හෙට දවසේ ආර්ථිකය..! | දිනමිණ

හෙට දවසේ ආර්ථිකය..!

අයවැය ලේඛනය හැඳින්විය හැක්කේ රටක ආර්ථික දැක්ම හා වැඩපිළිවෙළ ප්‍රදර්ශනය කරන කැටපතක් හැටියට ය . රටක අනාගතය පිළිබඳ පුරෝකථනයක් ද ඊට ඇතුළත් ය. ඒ අනුව මෙවර අයවැය මඟින් 2020 වන විට රටේ ආර්ථික තත්ත්වයද මැන ගත හැකි ය. ලෝක ආර්ථිකය යම් අවපාතයක පැවැති අතර පසුගිය දෑවුරුද්ද තුළ යළි සක්‍රීය තත්ත්වයට පත්වී ඇත. චීනය, ජපානය, අමෙරිකාව හා ඉන්දියාව ඊට නිදසුන් ලෙස දැක්විය හැකිය. ඊට සාපේක්ෂව බලන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය අඛණ්ඩ ලෙස 4%කට ආසන්න ආර්ථික වෘද්ධියක් සටහන් කරගෙන තිබේ. 2020 වන විට ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රාජ්‍යයක් ලෙස 6%ක වාර්ෂික ආර්ථික වෘද්ධියක් සටහන් කරන බව මෙවර අයවැය මඟින් පුරෝකථනය කර තිබේ. එය සතුටුදායක තත්ත්වයකි.

මෙවර අයවැය රටේ ආර්ථික ස්ථාවරත්වය හා අනාගත ආර්ථික වෘද්ධිය පාදක කොට සැකසුණු ලේඛනයක් ලෙස මූලික වශයෙන් විග්‍රහ කළ හැකි ය. අනාගතයේ වැඩි දියුණු කළ යුත්තේ ආර්ථික‍යේ කුමන අංශ ද යන්න ඉන් පැහැදිලි කර ඇත. නිදසුනක් ගතහොත් අපනයන ආදායම් ඩොලර් බිලියන විස්ස දක්වා වැඩි කිරීමට පියවර ගෙන ඇත. නිදහසින් පසු දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන අංශය වූයේ අපනයන ක්ෂේත්‍රය යි. එදා සාම්ප්‍රදායික අපනයන කිහිපයකින් අපට තෘප්තිමත් විය හැකිව තිබිණි. එහෙත් අද තත්ත්වය ඊට වඩා වෙනස් ය. සාම්ප්‍රදායික අපනයන හැර අලුත් නිෂ්පාදන ලෝක වෙළෙඳ පොළට නිකුත් කළ යුතුව තිබේ. ඊට අදාළ දිරිගැන්වීම් මෙවර අයවැය ලේඛනය තුළ තිබේ.

පොසිල ඉන්ධන පිළිබඳ ගැටලුව ලෝකය පුරා ව්‍යාප්ත වන්නට පටන්ගෙන තිබේ. එය මිල අධික භාණ්ඩයක් වන්නා සේ ම නිමාවෙමින් පවතින බලශක්තියක් බවට ද පත් ව තිබේ. ඒ හැරෙන්නට පොසිල ඉන්ධන මඟින් සිදුවන වායු දූෂණය අධික වී ඇත. ඉන්දියාවේ නවදිල්ලි නුවර වායු දූෂණය උපරිම තලයක පවතී. අද එහි ජීවත්වන ප්‍රජාව වායු දූෂණයට මුහුණ දීම සඳහා ආරක්ෂණ වැසුම් හෙවත් වෙස් මුහුණු පලඳින්නට පටන්ගෙන තිබේ. මීට විසැඳුම ලෙස ඉදිරිපත් වී ඇත්ෙත් විදුලියෙන් දුවන රථවාහනවලට හුරුවීම ය. අපට ද තවත් වසර කිහිපයකින් මේ ගැටලුවට මුහුණදීමට සිදුවනු ඇත. ඒ අනුව ඉලෙක්ට්‍රොනික රථවාහන සඳහා ලක්ෂ දහයක මිල අඩු කිරීමක් සිදු කර ඇත. විදුලියෙන් දුවන ත්‍රීරෝද රථ සඳහා 90%ක සහනයක්ද ලබා දී ඇත.

අධ්‍යාපනය හැඳින්විය හැක්කේ රටක කොඳුනාරටිය ලෙස ය. එය ආර්ථික සමෘද්ධියේ ද පදනම වන්නේ ය. අධ්‍යාපනය සඳහා කරන යෙදවුම් වැඩි කර ඇත. වෛද්‍ය අධ්‍යාපනය සඳහා වැඩි ආයෝජනයක් කිරීමට අපේක්ෂිත ය. තවත් වෛද්‍ය පීඨ කිහිපයක් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට එකතු කරනු ලැබේ. මෙය ඉතා වැදගත් පියවරක් සේ සැලකිය හැකිය. රටේ ජනගහනයට සරිලන වෛද්‍ය වෘත්තිකයන් පිරිසක් රටේ නැත. ජනගහනය කෝටි දෙක හමාරට ආසන්න වී ඇත. එහෙත් වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 20,000ට අඩු ය. මේ ප්‍රමාණය දෙගුණයකින්වත් වැඩි කළ යුතුව තිබේ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කෙරෙහි රටේ විරෝධතාවක් ඇති බැවින් හොඳම උපාය මාර්ගය වන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ දියුණු කිරීම ය. එහි ධාරිතාවන් වැඩි කිරීම ය. රජය ඒ වැදගත් පියවර ගෙන තිබේ.

රටේ සාමාන්‍ය ජනතාවට ජාතික ආර්ථිකයේ සූක්ෂම අංශ කෙරෙහි අවබෝධයක් නැත. සාමාන්‍ය ජනතාව අයවැය ලේඛනයකින් අපේක්ෂා කරන්නේ බඩු මිල පහත හෙළීම වැටුප් වැඩි කිරීම වැනි සරල කාරණාවන් කිහිපයකි. අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට පෙර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක බදු මුදල් කපා හැරියේය.එය ජනතාවට ලබාදුන් විශාල සහනයක් ලෙස සැලැකිය හැකි ය. රාජ්‍ය සේවක වැටුප් තවදුරටත් වැඩි කළ හැකි තත්ත්වයක් නැත. වැටුප් වැඩි කිරීම උපරිම තලයකින් සිදුකර ඇති බැවින් ය. එහෙත් රාජ්‍ය සේවයේ වැටුප් විසමතා අහෝසි කිරීමට යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇත.

එහි අරමුණ වන්නේ පොදු හා සධාරණ වැටුප් ක්‍රමයක් රාජ්‍ය සේවයේ සියලු අංශ සඳහා හඳුන්වාදීම ය. දැනට ද වැටුප් විසමතා ප්‍රශ්නය මූලික කොට විරෝධතා හා වර්ජන පවත්වන අවස්ථා තිබේ. කෙටි කාලයක් තුළ ඊට විසැඳුම් ලැබේ යැයි විශ්වාස කළ හැකි ය.

මෙවර අයවැය ලෙඛනයේ ප්‍රධාන තේමාව බවට පත්ව ඇත්තේ නීල - හරිත ආර්ථිකයක් යන්න ය. නීල යන්නෙන් සාමුද්‍රීය සම්පත ප්‍රයෝජනයට ගන්නා ආකාරය ද, හරිත යන්නෙන් පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රියාවලියක් ගෙන යන ආකාරයද පැහැදිලි කරයි. ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම අනුව ගතහොත් අපට ඉන්දියන් කලාපයේ වෙළෙඳ කේන්ද්‍රස්ථානය බවට පත්වීමේ හැකියාව හොඳින් පවතී. ඒ සඳහා අපගේ ආර්ථික උපාය මාර්ග වෙනස් කළ යුතුය. තවද ලෝක අවධානය දිනාගත යුතුය. මූල්‍ය ප්‍රතිපත්ති වෙනස් කළ යුතුය. මේ වන විට රටට යහපත් ලෝක අවධානයක් තිබේ. අපගේ ආර්ථික උපාය මාර්ග ද ලෝකය සමඟ ගැළපෙන්නට පටන්ගෙන තිබේ. එය යහපත් තත්ත්වයක් ලෙස සැලැකිය හැකි ය. මේ පසුබිම තුළ ව්‍යවසායකයන් දිරිගැන්වීමට සෑම පියවරක් ම ගනු ලබන බව සඳහන් වී ඇත.

අද පවත්නා ලෝක තත්ත්වයට අනුව හුදෙකලා ආර්ථික පැවැතිය නො හැකිය. ආර්ථික දියුණුව රැඳී ඇත්තේ ලෝකය සමඟ බද්ධවීම සමඟ ය. මේ තත්ත්වය බොහෝ රටවල වටහාගෙන තිබේ. සෞදි අරාබිය පැවැතියේ පොසිල ඉන්ධන මත පමණක් පොහොසත් වූ රාජ්‍යයක් හැටියට ය. එහෙත් අද වන විට සෞදියේ නව නායකත්වය ආර්ථිකයේ වෙනත් අංශ දියුණු කරන්නට පටන්ගෙන තිබේ. සෞදිය සංචාරක කර්මාන්තය දියුණු කරන්නට පටන්ගෙන තිබේ. මූල්‍ය ගනුදෙනු, සේවා සැපයුම් හා ආයෝජන දිරිගැන්වීම් ආරම්භ කර තිබේ. සෞදි ආර්ථිකය යම් ලිහිල්කරණයකට බඳුන් වෙමින් පවතී. එය සැලැකිය හැක්කේ ලෝකය සමඟ බද්ධවීමක් හැටියට ය. නව ලිබරල් ආර්ථිකය අද වන විට එකම විසැඳුම බවට පත්ව තිබේ. අපට එය බැහැර කළ නො හැකි ය.

2018 අයවැය ලේඛනය ඉදිරිපත් කරන්නේ අභියෝග ගණනාවක්ද පසුබිමෙහි තබාගෙන ය. රැකියා සම්පාදනය, ණය ගෙවීම, රාජ්‍ය වියදම් අධිකවීම වැනි ගැටලු රාශියක් ඒ අතර පවතී. ස්වාභාවික විපත් හා සේවක වර්ජන නිසා තවත් අතෙකින් ආර්ථික පසුබෑම් ඇති විය. මේ සියල්ල දෙස බලන විට ජනතාවට විශේෂ බරක් නොපටවා අයවැය ලේඛනයක් සකස් කිරීම ද පුදුම සහගත ය. එහි ඇති ආර්ථික උපාය මාර්ග දෙස බලන විට පෙනී යන්නේ ස්ථාවර ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා සැලකිය යුතු පරිශ්‍රමයක් දරා ඇති බව ය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...