විශේෂ මහාධිකරණයකට අනුමැතිය : කැබිනට් LIVE | දිනමිණ

විශේෂ මහාධිකරණයකට අනුමැතිය : කැබිනට් LIVE

මුල්‍ය වංචා, දුෂණ, රජයේ වත්කම් සහ අදායම් පිළිබඳව නඩු කඩිනම් කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය තුනකින් යුත් මහාධිකරණයක් පිහිටුවීමට තීරණය කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(1)(ඇ) ව්‍යවස්ථාව යටතේ මෙම මහාධිකරණය ස්ථාපිත කෙරෙනු ඇති බව සදහන්.

ඒ අනුව අගවිනිසුරුවරයා විසින් නම් කරනු ලබන ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩල 03කින් සමන්විත මහාධිකරණයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(1)(ඇ) ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ පිහිටුවීමටත්, නිශ්චිතව දක්වනු ලබන වරදවල් සම්බන්ධයෙන් වන නඩු කටයුතු නීතිපතිවරයාගේ ඉල්ලීම මත අගවිනිසුරුවරයා විසින් සිය අභිමතය පරිදි එම මහාධිකරණය වෙත යොමු කිරීමටත් හැකියාව හිමි වනු ඇත.

එමෙන්ම එම මහාධිකරණයේ නියෝගයකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත සෘජුව අභියාචනය කිරීමටත් විධිවිධාන සලසමින් අවශ්‍ය නීති කෙටුම්පත් කිරීම පිණිස නීතිකෙටුම්පත් සම්පාදකවරයා වෙත උපදෙස් ලබා දීම පිණිස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල ඉදිරිපත් කරන ලද යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව තිබේ.

මෙරට අධිකරණවල විශාල වශයෙන් නඩු ගොඩගැසී පැවතීම හේතුවෙන් මූල්‍ය වංචා, දූෂණ, රජයේ වත්කම් හා රජයේ ආදායම් සම්බන්ධ වංචාසහගත ක්‍රියා සහ ඊට සමාන වරදවල් සම්බන්ධයෙන් වන නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම ප්‍රායෝගිකව අපහසු වී ඇත.

එබැවින්, මහජන දේපළවලට එරෙහිව සිදු කරනු ලබන වැරදි, මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදය සඳහා මුදල් සැපයීම, සාපරාධී විශ්වාසය කඩකිරීම හා මහජන දේපළ සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, සංවිධානාත්මක අපරාධ ඇතුළුව අල්ලස් හා දූෂණ චෝදනා සහ අතිශය සංකීර්ණ මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් වන නඩු කටයුතු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂයෙන්ම වෙන් වූ මහාධිකරණයක් පිහිටුවීම සුදුසු බව හඳුනාගෙන ඇත.

නව අදහස දක්වන්න