තරින්ද ප්‍රමුඛ සී.ආර් ක්‍රීඩකයන්ගෙන් නැවියන්ට අනපේක්ෂිත ප්‍රහාරයක් | දිනමිණ

තරින්ද ප්‍රමුඛ සී.ආර් ක්‍රීඩකයන්ගෙන් නැවියන්ට අනපේක්ෂිත ප්‍රහාරයක්

ෆවුස් මොහොමඩ්

පෙරළිකාර ක්‍රීඩා විලාශයක නිරතවූ සී.ආර්. පිලේ ක්‍රීඩකයෝ අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රගර් තරගාවලියේ නාවික හමුදා පිලට එරෙහිව ලකුණු 38-23ක විස්මිත ජයක් අත්කර ගැනීමට සමත්විය.

සී.ආර්.පිටියේ පෙරේදා පැවැති මේ තරගයේ පළමුභාගය නිමාවනවිට ලකුණු 23-7කින් පෙරමුණ ගෙන සිටි නැවියන්ට දෙවැනි භාගයේදී අන්පේක්ෂිත පරාජයක් උදා කරදීමට පෙරමුණ ගත්තේ සී.ආර්.පිලේ නව නායක තරින්ද රත්වත්තය. පළඹු භාගයේදී උත්සාහක දිනුමක් තබමින් එය ගෝලයක් බවට පත්කර සිටි තරින්ද දෙවැනි භාගයේදී ඔහුගේ දෙවැනි උත්සාහක දිනුම තැබීමට සමත්වූ අතර තවත් උත්සාහක දිනුම් 3ක්ම ගෝල බවට පත් කිරීමට සමත්වූයේ දඬුවම් පහරකුත් සාර්ථකව එල්ල කරමිනි. තරගය පුරා සී.ආර්.පිල රැස් කළ ලකුණු 38න් ලකුණු 23කටම හිමිකම් කීමට ඔහු සමත්විය.

තරගයේ තුන්වැනි මිනිත්තුවේදීම මූෂින් ෆලීල් තැබූ අගනා උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ තිළිණ වීරසිංහ නාවික හමුදා පිල ලකුණු 7-0කින් ඉදිරියට ගෙන යාමෙන් පසුව 10 වැනි මිනිත්තුවේදී විශිෂ්ට උත්සාහක දිනුමක් තැබූ සී.ආර්.පිලේ නායක තරින්ද රත්වත්ත එය ගෝලයක් බවට පත් කරමින් ලකුණු සංඛ්‍යාව 7-7කින් සමකළේය.

අනතුරුව 20 වැනි මිනිත්තුවේදී දඬුවම් පහරක් සාර්ථකව එල්ල කළ තිළිණ විරසිංහ නාවික හමුදා පිල ලකුණු 10-7කින් ඉදිරියට ගෙන ගිය අතර ඊට මිනිත්තු 3කට පසුව තවත් දඬුවම් පහරක් සාර්ථක කරගැනීමට සමත්වූයේ නාවික හමුදා පිලේ ලකුණු සංඛ්‍යාව 13 දක්වා ඉහළ දමමිනි. අනතුරුව සී.ආර්.පිල පීඩනයකට ඇද දමමින් 27 වැනි මිනිත්තුවේදී තුන්වැනි දඬුවම් පහරත් එල්ල කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 16 දක්වා ඉහළ දැමීමට ඔහු සමත්විය.

පළමුභාගය නිමාවීමට මිනිත්තු 2ක් ඉතිරිව තිබියදී සී.ආර්.පිල දැඩි පසුබෑමකට ඇද දමා ලකුණු 23-7කින් ඉදිරියට යාමට නාවික හමුදා පිල සමත්වූයේ තිළිණ විරසිංහ තැබූ අගනා උත්සාහක දිනුමකිනි. එය ඔහු විසින්ම ගෝලයකට බවට පත්කරනු ලැබීය.

නාවික හමුදා පිලේ ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව හමුවේ දැඩි පීඩනයකින් යුතුව දෙවැනි භාගය ආරම්භ කළ සී.ආර්.පිල ජයග්‍රාහී මාවතට නැවත පිවිසියේ සුපුන් වර්ණකුලසූරිය 50 වැනි මිනිත්තුවේදී තැබූ උත්සාහක දිනුමකිනි. එය ගෝලයක් බවට පත් කළ තරින්ද රත්වත්ත අනතුරුව 59 වැනි මිනිත්තුවේදී සෂාන් මොහොමඩ් තැබූ තීරණාත්මක උත්සාහක දිනුමක් ද ගෝලයක් බවට පත් කරමින් ලකුණු සංඛ්‍යාව 21 දක්වා ඉහළ දැමුවේය. 67 වැනි මිනිත්තුවේදී සාර්ථක දඬුවම් පහරක් එල්ල කරමින් ලකුණු 24-23කින් සී.ආර්.පිල ඉදිරියට ගෙන ගිය තරින්ද තරගය නිමාවීමට මිනිත්තු දෙකකට පෙර තැබූ විශිෂ්ට උත්සාහක දිනුම ඔහු විසින්ම ගෝලයක් බවට පත් කරමින් ලකුණු 31-23කින් සිය කණ්ඩායම ඉහළට ඔසවා තැබුවේ නාවික හමුදා පිලට පීඩනය වැඩි කරමිනි. අවසන් මොහොතේ සී.ආර්.පිලේ ජයග්‍රහණය තවත් ඉහළ දැමු සෂාන් මොහොමඩ් සිය දෙවැනි උත්සාහක දිනුම තැබිමට සමත්වූ අතර තරින්ද එය ගෝලයක් බවට පත් කිරිමට සමත්වූයේ විශිෂ්ට ජයක් සී.ආර්.පිලට හිමිකර දෙමිනි.

මහනුවර ජය

මේ අතර පොලිස් කණ්ඩායමට එරෙහිව පොලිස් පිටියේදී තරග වැදුණු මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු 43-11ක ජයක් වාර්තා කිරීමට සමත්විය. තරගයේ පළමුභාගය නිමාවනවිට ලකුණු 31-6කින් පෙරමුණ ගත් මහනුවර පිල තරගය පුරා ගෝල් 4ක් සහ උත්සාහක දිනුම් 3ක් රැස් කිරිමට සමත්වූ අතර පොලිස් පිලට රැස් කිරිමට හැකිවූයේ උත්සාහක දිනුමක්, දඬුවම් පහරක් සහ ඩ්‍රොප් ගෝලයක් පමණි.

හැව්ලොක්ස් පිල ජය ගනී

ගුවන් හමුදා පිල සමග පැවැති තරගයෙන් ලකුණු 46-23ක ජයක් වාර්තා කිරීමට හැව්ලොක්ස් පිල සමත්විය. හැව්ලොක්ස් පිල මේ තරගයේදී ගෝල් 3ක් සහ උත්සාහක දිනුම් 5ක් රැස් කළ අතර ගුවන් හමුදා පිල ගෝල් 2ක් සහ දඬුවම් පහර 3ක් රැස් කළේය. පළමුභාගය නිමාවනවිට ලකුණු 22-9කින් හැව්ලොක්ස් පිල ඉදිරියෙන් සිටියේය.

යුද හමුදා පිලට පළමු ජය

සී.එච්. කණ්ඩායමට එරෙහිව ලකුණු 20-15ක ජයක් අත්කර ගනිමින් මෙවර තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට යුද හමුදා පිල සමත්විය.තරගයේ පළමුභාගය නිමාවනවිට ලකුණු 15-10කින් පෙරමුණ ගත් සී.එච්. කණ්ඩායම හමුවේ දෙවැනි භාගයේදී විශිෂ්ට ක්‍රීඩා රටාවක නිරතවු යුද හමුදා පිල තරගය පුරා ගෝල් 2ක් සහ දඬුවම් පහර 2ක් වාර්තා කළ අතර සී.එච්. පිල රැස් කළේ ගෝලයක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් පමණි.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...