“ඇල්ටෝ” පහළට “කෲසර්” ඉහළට | දිනමිණ

“ඇල්ටෝ” පහළට “කෲසර්” ඉහළට

ඇල්ටෝ මිල පහළට; ලෑන්ඩ් කෲසර් මිල ඉහළට යනුවෙන් දක්වන තේමා පාඨයක් සමඟ මේ තීරුව ආරම්භ කළ හැකිය. ඉන් කියැවෙන්නේ පොඩි මිනිසා සවිබල ගන්වන හා ලොකු මිනිසාගෙන් යුක්ති සහගත බද්දක් අයකරන තැනකට අප පැමිණ සිටින බව ය. ධනේශ්වර ආර්ථිකක්‍රමය හඳුන්වා ඇත්තේ ධනවතා තවදුරටත් ධනවත් කරන හා දුප්පතා තවදුරටත් දුප්පත් කරන වෙළෙඳ පොළ න්‍යායක් හැටියට ය. එහෙත් වෙළෙඳපොළ ආර්ථික ක්‍රමය තුළම; සාම්ප්‍රදායික න්‍යාය වෙනස් කළ හැකි අවස්ථා ඇති බව ලෝකයේ බොහෝ රටවල් පෙන්වා දී තිබේ. ඉන්දියාව ඊට හොඳම නිදසුනකි.

අද අප යොමුව ඇත්තේ මෙවර අයවැයෙන් යෝජිත රථවාහන බදු මහජනයාට බලපාන ආකාරය සොයා බැලීමට ය. මේ වනවිටත් රථවාහන නව බදු සම්බන්ධයෙන් සමාජ කතිකාවක් පවතී. මීට දසක දෙකකට පෙර රථවාහන බදු පොදු ජනයාගේ මාතෘකාවක් වූයේ නැත. එහෙත් අද වන විට තත්ත්වය වෙනස් ය. ඒ වෙනස ඇති වූයේ; කුඩා මෝටර් රථ, ත්‍රිරෝද රථ හා යතුරු පැදි සමාජය තුළ ව්‍යාප්ත වීමත් සමඟ ය. රටේ ධාවනය වන ත්‍රිරෝද රථ ප්‍රමාණය ගතහොත් එය ලක්ෂ පහළොවකටවැඩි ය. කුඩා මෝටර් රථවල අලෙවිය ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. යතුරුපැදියක් නැති නි‍ෙවසක් නැති තරම් ය.

රථවාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙන අන්දමට අයවැයෙන් යෝජිත රථවාහන බදු ක්‍රමය සරල ය. ඒ අනුව සැපකාර්වල මිල ඉහළ යයි. එන්ජින් ධාරිතාව අඩු පුංචි කාර්වල මිල යම් පමණකින් පහළට යයි. මධ්‍යම වටිනාකමකින් යුතු වාහනවල මිලද යම් පමණකින් ඉහළ යයි. විදුලියෙන් දුවන රථවාහන අලෙවිය වැඩි කිරීම සඳහා පියවර කිහිපයක් ද ගෙන තිබේ. ඉහත සංගමය පෙන්වා දෙන අන්දමට ඇල්ටෝ වර්ගයේ පුංචි කාර්වල මිල රුපියල් ලක්ෂයකින් හෝ රුපියල් ලක්ෂ එකහමාරකින් හෝ පහත බසිනු ඇත. “ඇක්සියෝ” “ඇක්වාර්” වැනි ටොයෝටා රථවල මිල රුපියල් ලක්ෂ හතහමාරකින් පමණ ඉහළ යනු ඇත. “ලෑන්ඩ් කෲසර්” වර්ගයේ සැප වාහනවල මිල රුපියල් ලක්ෂ 229කින් පමණ ඉහළ යනු ඇත.

පැජරෝ, මොන්ටෙරෝ, ලෑන්ඩ් කෘෘසර් වැනි අධි - සුඛෝපභෝගී මෝටර් රථ භාවිත කරන්නේ ඉහළ පෙළේ ධනවතුන් බව අමුතුවෙන් කිව යුතු නැත. රාජ්‍ය සේවකයකුට ‍හෝ සාමාන්‍ය ව්‍යාපාරිකයකුට හෝ ‍එබඳු වාහන භාවිත කළ නො හැකිය. මේවා තමන්ගේ ගමන් පහසුව සඳහා මෙන්ම සමාජ තත්ත්වය සඳහා ද පාවිච්චි වන බව පෙනී යයි. ඇතැම් ව්‍යාපාරිකයෝ තමන්ගේ ව්‍යාපාරවල සැබෑ ලාභය සඟවමින් බදු ගෙවීම් පැහැර හැර සැප - වාහනද පාවිච්චි කරති. එබඳු ව්‍යාපාරිකයන්ගෙන් වාහනය සඳහා හෝ සාධාරණ බද්දක් ලබාගැනීම යුක්ති සහගත යැයි කියන්නට පුළුවන. අධි සුඛෝපභෝගී වාහනවල අලෙවිය යම් පමණකින් පහළ බසින්නේ නම්; එය ද යම් සහනයක් ලෙස සලකන්නට පුළුවන. මෙබඳු වාහන කිලෝමීටරයක් ධාවනය කිරීම සඳහා වැය කරන තෙල් ප්‍රමාණය ද අධික ය.

වඩාත් වැදගත් යෝජනාව ලෙස සැලැකිය හැක්කේ විදුලියෙන් ධාවනය වන රථවාහන අලෙවිය දිරිමත් කිරීමට පියවර ගැනීම ය. “නිසාන් ලීෆ්” වර්ගයේ රථයක මිල රුපියල් ලක්ෂ දහයකින් පමණ අඩුවිය යුතුයැයි පුරෝකථනය වී ඇත. එය යහපත් යෝජනාවක් ලෙස සැලැකිය හැකි ය. එහෙත් වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙන ලෙස මේ සහනය ලබාදිය හැක්කේ “බ්‍රෑන්ඩ් නිව්” වාහන සඳහා පමණි. දැනට ගෙන්වා වෙළෙඳපොළ සඳහා නිකුත් කර ඇති වාහනවලට ඒ අනුව ගැටලුවක් මතුවෙයි. මේ ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත යුතුව තිබේ. එසේ නොවුණහොත් මහජනයාට පළමු කී සහනය ලැබෙන්නේ නැත. රජයේ අරමුණ ඉෂ්ට වන්නේ ද නැත.

ඉලෙක්ට්‍රොනික වාහන ප්‍රචලිත කිරීමේ වැදගත්කම පෙනී යන්නේ ඉන්දියාව, පාකිස්ථානය හා චීනය වැනි රටවල් දෙස බලන විට ය. මේ රටවල ප්‍රසිද්ධ වෙළෙඳ නගර ගණනාවක වායු දූෂණය උපරිම තත්ත්වයට පැමිණ තිබේ. ඉන්දියාවේ නවදිල්ලි නුවර වැසියෝ මුඛ ආවරණ සහිතව නගරයට ප්‍රවේශ වෙති. පාකිස්ථානයේ ප්‍රසිද්ධ නගර කිහිපයක ශ්වසන රෝග ශීඝ්‍රයෙන් පැතිර යයි. චීනයේ නගර කිහිපයක ජනතාවට ඔක්සිජන් බෝතල් රැගෙන පාරට බසින්නට සිදුවිය. වායු දූෂණයේ ප්‍රධාන හේතු කාරකයක් ලෙස වාහන දුම හඳුනාගෙන තිබේ. ශ්‍රී ලංකාව තව ම මේ තත්ත්වයට මුහුණ දී නැතත්; අප පසුවන්නේ අවදානම් තැනක බව කිව හැකි ය. ඒ අනුව ඉලෙක්ට්‍රොනික වාහන අලෙවිය දිරි ගැන්වීම පරිසර හිතකාමී ය.

රථවාහන සම්බන්ධයෙන් පනවා ඇති කාබන් බද්ද කෙනකුගේ විවේචනයට ලක්වන්නේ වුව; ලෝකයේ බොහෝ රටවල් එම බද්ද අයකර ගනු ලැබේ. ඕනෑම කෙනකු ස්වභාව ධර්මයට සිදුකරන බලපෑමට යම් වන්දියක් ගෙවිය යුතු ය. එම වන්දිය ස්වභාව ධර්මයේ පැවැත්ම හා ආරක්ෂාව සඳහා පෙරළා යොදා ගත හැකි ය. බදු සම්බන්ධයෙන් අපේ රටේ පවත්නා පොදු හැඟීම ද ඒ තරම් යහපත් නැත. බොහෝ දෙනකුගේ අදහසට අනුව බදු යනු බලහත්කාරයෙන් අයකර ගනු ලබන දෙයකි. බදු මුදල පෙරලා මහජන සේවය සඳහා ම යෙදවෙන බව ඇතැම්හු අමතක කරති. දියුණු රටවල ප්‍රජාව බදු ගෙවීම යුතුකමක් සේ සලකයි.

වාහනයක් යන්න තවදුරටත් සුඛෝපභෝගී භාණ්ඩයක් නොවන්නේ වුව ඒවා භාවිතයේ දී පන්ති ස්වභාවයක් ප්‍රදර්ශනය වෙයි. සැප කාර් ධනවතුන්ට, පොඩි කාර් සාමාන්‍ය ජනතාවට යන ලෙසින් ය. මහජනයාගේ පැත්තෙන් බලන විට පොදු ප්‍රවාහනය ශක්තිමත් නොවන බැවින් පෞද්ගලික වාහන කෙරෙහි අවධානය වැඩි වී ඇත. ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය දෙස බලන විට රථවාහනවලින් සංතෘප්ත වී ඇති තත්ත්වයක් ද දකින්නට ලැබේ. රජයක් මේ සියල්ල ගැන අවධානය යොමු කරමින් රථවාහන බදු ක්‍රමය සකස් කළයුතු යැයි කියන්නට පුළුවන. මෙවර අයවැයෙන් යෝජිත රථවාහන බදු ක්‍රමයට රථවාහන ආනයනකරුවන්ගෙන් විරෝධයක් එල්ල වී නැත. පොදු ජනයාගෙන් ද විරෝධයක් එල්ලවී නැතැ’යි කියන්නට පුළුවන. පොඩි මිනිසාගේ වාහන සිහිනය යථාර්ථයක් කිරීමට ද යම් තල්ලුවක් මේ බදු ක්‍රමයෙන් ලැබේ.

නව අදහස දක්වන්න