්නේ ඇයි? මෙය විමසා බැලිය යුතු වැදගත් ප්‍රශ්නයකි. ඒ සමඟම සොයා බැලිය යුත්තේ රාජ්‍ය ආයතන දිගින් - දිගට ම පාඩු ලබන හා අකාර්යක්ෂම තැනක පසුවන්නේ මන්ද යන්න ය.

රාජ්‍ය අංශයට අයත් ආයතන අටසිය ගණනක් පිළිබඳ සමීක්ෂණයක යෙදීමට මෑතකදී අවස්ථාව ලැබී තිබේ. එහිලා පාදක කරගෙන ඇත්තේ 2015 වර්ෂයේ අයවැය ලේඛනයේ යෝජනාවලට හා යෙදවුම්වලට අනුව එකිනෙක ආයතන කෙතරම් ප්‍රගතියක් ලබා තිබේ ද යන්න ය. අනෙක් අතට එම මුදල් වර්ෂයට අයත් අරමුදල් කුමන ආකාරයකින් ප්‍රයෝජනයට ගෙන තිබේ ද යන්න ය. මෙහි දී ආයතන අසූ එකක් සතුටුදායක හා ධනාත්මක තත්ත්වයන් පෙන්නුම් කර තිබේ. එම ආයතනව ල ඇතැම් නිලධාරීන් සම්මානය ට ද පාත්‍ර වී තිබේ. එහෙත් ‍මෙහි ලා දැක ගත හැකි කනගාටුදායක තත්ත්වය වන්නේ ආයතන හයසිය ගණනක් ම සතුටුදායක තත්ත්වයක නො පැවතීම ය.

මුදල් වර්ෂයක් අවසානයේ දී රජයේ ආයතන ලබාගෙන ඇති ප්‍රගතිය කුමක්දැ’යි සමාලෝචනයක් පැවැතිය යුතුය. එම සමාලෝචනයේ දී ජයග්‍රහණවලට හේතු සේ ම පසුබෑමට හේතු ද සොයා බැලිය යුතුය. එහෙත් එවැන්නක් මෙතෙක් සිදු වී නැත. එබැවින් රාජ්‍ය ආයතනවලට රිසි සේ කටයුතු කරන්නටත්, නිලධාරීන්ට කැමැති ලෙස මුදල් පරිහරණය කරන්නටත් අවස්ථාව ලැබී තිබේ. එහෙත් මීට දසක කිහිපයකට පෙර එබඳු තත්ත්වයක් පැවැතියේ නැත. එදා මුදල් වියදම් කළේ ද, අය කිරීම් ලබාගත්තේ ද දැඩි නීති - රීතිවලට යටත්ව ය. එබැවින් හැමවිට ම පොදු දේපොළ ආරක්ෂා විය. ඒවා මහජනයාගේ ප්‍රයෝජනය සඳහා ම යොදවන ක්‍රමයක් ද ඇති විය.

අපේ රාජ්‍ය සේවය ප්‍රතිසංවිධානය විය යුතුය යන්න බොහෝ දෙනා විසින් පිළිගනු ලබන කාරණයක් බවට පත් ව තිබේ. ජනාධිපතිවරයා ද මීට දින දෙකකට පෙර කියා සිටියේ බිඳ වැටුණු රාජ්‍ය සේවාව ගොඩනැගීම සඳහා රජය කැප වී ක්‍රියා කරන බව ය. එලෙස ම ජනාධිපතිවරයා පෙන්වා දුන් තවත් වැදගත් කාරණයක් වන්නේ මීට දසක කිහිපයකට පෙර රාජ්‍ය සේවය හොඳින්   පැවැති බව ය. රාජ්‍ය පාලනයේ ප්‍රධානයා වන ජනාධිපතිවරයා රාජ්‍ය සේවයේ තත්ත්වය වටහා ගැනීම ඉතා වැදගත් ය. ජනතාව ඊට පෙර මේ තත්ත්වය වටහාගෙන සිටියේ යැයි කියන්නට පුළුවන. මහජනයා දීර්ඝ කාලයක සිට ම රාජ්‍ය ආයතන ගැනත්; රාජ්‍ය නිලධාරීන් ගැනත් ප්‍රසාද - මුඛයෙන් කතා කළේ නැත. අද තත්ත්වයද ඊට වෙනස් නැත.

රාජ්‍ය සේවය ගැන කතා කරන විට ඊට එරෙහිව නැ‍ඟෙන ‍චෝදනා රාශියක් තිබේ. මේ ආයතනවල ක්‍රියාකාරිත්වය අදට නොගැළපෙන බව ප්‍රධාන චෝදනාවකි. ඒවා හොර ගුහාවන් බවට ද, අල්ලස් ලබාගන්නා ස්ථාන බවට ද පත් වී ඇතැ’යි තවත් චෝදනාවක් තිබේ. අකාර්යක්ෂමතාව, නිලධාරීවාදය, නාස්තිය, අක්‍රමිකතා යන චෝදනා ද රාජ්‍ය අංශයට දැඩි ලෙසින් එල්ල වෙයි. මේ ආයතනවලින් බොහොමයක් පාඩු ලබන තැනක පැවැතීම ද, සාර්ථක මහජන සේවයක් ලබා නොදීම ද මහජනයා වෙතින් එල්ලවන තවත් චෝදනා දෙකකි. මේ ආයතනවලින් බොහොමයක් වාර්ෂික ඉලක්ක සපුරාගන්නේ නැත. ඇතැම් ආයතනවලට ඉලක්ක ඇත්තේ ද නැත. මේ සියල්ලෙන් ම පැහැදිලි වන්නේ රාජ්‍ය සේවය තුළ ඇති අවුල යැයි කිව හැකි ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය සේවය පුළුල් කළේ යැයි ආඩම්බරයෙන් කතා කරනු අප දැක තිබේ. එතුමා රාජ්‍ය සේවයට පිරිස බඳවාගත් බව ඇත්තකි. එහෙත් පිරිස බඳවාගත් පමණින් රාජ්‍ය සේවය රටට වැඩදායී එකක් වන්නේ නැත. මහින්ද මහතා රාජ්‍ය සේවයට බඳවාගත් අයගෙන් වැඩි පිරිස දේශපාලන කටයුතුවල යෙදුණු බව නොරහසකි. මේ දේශපාලන සබඳතාව පාර කියා තිබුණේ දූෂණයට හා වංචාවට යැයි කියන්නට පුළුවන. හෙළිදරව් වී ඇති මහා පරිමාණ දූෂණ සිද්ධිවලින් එය පැහැදිලි වෙයි. රාජ්‍ය සේවය සඳහා අවංක - නිදහස් - උගත් පුද්ගලයන් බඳවා ගත යුතුය. සිංගප්පූරුවේ ලීක්වාන් යූ එරට රාජ්‍ය සේවය ගොඩනැඟුවේ සුදුසු පුද්ගලයන් සුදුසු තනතුරුවල තැබීමෙන් ය. එරට රාජ්‍ය ආයතන 55ක් ඇති අතර ඒවා ඉතා හොඳින් ක්‍රියාත්මක ය. ලෝක රාජ්‍ය සේවයේ ආදර්ශය ලෙස ද සිංගප්පූරුව සලකයි.

රටේ සිදුවන ඇතැම් විශේෂ සිදුවීම්වලින් රාජ්‍ය නිලධාරීන්ගේ තත්ත්වය වටහාගත හැකි ය. පසුගිය දා මතු වූ තෙල් අර්බුදය ඊට එක් නිදසුනකි. තෙල් නැවක් ප්‍රතික්ෂේප වූ බවත් ඒ සඳහා වහා ම තෙල් නැවක් ගෙන්වා ගත යුතු බවත්; තෙල් ගබඩාවල ඇති ඉන්ධන වහා නිකුත් කොට අර්බුදයට විසැඳුමක් ලබා දිය යුතු බවත් අදාළ නිලධාරීන් දැන නොසිටියේ යැයි කිව නො හැකි ය. මේ අර්බුදය පසුපස නිලධාරීන්ගේ බලපෑම් ද ඇති බව පෙනී ගොස් තිබේ. වර්ෂයකට වැඩිම වාර ගණනක් සහිත ව සිදු වන වැඩ වර්ජන, විරෝධතා ආදියෙන් ද පෙනී යන්නේ රාජ්‍ය සේවකයන්ගේ යුතුකම් පැහැර හැරීමක් යැයි කියන්නට පුළුවන. කුමක් වුව රාජ්‍ය සේවාව යනු රටේ සමාජ - ආර්ථික ක්‍රියාවලියේ මුදුන් මුල යැයි කියන්නට පුළුවන. එය දුර්වල නම්; රට නමැති ගස කඩා වැටෙනු ඇත. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...