අවසන් පූර්ව වටයට යාමේ ශ්‍රී ලංකා පැතුම අවදානමක | දිනමිණ

අවසන් පූර්ව වටයට යාමේ ශ්‍රී ලංකා පැතුම අවදානමක

 ආසියා කුසලාන අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ දී ‘බී‘ කාණ්ඩයේ සිය අවසන් තරගයට එක්වූ ශ්‍රී ලංකා පිල පාකිස්තානය හමුවේ කඩුලු 3ක පරාජයක් විඳ ගත්තේය.

මැලේසියාවේ ක්වාලලම්පූර් නුවර පැවැත්වෙන මේ තරගාවලියේ මූලික වටයේ ක්‍රීඩා කළ තරග 3ම ජයගත් පාකිස්තානය ‘බී‘ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු 4ක් ලබා පෙරමුණට පත්වූ අතර තරග 3කින් 2ක් පමණක් ජයගෙන ප්‍රසාද ලකුණු 2ක් ලබා සිටින ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව හිමිවන්නේ අද (14) පැවැත්වෙන එක්සත් අරාබි එමිර් රාජ්‍යය හා ඇෆ්ගනිස්තානය අතර තරගයේ ප්‍රථිපලය අනුවය. මේ වනවිට ඇෆ්ගනිස්තානය ද තරග 2කින් එක් තරගයක් ජයගෙන ප්‍රසාද ලකුණු 2ක් ලබා සිටින අතර අද තරගයෙන් ජයගැනීමට සමත්වුවහොත් දෙපිලේම ප්‍රසාද ලකුණු සමවනු ඇත. ඒ අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම ලකුණු ලබාගැනීමේ වේගය මත තීරණය කෙරෙන අතර ශ්‍රී ලංකාව දැනට +1.155ක වේගයක් සහ ඇෆ්ගනිස්තානය +0.580ක වේගයක් පවත්වාගෙන සිටී.

ඊයේ පැවැති මූලික වටයේ සිය අවසන් තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ඕවර 49.4කදී ලකුණු 141කට දැවී ගිය අතර පාකිස්තානය ඕවර 32.1කදී කඩුලු 7ක් දැවී ජයග්‍රහණය සපුරා ගත්තේය.

‘ඒ‘ කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමේ අරමුණින් බංග්ලාදේශය සහ ඉන්දියාව අද තරග බිමට පිවිසෙන අතර සත්කාරක මැලේසියාව සහ නේපාලය අතර තරගයත් අද පැවැත්වෙයි.

ශ්‍රී ලංකාව - 141 (ඕවර 49.4) අෂේන් බණ්ඩාර 49, කෙවින් කොත්තිගොඩ 20, නුවනිඳු ප්‍රනාන්දු 14 (මුහම්මද් මූසා 25/3, මුනීර් රියාස් 30/3, එස්.එස්. අෆ්රිඩි 19/2)

පාකිස්තානය - 142/7 (ඕවර 32.1) රොහේල් නසීර් 48, මුහම්මද් තාහා 31, සාඩ් ඛාන් 22 (ප්‍රවීන් ජයවික්‍රම 28/4)

නව අදහස දක්වන්න