සෝභිත හිමියනි; | දිනමිණ

සෝභිත හිමියනි;

උන්වහන්සේ මේ වන විට භෞතික වශයෙන් ජීවමාන නො වෙති. එහෙත් අප හිමියන්ගේ නායකත්වය මත ගොඩනැඟුණු සමාජ ව්‍යාපාරය, සංකල්ප හා දැක්ම අදටත් ජීවමාන ය. ඒවා ක්‍රියාත්මක වන ආකාරයට අනුව රටේ අනාගත යහපත - අයහපත තීන්දුවන්නේ යැයි කිව හැකි ය. අප මේ වෑයම් කරන්නේ මාදුළුවාවේ සෝභිත හිමියන් පිළිබඳ ස්මරණ සටහනක් තැබීමට ය. උන්වහන්සේ අපවත් වී වසර දෙකක් ගෙවී ඇත. 2015 ජනවාරි දේදුනු විප්ලවයේ නියමුවාණන් ලෙස ද ජීවිතය පුරාවට ම සමාජ සාධාරණත්වය උදෙසා කැප වී ක්‍රියා කළ යතිවරයාණ කෙනකු ලෙස ද උන්වහන්සේ ඇගයීමට පාත්‍ර වෙති.

2015 ජනවාරියේ ඇති වූ දේශපාලන වෙනස අපේ ඉතිහාසයේ සන්ධිස්ථානයක් හැටියට සඳහන් වී ඇත. මීට අදාළ සමාජ ව්‍යාපාරය ගොඩනැඟීමේ මුළුමහත් ගෞරවය අප හිමියන් වෙත පැවරී ඇත. මේ සමාජ ව්‍යාපාරය අරමුණු කරගත් ඉලක්ක කිහිපයක් තිබේ. අල්ලස හා දූෂණය පිටුදැකීම, නීතියේ ආධිපත්‍යය පිහිටුවීම,  පවුල් ‍ දේශපාලනය අවසන් කිරීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඒ අතර ප්‍රධාන වෙයි. ජාතීන් අතර සහජීවනය ඇතිකිරීම, ආගමික සංහිඳියාවක් ගොඩනැඟීම හා දේශීය ආර්ථීකය සවිබල ගැන්වීම මෙහි සෙසු ඉලක්ක අතර ‍තිබේ.

මේ සමාජ ව්‍යාපාරය ගොඩනැංවීම කෙතරම් අභියෝගාත්මක ද යන්න පැහැදිලි වන්නේ එදා පැවැති දේශපාලන පසුබිම විමර්ශනය කරන විට ය. සියලු ජනමාධ්‍ය පාලකයන්ගේ පැත්තේ පැවැතිණි. රාජ්‍ය ආයතන, පොලිසිය, ත්‍රිවිධ හමුදාව පමණක් නො ව; අධිකරණය පවා පාලකයන්ට නම්‍යශීලී බව අමුතුවෙන් කිව යුතු නැත. මේ හැරෙන්නට දේශපාලන හෙංචයියන්ගෙන් සැදුම්ලත් මැර හමුදාවක් ද පාලකයන්ගේ පැත්තේ හිටගෙන සිටියේ ය. මාදුළුවාවේ සෝභිත හිමියන් ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයකු තෝරාගත්තේ ද, සමාජ ව්‍යාපාරය රට පුරා ප්‍රචලිත කරන්නේ ද ඉහත බලවේගවලට නො බියව මුහුණ දෙමින් ය.

නිර්භීතභාවය, නොසැලෙන ගතිය හා අධිෂ්ඨානය උන්වහන්සේගේ ජීවිතය පුරාවට අත්වැල් බැඳගත් උත්තේජකයන් ලෙස පවතී. බණ දහම් දෙසමින්, විහාරස්ථාන වැඩිදියුණු කරමින් නිදහස් ජීවිතයක් ගතකිරීමේ අවස්ථාව උන්වහන්සේට තිබිණි. එහෙත් ජාතිය හා රට වෙනුවෙන් මුළුමහත් සමාජයට දැනෙන දෙයක් සිදු කිරීමේ වුවමනාව උන්වහන්සේට හැමදාමත් තිබිණි. අප හිමියෝ ජීවිතය පුරාවට ම එම වුවමනාව වෙනුවෙන් කැප වූහ. මේ හේතුව නිසා ම අප හිමියන් පහරකෑමට ලක්වූ අවස්ථා ද තිබේ. මරණීය තර්ජනවලට මුහුණ දුන් අවස්ථා ද තිබේ. එහෙත් කිසිවකින් උන්වහන්සේ දුර්මුඛ වූයේ නැත.

මාදුළුවාවේ සෝභිත හිමියන් සිහිපත් කරන මේ මොහොතේ; අප ආපසු හැරී බැලිය යුත්තේ උන්වහන්සේ අපේක්ෂා කළ අරමුණු හා ඉලක්ක දැන් ජයගෙන තිබේ ද යන්න ය. අල්ලස හා දූෂණය පිටුදැකීම යන මාතෘකාව මෙහිලා විශේෂ වෙයි. මේ කාරණයේදී ප්‍රමාණවත් ජයග්‍රහණ ලබා තිබේ ද යන්න ගැටලුවෙකි. බැඳුම්කර සිද්ධියේ පරීක්ෂණ දෙස බලන විට යම් ඉදිරිගාමී පියවරක් දැකගත හැකි වුව; පොදුවේ දේශපාලන හොරුන්ට දඬුවම් දීම තව ම ඉටු වී නැත. ඒ පිළිබඳ සමාජ විවේචන ඕනෑ තරම් තිබේ. නීතියේ ආධිපත්‍යය පිහිටුවීම යන සාධකයේදී ද ‍යම් ජයග්‍රහණ ලබාගෙන ඇති වුව; සමස්තයක් ලෙස ඒ ගැන තෘප්තිමත් විය හැකි තත්ත්වයක් නැත.

අප හිමියන් ජීවත් ව සිටියේ නම්; මේ තත්ත්වය මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණේ යැයි සමහරු පෙන්වා දෙති. 2015 ජනවාරියේ උන්වහන්සේගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වූ සමාජ බලවේග මීට වඩා ශක්තිමත් යැයි කියන්නට පුළුවන. එදා උන්වහන්සේ වටා විශාල තරුණ පිරිසක් ඒකරාශී වී සිටියහ. ඔව්හු නූතන සන්නිවේදන තාක්ෂණය ද උපයෝගී කරගනිමින් සිය ව්‍යාපාරය ශක්තිමත් කළහ. අද එවැන්නක් දකින්නට නැත. අද සමාජ ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වය දුර්වල වන අතර ඒවායෙහි ආකර්ෂණීය බවක් ද නැත. උන්වහන්සේ නැති පාඩුව හොඳින් ම දැනෙන්නට පටන්ගෙන තිබේ.

සෝභිත හිමියන් සතු පෞරුෂය, දැනුම හා ආකර්ෂණීය ස්වභාවය නිසා බලවත් සමාජ නායකත්වයක් ගොඩනැඟී තිබිණි. එක අතෙකින් සමාජය දුකට හා පීඩාවට පත් වූ අවස්ථාවලදී උන්වහන්සේ ආධාර හා උපකාර කිරීමට ඉදිරිපත් වූහ. තව අතෙකින් සමාජය අවුල් වී නන්නත්තාර තැනෙක සිටින විට‍; උන්වහන්සේ මැදිහත් වී ගැටලු නිරාකරණයට මඟ පෑදූහ. මේ අයුරින් යුද්ධයෙන් පීඩාවට පත් වූ පවුල්වලට සහන ලබාදීමට සෝභිත හිමියෝ රට වටා සංචාරය කළහ. රටේ දේශපාලන අවුල් පැවැති බොහෝ අවස්ථාවල ද ජනතාවට නායකත්වය දී නිවැරැදි මාර්ගයට ගන්නට ද උන්වහන්සේ ක්‍රියා කළහ. මෑත ඉතිහාසය තුළ එබඳු යතිවරයාණ කෙනකු දකින්නට නැත.

දේශපාලනයෙහි ලා උන්වහන්සේගේ දැක්ම කෙතරම් නිවැරැදි දැ’යි පෙනී යන්නේ නූතන ලෝක දේශපාලනය දෙස බලන විට ය. උන්වහන්සේගේ ප්‍රමුඛ අදහස වූයේ දේශපාලනය පිරිසුදු එකක් බවට පත් කිරීමට නම්; පළමුව අල්ලස හා දූෂණය පිටුදැකිය යුතු බව ය. ඉන්දියාව අද මේ අදහස හිස්මුදුනින් පිළිගනී. එරට දූෂණ විරෝධී ව්‍යාපාරය ආරම්භ කළේ අන්නා හසාරේ ය. 2011 සිට ඔහු එම ව්‍යාපාරය ගෙන යයි. අගමැති මෝදි මහතා මේ ව්‍යාපාරයට සහයෝගය දක්වන අතර දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් ඉතා තදින් ක්‍රියා කරයි. යහපාලනය ශක්තිමත් කිරීමට නම් දූෂණයෙන් තොර ශක්තිමත් සමාජ ව්‍යුහයක් පැවැතිය යුතු ය. සෝභිත හිමියන්ගේ වෑයම වූයේ එබඳු ශක්තිමත් සමාජ ව්‍යුහයක් ගොඩනැඟීම ය.

සෝභිත හිමියන් අද ජීවතුන් අතර නැත. එහෙත් උන්වහන්සේ ස්මරණය කිරීම සඳහා ද ගෞරව දැක්වීම සඳහා ද විශාල පිරිසක් පෙළගැසී සිටිති. සෝභිත හිමියන් සඳහා දැක්විය හැකි හොඳ ම උපහාරය වන්නේ උන්වහන්සේගේ ප්‍රතිපත්ති හා වැඩසටහන් ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යෑම ය. එහෙත් මේ වැඩසටහන් ශක්තිමත්ව ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත. එහි වරද පැටවිය හැක්කේ කා මතද?


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...