පවස නිවන මිතුරු ආසියාතිකයා | දිනමිණ

පවස නිවන මිතුරු ආසියාතිකයා

 ශ්‍රී ලාංකේය සැමට ප්‍රමිතියෙන් ඉහළ, පිරිසිදු පානීය ජලය ලබාදීමේ අභියෝගය අප විසින් ජයගත යුතුව තිබෙන්නකි. මේ අභියෝගය ජයගන්නට ශ්‍රී ලංකා රජයට උදව් කිරීමට ආසියානු සංවර්ධන බැංකුව ඉදිරිපත් වී සිටියි.

මහජන මිත්‍රශීලි හා ජනතා සහභාගීත්වය පානීය ජල සම්පාදන ව්‍යාපෘති ලෙස මේ ව්‍යාපෘති රාශියක් දැනටමත් රටපුරා ක්‍රියාත්මකයි. ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව, ශ්‍රී ලංකා රජය සහ ග්‍රාමීය අඩු ආදායම්ලාභී ප්‍රජා මූල සංවිධාන විසින් මූල්‍යමය අනුග්‍රහයන්  ශ්‍රම දායකත්වයන් දරා තිබෙන අයුරු අපට දැකගත හැකි විය.

ඒ ආසියානු සංවර්ධන බැංකුවේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් පොළොන්නරුව, අනුරාධපුරය, මන්නාරම, පුත්තලම, හා හලාවත ප්‍රදේශයන්හි ක්‍රියාත්මක ජල යෝජනා ක්‍රම පිළිබඳව කරුණු සොයා බැලීමේ මාධ්‍ය චාරිකාවට එක්වීම හේතුවෙනි.

කොළඹ  07, නිදහස් මාවත අංක 23 ස්ථානයේ පිහිටි ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා කාර්යාලයේ ඉකුත් 30 වැනි සඳුදා උදේ 9.00ට ADB බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂිකා ශ්‍රී විඩෝ වතී මහත්මිය ADB බැංකුවේ නාගරික ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති නිලධාරි කමල් දහනායක, බැංකුවේ ජ්‍යෙෂ්ඨ බාහිර සබඳතා නිලධාරිනි රෝෂනී ‍යෝගරාජා යන මහත්ම මහත්මීහු හා මාධ්‍ය සගයෝ හමුවූහ.

ශ්‍රී ලංකාවේ වියළි කලාපය ආශ්‍රිතව නාගරික ජල සම්පාදන ව්‍යාපෘති හා සනීපාරක්ෂක ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වන අයුරු පැහැදිලි කළ  බැංකුවේ ප්‍රධානිහු, ග්‍රාමීය ප්‍රජාව හා සහ සම්බන්ධිතව ක්‍රියාවට නංවන පිරිසිදු පානීය ජලය ලබාදීමේ හා සනීපාරක්ෂක ව්‍යාපෘති ගැනද කතිකා කළ හ.

වියළි කලාපීය හා නාගරික ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘති ප්‍රධාන වශයෙන් පුත්තලම, හලාවත, මන්නාරම, වවුනියාව පොළොන්නරුව, අනුරාධපුරය ක්‍රියාත්මක වන අයුරු දත්ත වාර්තා සහ ප්‍රතිලාභි ජනතාව හමුවීම තුළින් දැක බලා ගැනීමට අපට හැකිවිය.

වසර 2010 – 2017 හත් අවුරුදු කාලසීමාව තුළ නාගරික ජල සම්පාදන ව්‍යාපෘති ලෙස ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ද සහාය ඇතිව ක්‍රියාවට නංවන ව්‍යාපෘතිවලට ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 125ක මුදලක් ලබාදේ. ශ්‍රී ලංකා රජය ඊට දරන දායකත්වය ඩොලර් මිලියන 38කි. මේ ව්‍යාපෘති හරහා පවුල් 1800ක ජනතාවට පිරිසිදු පානීය ජලය සැපැයීම මූලික වටයේ සිදු කැරේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නාගරික ජනතාවට තම ජල අවශ්‍යතා සපුරාලීමට ක්‍රියාත්මක ගල්ලෑල්ල ජල යෝජනා ක්‍රමය හා අලුතින් ඉදිකළ ජල පවිත්‍රාගාරය නිරීක්ෂණය කිරීමට ද අපට මෙහිදී හැකිවිය. ඉන් අනතුරුව අනුරාධපුරය නගරයේ පිහිටි ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ උතුරු මැද පළාත් කාර්යාලයේදී අප හා එක් වූ එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි, ප්‍රධාන පිරිස කරුණු දක්වමින් තම ප්‍රදේශයේ වකුගඩු රෝගී ජනතාවට සෙත සැලැසීමට නව ජල ‍යෝජනා ක්‍රම තුළින් හැකිවී ඇතැයි කියා සිටියහ.

පොළොන්නරුව, මැදිරිගිරිය, යුදගනාව ග්‍රාමයේ ප්‍රජා මූල සංවිධාන නායකත්වයෙන් ක්‍රියාත්මක ජල යෝජනා ක්‍රමය නැරඹූ අප, අනතුරුව මන්නාරම නාගරික ජල යෝජනා ක්‍රමය, සනීපාරක්ෂක සේවා පිළිබඳව කරුණු දැක බලා ගත්හ.

පොළොන්නරුව, නාගරික ජලසම්පාදන ව්‍යාපෘතියේ ගල්ලෑල්ල නව පොම්පාගාරය ඉතා මනාව තම කාර්ය ඉටු කරමින් සිටින බව එහි ප්‍රධාන විදුලි ඉංජිනේරු සහන් තරංග කුලරත්න මහතා අප සමඟ ප්‍රකාශ කළේය.

මහවැලි ගංගාවෙන් ජලය ලබාගෙන, ඒවා ඉතා විද්‍යානුකූලව හා මහජනතාවට බීමට ඉතා ඉහළ ප්‍රමිතියෙන් යුතුව නිෂ්පාදනයකැරැ මේ පොම්පාගාරයෙන් නිකුත් කැරෙන බවද ඒ මහතා කීය.

පොළොන්නරුව, නගරය හා අවට ජනතාවට අවශ්‍ය පිරිසිදු පානීය ජලය සැපැයෙන අතර, ඉදිරි වසර කිහිපය තුළ දැනට වඩා ප්‍රතිලාභීන් පිරිසක් එක්කර ගැනීම ව්‍යාපෘතියේ දෙවැනි අදියරයෙන් බලාපොරොත්තු වන බවද සහන් තරංග කුලරත්න මහතා කියා සිටියේය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවතින වකුගඩු ‍රෝගී තත්ත්වයෙන් ප්‍රදේශවාසීහු ‍බේරා ගැනීමට ඔවුන්ට ප්‍රමිතියෙන් උසස් ජලය ලබාදීමේ අරමුණින් පිබිදෙන ‍පොළොන්නරුව වැඩපිළිවෙළ යටතේ රුපියල් බිලියන 54 ක වියදමින් ජල සම්පාදන ව්‍යාපෘති ඉදිරියේ ක්‍රියාත්මක කරන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ පොළොන්නරුව ප්‍රාදේශීය කළමනාකරු ආර්. එම්. ඩී. අබේකෝන් මහතා සඳහන් කළේය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය යුදගනාව නෙළුම් - සමාධි ඒකාබද්ධ ප්‍රජා මූල සංවිධානය පොදු මහජනතාව එක්ව ‍ගොඩනඟා ගත් ප්‍රබල ජනඑකමුතුවකි. ‍මෙම එකමුතු‍වේ බලය නිසාම, බීමට ජලය නොමැතිව ගම අතහැර ගිය ජනතාවක් නැවත ගමට පදිංචියට කැඳවා ගැනීමට පවා හැකිවී තිබේ. ඒ ඔවුන් ක්‍රියාත්මක කළ ප්‍රජා මූල සංවිධාන ජල ව්‍යාපෘතිය හේතුකොට ගෙන බව එහි ජී. පී. චමින්ද ප්‍රීති කුමාර මහතා කීය.

පොළොන්නරුව දිස්ත්‍රික් ග්‍රාමීය ජල අංශයක් ක්‍රියාත්මක කරයි. ඒ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ දිස්ත්‍රික් ඉංජිනේරු සහකාර සන්ධ්‍යා නිල්මිණි මහත්මිය ප්‍රධාන පිරිසකගේ මැදිහත්වීම මත මේ චාරිකාවේදී අනාවරණය විය.

පොළොන්නරුව අනුරාධපුර දිස්ත්‍රික් දෙකේ ජනතාවට බීමට පිරිසුදු පානීය ජලය ලබාදීමේ යෝධ ව්‍යාපෘති අටක් දැනට සැලසුම් කොට ඇතැයි ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ උතුරුමැද පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වජිර විජේත්න සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සැලසුම්) සුදත් රත්නායක යන මහත්වරු පැහැදිලි කළේය.

මන්නාරම දිස්ත්‍රික්ක‍යේ ජලසම්පාදන ව්‍යාපෘතිවලට මුරුකන් හිදී ජලය ලබාගෙන පවිත්‍ර කොට කිලෝමීටර 140ක දුරක් ජල නළ මාර්ග ඔස්සේ රැගෙන විත් මන්නාරම නාගරික ජනතාවගේ බීමට අවශ්‍ය ජල ප්‍රශ්නයට විසඳුම් ලබාදී ඇත. මේ ව්‍යාපෘතිය සඳහා රු. මිලියන 1800ක් ආසියානු සංවර්ධන බැංකුව ද රුපියල් මිලියන 400ක් ද ශ්‍රී ලංකා රජය වැය කොට ඇතැයි මන්නාරම ජල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වී. උදයශීලන් මහතා කීය. මන්නාරම ජලසම්පාදන ව්‍යාපෘතියේ කටයුතු පිළිබඳ ජලසම්පත් හා ජලාපවහන මණ්ඩල‍යේ මන්නාරම දිස්ත්‍රික් ඉංජිනේරු නිමලන් මහතා අගනා පැහැදිලි කිරීමක් සිදු කළේය. මන්නාරම නගරය මධ්‍යයේ ඉදිකර තිබෙන පොදු වැසිකිලි හා සනීපාරක්ෂක ගොඩනැගිල්ල, මලඅපද්‍රව්‍ය බැහැර කරන විධිමත් බැහැර කිරීම් ප්‍රතිචක්‍රීකරණ ස්ථානය ද ආදර්ශයන් ලෙස ඉදිකොට ඇත.

පුත්තලම හා හලාවත ජනතාවට අවශ්‍ය පානීය ජලය ලබාදීමට ක්‍රියාත්මක ජල යෝජනා ක්‍රම දෙක තවම ජනතා අයිතියට පත් කොට නැත. මින් හලාවත ජනතාවට ජලය ලබාදීමට වයඹ පළාතේ බිංගිරියේ ඉදිකෙරෙන නව ජලපොම්පාගාරයේ කටයුතු මේ වන විට යුහුසුළුව සිදු කෙරේ. දැදුරුඔයෙන් ජලය ලබාගෙන පවිත්‍ර කොට හලාවත නාගරික ප්‍රදේශවලට හා අවට ජනතාවට ලබාදීමට මෙයින් අපේක්ෂා කරන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ කොරියානු ජාතික ඉංජිනේරු ‍ජින් ජෝන්ග් සේඕ (JIN JANG SEO) මහතා කිය.

මේ නාගරික ජල ව්‍යාපෘතිය කඩිනමින් නිමකරදීමේ අරමුණින් දැනට 100 - 150ක විවිධ ශ්‍රේණිවල සේවක නිලධාරීහු පිරිසක් කඩිමුඩියේ සේවයේ නිරතව සිටින අයුරු අපට දැක ගත හැකි විය.

විවිධ ජල මූලාශ්‍රවලින් ජලය ලබාගෙන ඒවා ඉතා නවීන යන්ත්‍ර හා උපකරණවලින් සමන්විත නව පොම්පාගාර වෙත යොමු කොට ඉන් පසු පිරිසිදු කොට එහි තත්ත්වය ප්‍රමිතිය විද්‍යාගාරවල නිරන්තරයෙන් පරීක්ෂා කොට බලා අවසානයේ පොදු ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවන් සපුරා ගන්නට කරන දැවැන්ත වැඩපිළිවෙළ අපට මේ චාරිකාවේ දී නිරීක්ෂණය කර ගන්නට ලැබුණි. මේ දැවැන්ත කාර්යය සිදුකොට නිදහස් කරන ජලය පානීය ජල අවශ්‍යතාවන්ට ලබාගෙන අරපිරිමැස්මෙන් ප්‍රයෝජනයට ගැනීම ජනතාවගේ යුතුකමකි. ජලය නාස්ති කිරීම කිසිසේත්ම නොකළ යුත්තකි. ජලය ජීවිතය යැයි ද මිල කළ නොහැකි සම්පතකැයි ද සඳහන් කරනුයේ ඊට ඉහළම තැන ලබාදීම සඳහාමයි.

මේ සියලු ව්‍යාපෘති හා හලාවත ජල යෝජනා ක්‍රමය හරහා මෙතෙක් බීමට පිරිසිදු පානීය ජලය නොලැබූ අතිවිශාල පිරිසකට සෙත සෑදී ඇති අතර අනාගතයේදී සෙත සැලැසෙන අයුරු පැහැදිලි විය.

ජයසිරි මුණසිංහ 

නව අදහස දක්වන්න