පුහුණුකරුවකු නොවන විධායක සභිකයන් 2ක් | දිනමිණ

පුහුණුකරුවකු නොවන විධායක සභිකයන් 2ක්

ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ ලේකම් හා සභාපති තනතුරුවලට පුහුණුකරුවකු නොවන අයෙක් පත් කරගැනීම උදෙසා මේ දිනවල සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා වේ. ජල ක්‍රීඩා සභාපති හා ලේකම් යන තනතුරු දෙකම මේ වන විට හිස්ව පවතින අතර එම තනතුරුවලට විධායක සභිකයින් අතුරින් සුදුසු අයකු පත්කර ගන්නා ලෙස ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා නියෝග කොට ඇත.

ලබන වසරේ මැයි මාසය දක්වා ජල ක්‍රීඩා සංගමයේ නිලතල ක්‍රියාත්මක විය යුතු බැවින් ඉක්මණින්ම විධායක සභාව රැස්වී සභාපති හා ලේකම් යන තනතුරුවලට සුදුසු අයකු පත්කර ගැනීම කළ යුතුබව ඇමැතිවරයා පෙන්වා දී ඇත. එහෙත් ජල ක්‍රීඩා විධායක සභිකයන් අතර සිටින වෘත්තීය මට්ටමේ පුහුණුකරුවන් ඒ සඳහා යොදා නොගන්නා ලෙස දැනුම් දී ඇත.

ක්‍රීඩා සංගම් නිලවරණ සම්බන්ධ නියෝගවල සඳහන් පරිදි නාම යෝජනා ඉදිරිපත් කිරීමට පෙර වසර දෙකක කාල සීමාව තුල එම ජාතික ක්‍රීඩා සංගමයේ වෘත්තීය පුහුණුකරුවකු ලෙස කටයුතු කර ඇත්නම් නාම යෝජනාව ප්‍රතික්ෂේප වේ. මේ තත්ත්වය මත ඉදිරියේදී ද කිසිදු පුහුණුකරුවකුට ජල ක්‍රීඩා මුල්පුටුවලට පත්වීමේ අවස්ථාව අහිමි යනු ඇත.

ලබන වසරේ ජනවාරියේ පැවත්වෙන ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයට පෙර ජල ක්‍රීඩා සභාපති හා ලේකම් පත්කර ගැනීමට කටයුතු කරන බව විධායක කමිටු සාමාජිකයකු ‘දිනමිණ‘ ට පැවැසීය.

ජල ක්‍රීඩා සංගමයේ ප්‍රධාන නිලධාරීන් දෙදෙනකුට එරෙහි විශ්වාසභංග යෝජනාවක් සම්මත කර ගැනීමට එහි විධායක සභිකයන් පිරිසක් කටයුතු කරමින් සිටියදී ලේකම් හා සභාපති පසුගියදා ඉල්ලා අස්වූහ. නිමාවට පත්වූ දකුණු ආසියා ජල ක්‍රීඩා ශූරතාවලියේ දී විධායක කමිටු සභිකයන්ගේ අනුමැතියකින් තොරව විවිධ ගෙවීම් සිදුකර ඇති බවත් එම ගෙවීම් සම්බන්ධව පැහැදිලි කිරීමක් සිදුකරන ලෙසත් විධායක කමිටුව හිටපු සභාපතිවරයාට හා ලේකම්වරයාට බල කර සිටියදී එම නිලධාරීන් දෙදෙනා ඉල්ලා අස් විය.

පසුව දකුණු ආසියානු ජල ක්‍රීඩා ශූරතාවලියේදී රුපියල් ලක්ෂ 120ක් වැය කළ අයුරු හා ජල ක්‍රීඩා සංගමයේ භාණ්ඩාගාරිකවරයා සම්බන්ධ නොවූ බැංකු ගිණුමක් පිළිබඳ සවිස්තර වාර්තාවක් විධායක කමිටුව වෙත ඉදිරිපත්කර තිබුණි.

දැනට ජල ක්‍රීඩා ලේකම් ලෙස උප ලේකම් මහින්ද ලියනගේ මහතා කටයුතු කරමින් සිටින අතර සභාපති තනතුරට දැනට සිටින විධායක සභිකයන් වන ඊ. ජී. ඒ. විල්සන්, මානද යහම්පත්, ක්‍රිෂාන් දුමින්ද, ජී. එස්. ඩී. දයානන්ද හා සංහර්ෂ ජයතිස්ස යන මහත්වරු අතුරින් අයකු පත්වීමට නියමිතය.

එහෙත් මේ අය අතුරින් පුහුණුකරුවකු නොවන අයකුට පමණක් ජල ක්‍රීඩා මුල් පුටුව හිමිවනු ඇතැයි පැවැසේ. 

නව අදහස දක්වන්න