වේවැ­ලෙන් ජීවි­තය වියන රදා­ව­ඩුන්නේ නදීකා | දිනමිණ

වේවැ­ලෙන් ජීවි­තය වියන රදා­ව­ඩුන්නේ නදීකා

හංසි වික්‍ර­ම­සිංහ

දුක සතුට අතර දෝලනය වන ජීවිතය තුළ, කඳුළට ඉඩ නොදී, කිසිවකුට අතනොපා ජීවත් වන්නට වෙර දරන කාන්තාවන් අපමණ ය. ඒ කාන්තාවන් අතරින්, ජීවන බර තම සැමියා කරමත නොතබමින්, ඔහුට සවියක් වන්නට වෙහෙසෙන

ඇය , වේවැල්දෙණියේ පදිංචි නදීකා දමයන්ති ය. තිස් හය හැවිරිදි ඇය, දරුවන් තිදෙනකුගේ මවකි. සය දෙනකුගෙන් යුතු පවුලට වියහියදම් කරන්නට ප්‍රමාණවත් මුදලක් සිය සැමියාට නොලැබෙන වග ඇය දැන සිටි නිසාවෙන් ම, තමා දැන සිටි දෑතේ ශිල්පය උපයෝගී කර ගනිමින්, සිය සැමියාට සවියක් වන්නට උත්සාහ කළා ය. ඒ, නිවෙස තුළදීම වේවැල් භාණ්ඩ නිෂ්පාදනය කර, වෙළෙඳසැල්වලට බෙදා හැරීමෙනි.

"මම මේ වේවැල් නිෂ්පාදනය කරන්න පටන් ගත්තේ 2000 වර්ෂයේ ඉඳලයි. කොළඹ නුවර මාර්ගය පුළුල් කරද්දි,මගේ මහතත්තයා පවත්වාගෙන ගිය කඩේ කඩන්න වුණා. මහත්තයාගේ රස්සාව අහිමි වුණාට පස්සේ , ඔහු පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙක් වශයෙන් සේවයට බැඳුණා. ඒ අතරේ මටත් හිතුණා ගෙදරට වෙලා කරන්න පුළුවන් රැකියාවක නිරත වෙන්න ඕනැ කියලා. එහෙම තමයි මං මේ වේවැල් නිෂ්පාදනය කරන්න පෙලඹුනේ."

දරු දෙදෙනා පාසල් පිටත් කිර හැරීමෙන් අනතුරුව, නදීකා තම කාලය යොදවනුයේ වේවැල් නිෂ්පාදන කටයුතු සඳහා ය. ඒ මඟින් ඇය සතුට වගේ ම මුදල් ද උපයන්නී ය. මේ කටයුත්ත නිසා ඇය ජීවත් වන්නේ තෘප්තියෙනි. දවස ගෙවෙන හැටි පවා ඇයට දැනෙන්නේ නැත. නිවෙසට වී කාලය කා දමමින් සිටිනවාට වඩා,මෙවන් වෘත්තියක නිරතවී, දරු පවුල රකින්නට වෙර දරන ඇය, සැබැවින් ම දිරිමත් ළඳකි. වේවැලින් විස්කම්පාන ඇය, සිය කර්මාන්තය තුළින් අද වනවිට බෝ දුරක් ගොස් ඇත්තේ,තිර අදිටනින් යුතුව කටයුතු කරන නිසා ය.

" මං ජීවත්වන රදාවඩුන්න ගම් ප්‍රදේශයේ බොහෝ අය මේ වේවැල් වියන්න හොඳට දනන්වා. මං ඒ රටා වියන හැටි බලන් ඉඳලා තියෙනවා.මම කුඩා කාලෙ ඉඳමන්ම වගේ වේවැල් රටා වියන්න දන්නවා. මුල් කාලේ මේ කටයුත්ත ටිකක් අමාරු වුණාට, අතේ හුරුවත් එක්ක දැන් වේවැල් පෙට්ටි, වේවැල් රාක්ක පහසුවෙන් වියන්න මට හැකියාව තියෙනවා. කුඩා වේවැල් රාක්කයක් පැය දෙක තුනකින් වියන්න මට පුළුවන්."

ඇය ජීවත් වන ගම් ප්‍රදේශයේ බොහෝ වේවැල් නිෂ්පාදන විකිණීමට පැවතිය ද, ඒ බොහෝමයක් නිෂ්පාදන පිටතින් ගෙනවිත් අලෙවි කරන නිෂ්පාදන ය. එම වේවැල් භාණ්ඩ නිෂ්පාදනය කරන බහුතරයක් පිරිස ද පුරුෂ පාර්ශ්වයයි. ඒ අතරින් නදීකා සුවිශේෂී වන්නේ එනිසාවෙනි. තම දරු තිදෙනාගේ අනාගතය සුන්දර කරනු පිණිස ඇය සිය කාලය ,ශ්‍රමය, වේවැල් භාණ්ඩ නිෂ්පාදනය සඳහාම වෙන් කර හමාර ය.

නිපදවන භාණ්ඩ අතරින් වේවැල් රාක්ක නිෂ්පාදනය සඳහා ඇය කාර්යක්ෂම බවක් විශද කරනවා මෙන් ම, ඒ කෙරෙහි අති දක්ෂ බවක් ද දක්වයි. මනාව වේවැල් හසුරුවමින් රාක්ක නිමවන ඇය, කෙටි කාලයක් තුළදී එවැනි නිර්මාණයක් කර හමාර කරයි.

"වේවැල් , නැත්නම් පන්වැල් ගෙන්නන්නේ මනම්පිටියෙන්. මනම්පිටියෙන් ගෙනත් මෙහෙ විකුණන කඩේකින් තමයි මං වේවැල් ගන්නේ. මුලින්ම පන් වැල් සුද්ද කරලා අරන්

මේ නිර්මාණ කරනවා. ලී රාමුව හදාගෙනෙ, ඊට පස්සේ සුද්ද කරපු වේවැල්වලින් වියන්න පටන් ගන්නවා. අවසානයේ මනා නිමාවක් ගන්න පොලිෂ් කරනවා.

මං ම් භාණ්ඩ වෙළෙඳ පොළට දාන්නෙ මට ඉල්ලුම් ලැබෙන විදිහටයි. ඔවුන් ඉල්ලන ප්‍රමාණවලට වගේම, පිට පුද්ගලයන් මට කරන ඇනවුම්වලට සරිලන විදියට මං වේවැල් නිෂ්පාදනය කරනවා. ඒ හැම භාණ්ඩයකින්ම මට ලැබෙන්නේ වැඩ කුලිය විතරයි. කොහොම වුණත් මං මේ රැකියවේ නිතර වෙන්නේ බොහොම සතුටින්. මං නිපදවන භාණ්ඩ, මගේම තැනක වෙළෙදාම් කිරීමේ කැමැත්තක් මටත් තියෙනවා. ඒ වෙනුවෙන් මං උපරිම උත්සාහ දරනවා.

වේවැල් නිෂ්පාදනවලට තිබෙන්නේ හොඳ ඉල්ලුමක්. වැඩියෙන් ම ඉල්ලුම තියෙන්නේ උත්සව කාලයට. ඒ කාලවලදී හොඳ ඉල්ලුමක් තියෙන නිසා, ආදායමත් හොඳයි.

ඒ නිසා, දරුවන්ගේ වැඩවලට යොදවන්න ප්‍රමාණවත් මුදලක් ලබෙනවා. නත්තල් කාලය පුරාවට වැඩි වශයෙන් මං නිෂ්පාදනය කරන්නේ වේවැල් පෙට්ටි. වැස්සත් එක්ක නිෂ්පාදන විකුණ ගැනීමේ අපහසුතාවක් ඇති වෙනවා. ඒ කාලයට වේවැල් පුස්කන්න බලන නිසා ,හොඳ ලාභයක් ලැබෙන්නේ නැහැ. වෙළෙඳ පොළට ලබා දෙන තොග විකිණෙන්නෙ නැති වුණාමත් නිෂ්පාදනවලින් පාඩු වෙනවා. ලී රාමු හදා ගන්න අවශ්‍ය ලී වගේම, අමු ද්‍රව්‍ය සපයා ගැනීමේ ගැටලුත් මේ කර්මාන්තයේදී ඇති වෙනවා. බොහෝදෙනා, වේවවැල් නිෂ්පාදන නිසි ප්‍රමිතියෙන් තොරව කරන නිසා, කුඩා ව්‍යාපාරිකයන් වන අපට ගැටලු මතු වෙනවා. තමන්ගේම ව්‍යාපාරයක අඩුව දැනෙන්නේ ඒ වෙලාවෙදියි. විවිධ හේතු නිසා, වේවැල් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදනවල පවතින ඉල්ලුම අඩු වෙන්න පුළුවන්.ඒ නිසා, වේවැල් කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යන්න තවත් පිරිසකට මේ ශිල්පය කියා දෙන්න මං කැමැත්තෙන් සිටින්නේ."

දේශීය සම්ප්‍රදායික කර්මාන්තයක් වශයෙන් වේවැල් කර්මාන්තය නගා සිටුවිය යුතු ක්ෂේත්‍රයකි. හිතේ සවිය සහ දෑතේ වාරුවෙන් වේවැල් සමඟ හරඹ කරන නදීකා වැනි කතුන්, රටට කරන සේවය, ඔවුන්ගේ හැකියාව, අප අගය කළ යුතුම ය.

 

නව අදහස දක්වන්න