ආසියා කුසලාන 19 න් පහළ ක්‍රිකට් ශ්‍රී ලංකාව දෙවැනි තරගයත් ජයගනී | දිනමිණ

ආසියා කුසලාන 19 න් පහළ ක්‍රිකට් ශ්‍රී ලංකාව දෙවැනි තරගයත් ජයගනී

ප්‍රවීන් ජයවික්‍රමගේ විශිෂ්ට පන්දු යැවීමත්, හසිත බෝයගොඩගේ දක්ෂ පිතිහරඹයත් හේතුවෙන් ආසියානු කුසලාන අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ජයග්‍රහණය අත්කර ගැනීමට ‘බී’ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා සමත් විය.

ඕවර 42කට සීමාවූ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු 196ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය ඇෆ්ගනිස්තානයට ඕවර 33.5කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 135ක් පමණි.

පන්දු 44කදී හතරේ පහර 2ක් හා හයේ පහර 4ක් සමගින් ලකුණු 50ක් රැස්කළ අබුල් රසුල් ඇෆ්ගනිස්තාන ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් තරගයේ වීරයා වු ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 17කට කඩුලු 5ක් දවාගත්තේ ඕවර 6.5කදී නිලකුණු ඕවරයක්ද යවමිනි. ජෙහාන් ඩැනියෙල් කඩුලු 2ක් හා කෙවින් කෙත්තිගොඩ කඩුල්ලක් දවා ගත්හ.

ඇෆ්ගනිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් හසිත බෝයගොඩ හා ධනංජය ලක්ෂාන් (24) පළමු කඩුල්ලට ලකුණු 59ක් එක් කළහ.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ බෝයගොඩ ලකුණු 53ක් රැස්කළේ පන්දු 84කදී හතරේ පහර 3ක් හා හයේ පහරක්ද සමගිනි. ජෙහාන් ඩැනියෙල් ලකුණු 36ක් ඉනිමට එක් කළේය.

ශ්‍රී ලංකාව අද (13) පාකිස්තානයට එරෙහිව මූලික වටයේ අවසන් තරගයට එක්වෙයි.

ශ්‍රී ලංකාව - 196/8 (ඕවර 42) හසිත බෝයගොඩ 53, ජෙහාන් ඩැනියෙල් 36, ධනංජය ලක්ෂාන් 24 (ඉබ්‍රහිම් සද්රාන් 24/2, නවින් උල් හක් 57/2)

ඇෆ්ගනිස්තානය - 135 (ඕවර 33.5) අබ්දුල් රසූල් 50, ඉබ්‍රහිම් සද්රාන් 27 (ප්‍රවීන් ජයවික්‍රම 17/5, ජෙහාන් ඩැනියෙල් 20/2)

බංග්ලාදේශයට කඩුලු 2ක ජයක්

මේ අතර පෙරේදා පැවැති ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් නේපාලය පරදවා කඩුලු 2ක ජයක් අත්කර ගැනීමට බංග්ලාදේශය සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නේපාලය ඕවර 40.1කදී කඩුලු 6ක්දැවී ලකුණු 167ක් රැස්කළ අතර ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ඕවර 40කදී හිමිවූ ලකුණු 181ක ඉලක්කය කඩුලු 8ක් දැවී තිබියදී සපුරා ගැනීමට බංග්ලාදේශයට හැකිවිය.

නේපාලයට-පාකිස්තානයට ජය

ඉන්දියාව සමග ඊයේ පැවැති ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් නේපාලය ලකුණු 19ක ජයක් අත්කරගත් අතර පාකිස්තානය හා එක්සත් අරාබි එමීර් පිල අතර පැවැති ‘බී’ කාණ්ඩයේ තරගයෙන් පාකිස්තානටය ලකුණු 226ක ජයක් අත්විය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...