2021 දකුණු ආසියා ක්‍රීඩා උළෙලට හා සංවර්ධන වැඩට යුද හමුදා පූර්ණ සහය | දිනමිණ

2021 දකුණු ආසියා ක්‍රීඩා උළෙලට හා සංවර්ධන වැඩට යුද හමුදා පූර්ණ සහය

ප්‍රින්ස් ගුණෆස්කර

වසර 2021දී ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන දකුණු ආසියා ක්‍රීඩා උළෙල හා ඉදිරි ක්‍රීඩා තරග වෙනුවෙන් දියගම ක්‍රීඩා සංකීර්ණයේ සංවර්ධන කටයුතු සිදුකිරීමට හා එහි නඩත්තු කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාව මගින් ඉටුකරවා ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා යුද හමුදාව එකඟතාවකට එළැඹෙයි. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානනායක මහතා ඇතුළු ශ්‍රී ලංකා යුද හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් ක්‍රීඩා ඇමැති නීතිඥ දයාසිරි ජයසේකර මැතිතුමා අතර පැවැති හමුවකදී මේ පිළිබඳ සාකච්ඡා කෙරිණි.

ක්‍රීඩා අමාත්‍යාශයේදී පෙරේදා පැවැති මේ සාකච්ඡාවේදී ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ඉදිරියේදී ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන ක්‍රීඩා සංවර්ධන කටයුතුවලට ශ්‍රී ලංකා යුද හමුදාවේ පූර්ණ සහය ලබාදීමට යුද හමුදාපතිවරයා කැමැත්ත ප්‍රකාශ කළේය. එමෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාවට අනුයුක්තව සිටින ජාතික සංචිතගත ක්‍රීඩක ක්‍රීඩිකාවන් දීර්ඝකාලීනව සංචිතය තුළ පුහුණුව උදෙසා පුර්ණ කාලීනව නිදහස් කර ගැනීම පිළිබඳ ක්‍රීඩා ඇමැතිවරයා කළ යෝජනාව පිළිබඳ කඩිනමින් සලකා බැලීමට ද යුද හමුදාපතිවරයා එකඟතාව පළ කිරීම විශේෂත්වයකි.

ක්‍රීඩා අමාත්‍යාංශය මගින් සිදු කිරීමට යෝජිත ක්‍රීඩා සංවර්ධනයට අදාළ ඉදිකිරීම් අවම වියදමකින් හා උපරිම ප්‍රමිතියෙන් ඉටු කරදීමට යුද හමුදාවට ශක්තිය ඇති හෙයින් ඉදිරි කාලයේදී ක්‍රීඩා සංවර්ධන කටයුතුවල පැහැදිලි වෙනසක් අපේක්ෂා කළ හැකි බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය. දියගම ක්‍රීඩා සංකීර්ණයේ විශාල සංවර්ධනයක් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය මේවන විටත් සැලසුම්කර ඇති අතර, 2021 දකුණු ආසියා ක්‍රීඩා උළෙලේ තරග පැවැත්වීමටද මූලික අදහසක් ඇති කරගෙන සිටී. එබැවින් දියගම ක්‍රීඩා සංකීර්ණයේ කටයුතුවලට ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බලකායේ සහයෝගය ලබා ගැනීමට තීරණයවී ඇත.

දියගම ක්‍රීඩා සංකීර්ණයේ ඇතැම් ඉදිකිරීම් මෙයට වසර ගණනාවකට පෙර යුද හමුදාව මගින් සිදු කර තිබුණි.

මේ වනවිට කිලිනොච්චි නගරයේ ඉදිවෙමින් පවතින උතුරු පළාතේ ක්‍රීඩා සංකීර්ණයේ වැඩ නිම කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකායේ දායකත්වය ලබා ගැනීම හා හදිසි අළුත්වැඩියා හා නඩත්තු කටයුතු කිළිනොච්චිය ආරක්ෂක සේවා මූලාස්ථානය වෙත පැවරීමට තීරණය විය. මේ පළාත් ක්‍රීඩා සංකීර්ණය ඉදිරි මාසයේදී විවෘත කිරීමට යෝජනාවී ඇත.

ප්‍රථම ශ්‍රි ලාංකික ‍ඔලිම්පික් පදක්කම්ලාභී කපිතාන් ඩන්කන්වයිට් මැතිතුමාගේ ජන්ම දින ශත සංවත්සරික සැමරුම ලබන වසරේ මාර්තු 1 දිනට යෙදී ඇති බැවින් ඒ මහතා පදිංචිව සිටි මහනුවර පිහිටි ඩන්කන් වයිට් නිවස ප්‍රතිසංස්කරණය කිරීමට යුද හමුදා සහය ලබාදීමට යුද හමුදාපතිවරයා කැමැත්ත පළ කළේය.

ක්‍රීඩා සංචිත සඳහා අලුතින් තෝරාගනු ලබන දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් තවදුරටත් යුද හමුදාවට බඳවා ගැනීමට හා යුද හමුදා ක්‍රීඩා සංකීර්ණ හා යටිතල පහසුකම් පළාත් හා ජාතික සංචිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුවීම සඳහා භාවිත කිරිමට යෝග්‍ය වැඩ පිළිවෙළක් සැකසීම ඉදිරියේදී සිදු කිරීමට ද නියමිතය.

ක්‍රීඩා හා ශාරීර සුවතා වැඩසටහන් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරිම සඳහා සහාය ලබා දීම, ක්‍රීඩා ශක්ති ඉදිරි දැක්ම ව්‍යාපෘතිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් යුද හමුදාවේ පූර්ණ සහය ලබාදීම පිළිබඳව ද දීර්ඝව සාකච්ඡා වුණි.


නව අදහස දක්වන්න