බියර් තිත්ත ද? | දිනමිණ

බියර් තිත්ත ද?

 ඉංග්‍රීසි පාලන සමය තුළ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පොල් අරක්කුවලට ඉන්දියාවේ විශාල ඉල්ලුමක් තිබිණි. මදුරාසියේ හා බොම්බායේ කොම්පැනි ශ්‍රී ලංකා පොල් අරක්කු දිගට - හරහට මිලට ගත්තේ ය. අතිශය ලාභදායී වූ මේ කර්මාන්තයට මෙරට දකුණේ ව්‍යාපාරිකයෝ වහ වැටී සිටියෝ ය. එදා රට තුළ අරක්කු අලෙවි වූයේ ඉතා සුළු ප්‍රමාණයකි. එය සිදු වූයේ ද නීතියට පිටින් ය. ඉන්දියාව ඉහත කී ගනුදෙනුව වැඩි කාලයක් පවත්වාගෙන යන්නට ඉඩ තැබුවේ නැත. ආනයන අරක්කුවල බදු මිල ඉහළ දැම්මේ ය. ඉන්දියාවේ නිෂ්පාදිත රම් විශේෂයක මිල පහත දැම්මේ ය. මේ අනුව ශ්‍රී ලංකාවේ පොල් අරක්කු අතිරික්තයක් නිර්මාණය විය. මෙරට අරක්කු ප්‍රචලිතවීමේ එක් පියවරක් ලෙස පොල් අරක්කු අතිරික්තය හැඳින්විය හැකි ය.

1912 දී මෙරට සුරාවට නෛතිකභාවයක් ඇතිවිය. එම වසරේ අප්‍රේල් 15 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පනතක් මගින් සුරාව සඳහා වූ දෙපාර්තමේන්තුවක් පිහිටුවන ලදි. එහි ප්‍රතිඵලය වූයේ සුරාව නිෂ්පාදනයට හා අලෙවියට නීතියෙන් අවසර ලැබීම ය. එතැන් සිට නිල සුරාව ප්‍රචලිත වන්නට පටන් ගත්තේ ය. සුරා නිෂ්පාදනය හා අලෙවිය ර‍ජයේ ආදායමක් බවටද පත් විය. ඇතැම් රටවල මත්පැන් පානය පවා මුළුමනින් ම තහනම් ය. සෞදි අරාබිය, ඉරානය වැනි රටවල් ඒ සඳහා නිදසුන් ලෙස දැක්විය හැකි ය. නූතන මිනිස් සමාජය ඉල්ලා සිටින නිදහසට හා ප්‍රජාතන්ත්‍රවාදයට අනුව මත්පැන් තහනම් කිරීම මානුෂික අයිතියක් අහෝසි කිරීමක් ලෙස සැලැකිය හැකි ය. ඒ අනුව ශ්‍රී ලංකාව වැනි රටකට එවැන්නකට යා නො හැකි ය.

මේ වන විට මත්පැන් සම්බන්ධයෙන් සැලැකිය යුතු සංවාදයක් රට තුළ පවතී. එය ආරම්භ වූයේ පාර්ලිමේන්තුවෙන් යැයි කියන්නට පුළුවන. මෙවර අයවැය යෝජනා අතර සැර නොවන මත්පැන් මිල අඩු කළ යුතු යැයි යෝජනාවක් තිබිණි. එහි අර්ථය වන්නේ බියර් මිල අඩුකිරීම යන්න ය. බියර් මිල අඩු කරන්නේ සැර මත්පැන් භාවිතය අඩු කිරීම සඳහා ය. විශේෂයෙන් කසිප්පු භාවිතය අඩු කිරීම සඳහා ය. කිසිදු ප්‍රමිතියකින් තොර කසිප්පු පානයටවඩා ප්‍රමිතියක් සහිත බියර් පානය සෞඛ්‍යදායක යැයි කීම තර්කානුකූල ය. කසිප්පු පානයට වැඩි වශයෙන් යොමු වී ඇත්තේ අඩු ආදායම් ලබන පවුල්වල පිරිස් ය. එදිනෙදා කුලී වැඩ කරන කම්කරුවෝ ඊට වැඩි වශයෙන් ඇබ්බැහි වී සිටිති. මේ පිරිස කසිප්පුවලින් බියර්වලට මාරුකර ගත හැකි නම්; එය සාධනීය තත්ත්වයක් ලෙස දකින්නට පුළුවන.

මතට - තිත වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන් මීට විසැඳුමක් ලබාගත හැකි බව සමහරු කියති. එය ඇත්තක් ද යන්න විධිමත් අයුරින් සොයා බැලිය යුතුය. 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මතට - තිත වැඩසටහනක් ආරම්භ විය. එය සාර්ථක යැයි බොහෝ දෙනා කීහ. එහෙත් එය ඇත්තක් නොවේ. 2005 දී රටේ සැර මත්පැන් අලෙවිය ලීටර් මිලියන 67ක් විය. 2010 වන විට එය ලීටර් මිලියන 75 දක්වා ඉහළ ගොස් තිබිණි. 2005 දී රටේ බියර් අලෙවිය ලීටර් මිලියන 51ක් විය. එය 2010 වනවිට ලීටර් මිලියන 66 දක්වා ඉහළ ගොස් තිබිණි. සුරාසල් සඳහා අවසරපත් ලබාදීමේ විශේෂ අඩුවක් ද දක්නට නොලැබිණි. මෙයින් පෙනී යන්නේ මතට - තිත යන්න හුදු ප්‍රචාරාත්මක ප්‍රෝඩාවක් පමණක් වන බවය. මෙයින් සනාථ වන තවත් සාධකයක් වන්නේ මත්පැන් තහනම් කිරීමට යෑම නිෂ්ප්‍රයෝජන කාරණයක් බව ය.

මොන ඍෂිවරයා පැමිණ දේශනා පවත්වන්නේ වුව බොන මිනිසා බොනවාම ය. මත්පැන් තහනම් කළ විට හොර මත්පැන් නිෂ්පාදනය වෙයි. ගෘහස්ථ ලෙස තනි තනිව මත්පැන් නිෂ්පාදනය කරගන්නා පුද්ගලයෝ ද සිටිති. මෙලෙස නිෂ්පාදනය කරන හොර මත්පැන්වල අඩංගු විෂකාරක මොනවාද යන්නවත් කිසිවෙක් නොදනිති. අක්මාව දියවීමේ රෝගයට වැඩියෙන්ම ගොදුරු වී ඇත්තේ කසිප්පු පානය කරන පුද්ගලයන් බව බැලූ බැල්මට ම පෙනී යයි. කසිප්පු නිෂ්පාදනය පමණක් නොව; ප්‍රමිතිගත අරක්කුවලට ආදේශකයක් ලෙස නිෂ්පාදනය වන හොර අරක්කු ද තිබේ. මේවා වෙළෙඳ පොළට එන්නේ ද, සුරාසල්වල අලෙවි වන්නේ ද රහසිගතව ය. පොලීසිය කුමන වැටලීම් සිදු කළද, හොර අරක්කු නිෂ්පාදනය හෝ කසිප්පු නිෂ්පාදනය හෝ නැවතී නැත.

බියර් මිල පහත දැමුවහොත් එයින් විශාල පහරක් වදින්නේ කසිප්පු මුදලාලිලාට යැයි කියන්නට පුළුවන. එක්තරා පුවත්පතක් සඳහන් කර තිබූ අන්දමට කසිප්පු මුදලාලිලා බියර් මිල පහත නොදමන ලෙසට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට බලපෑම් සිදුකර තිබේ. එහි ඇත්ත/නැත්ත අප දන්නේ නැත. එහෙත් එවැන්නක් සිදුවිය හැකි බව කියන්නට පුළුවන. බියර් අඩු කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වන තවත් පිරිසක් ද සිටිති. ඔවුන්ගේ මතයට අනුව බියර්වල සීනි අඩංගු ය. ඒ අනුව බියර් නිසා දියවැඩියාව වැලඳෙන්නට පුළුවන. මෙය බාල ගණයේ තර්කයක් ලෙස පෙනී යයි. අප දන්නා තරමට සෑම මත්පැන් විශේෂයකම සීනි ප්‍රමාණයක් අඩංගු ය. ඒ අනුව දියවැඩියා රෝගියකුට කොයි මත්පැන් වර්ගයක් වුව සුදුසු නැත. තවත් තර්කයක් වන්නේ ගල් අරක්කු අඩු කරනු යන්න ය. එහි යම් සාධාරණ බවක් තිබේ. ගල් අරක්කු පොඩි මිනිසාගේ පානයක් වන බැවින් ය.

මත්පැන් මිල ඉහළ - පහළ දැමීම ජාතික ප්‍රශ්නයක් බවට පත්විය යුතු නැත යන්න අපගේ තර්කය යි. රටේ මුළු ජනගහනයෙන් 52% ක් පමණ පිරිස කාන්තාවෝ වෙති. ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් සියයට එකක්වත් මත්පැන් පානයට හුරු වී නැත. ඒ අනුව මත්පැන් මිල ජාතික ප්‍රශ්නයක් වීමේ ඉඩකඩක් ඇත්තේ ම නැත. මත්පැන් ජාතික ප්‍රශ්නයක් බවට පත්වන්නේ වෙනත් හේතු මත ය. බේබද්දන්ගේ මරණ, මත්පැන් නිසා ඇතිවන අපරාධ, පවුල් අවුල්, රෝගාබාධ ආදිය ඊට හේතු සාධක ලෙස දැක්විය හැකි ය. කාන්තා පාර්ශ්වය ගතහොත් ඔවුන්ගෙන් වැඩි පිරිස මත්පැන් භාවිතයට දැඩි විරෝධයක් දක්වති. එහෙත් මේ විරෝධය මත මත්පැන් භාවිතය අඩුවන්නේ නැත. සිදුවිය යුත්තේ එය කළමනාකරණයකට ලක් කිරීම යැයි සිතන්නට පුළුවන.

මත්පැන් භාවිතයේ ඇත්ත තත්ත්වය ගතහොත් සල්ලි ඇති ධනවත්තු විස්කි, බ්‍රැන්ඩි, ජින් ආදිය පානය කරති. සල්ලි නැති දුප්පත්තු කසිප්පු හා ගල් අරක්කු පාවිච්චි කරති. අඩුම ගණනේ පොඩි මිනිහා කසිප්පුවලින් බියර් එකකට මාරුකර ගත හැකි නම්; එයත් ලොකු සහනයකි.

නව අදහස දක්වන්න