වෙනස! | දිනමිණ

වෙනස!

නීතිය හරිහැටි ක්‍රියාත්මක නො වන රටක ජීවත්වීම පාපයක් යැයි කියනු ලැබේ. එබඳු රටක ජීවත්වන කිසිවකුට යුක්තියක් අපේක්ෂා කළ නො හැකි ය. යුක්තියක් නැති තැන සදාචාරයක් ද නැත. රටක හොඳ නීති පද්ධතියක් තිබෙන්නට පුළුවන. නීතිය ඉටුකරන හා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආයතන රාශියක් ස්ථාපිත වී තිබෙන්නට ද පුළුවන. එහෙත් ඒවා බලය, ධනය, පන්තිය වැනි සාධක ඉදිරියේ නම්‍යශීලීනම් අප කියන යුක්තිය හා සාධාරණත්වය කිසි කලෙක ඉටුවන්නේ නැත. ශ්‍රී ලංකාවේ අප දීර්ඝ කාලයක සිට අත්දැක ඇත්තේ බලය ඉදිරියේ නම්‍යශීලී වන නීතියකි.

රටේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය ගැන පොඩි මිනිසාගේ මතය ප්‍රියජනක නො වී ය. ‘නඩු යන්නෝ වැනසෙන්නෝ’ යන කියමන සමාජය තුළ පවතින්නේ දීර්ඝ කාලයක පටන් ය. නඩු විභාග සඳහා යන කාලයත්, ඒ සඳහා වැයවන ධනයත් දෙස බලා ඒ කියමන ගොතන්නට ඇතැ’යි සිතිය හැකි ය. ‘නඩුත් හාමුදුරුවන්ගේ; බඩුත් හාමුදුරුවන්ගේ’ යැයි තවත් කතාවක් පවතී. මේ කියමන වෙනත් කතාන්දරයක් මූලිකකොට ගොතා ඇත්තේ වුව; නඩුවල ස්වභාවය පිළිබඳ ඉඟියක් එහි අන්තර්ගතය. පොඩි මිනිහාගේ මතය වී තිබුණේ බලය රහිත අයට නීතියෙන් වැඩක් නැත යන්න ය.

ඉහත සඳහන් මහජන මතය වෙනස් වන්නට අදාළ සාධක ඒකරාශී වෙමින් තිබෙන බවක් පෙනෙන්නට තිබේ. අප එසේ කියන්නේ මීට සම්බන්ධ සිද්ධි රැසක් පිළිබඳ අවධානය යොමු කරමින් ය. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අදාළ නඩු විභාගයක තීන්දුව ලබන 23 වන දා දීමට නියමිත ය. චෝදනාව වූයේ අහිංසක තරුණයකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් පහරදීම ය. චුදිතයන් වූයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ආරක්ෂකයන් අට දෙනෙකි. 2015 දෙසැම්බර් මාසයේ වූ මේ සිද්ධිය කෙටි කාලයක් තුළ දී විභාග කිරීම එක අතකින් පුදුම සහගත ය. ආරක්ෂකයන් වරද පිළිගෙන තිබීම තව අතෙකින් පුදුම සහගත ය. දේශපාලනයට සම්බන්ධ තැනැත්තියකට අදාළ සිද්ධියක් යට නොගසා පරීක්ෂණ පැවැත්වීම තවත් අතෙකින් පුදුම සහගතය.

නීතිය සාමාන්‍ය මිනිසාට ද සාධාරණ ලෙස ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට තිබේ. මීට පෙර දේශපාලන යුගය ගතහොත් බලයේ සිටින දේශපාලකයන්ට අදාළ චෝදනා යට ගියේ ය. අපරාධ සිද්ධි යට ගියේ ය. පළාත් සභා, ප්‍රාදේශීය සභා නියෝජිතයන් පවා අපරාධ සිදු කළ අතර ඒවා පිළිබඳ නිසි පරීක්ෂණ සිදු වූයේ නැත. ප්‍රාදේශීය සභාවක සභාපතිවරයෙක් ස්ත්‍රී දූෂණ රැසක් සිදුකොට ඊට අදාළ සැමරුම් උත්සවයක් ද පැවැත්වී ය. නීතිය ප්‍රශ්නයක් වූයේ නැත. ඔහු රටේ පාලනයට සම්බන්ධ ඉහළම බලධාරියකුගේ ගෝලයකු බැවින් සියල්ල යට ගියේ ය. ඇතැම් අපරාධකාරයන් සමඟ දේශපාලකයන්ගේ ඍජු සම්බන්ධතා පැවැතිණි. ඒ අනුව පොලීසිය පවා අපරාධ සම්බන්ධයෙන් සොයා බැලුවේ නැත.

හම්බන්තොට පසුගිය දා පැවැති උද්ඝෝෂණයක දී අපූරු සිද්ධියක් ජනමාධ්‍ය විසින් හෙළිදරව් කරන ලදී. එම සිද්ධිය වූයේ පොලිසියේ ඉහළ නිලධාරියකු උද්ඝෝෂකයකුගේ කන පැළෙන්නට පහර දීම ය. උද්ඝෝෂකයා අත්අඩංගුවට ගත් පසු මේ පහරදීම සිදුකර තිබිණි. නීතියේ හැටියට එය බලවත් වරදකි. නීතිය හරියට ක්‍රියාත්මක විය. පොලිස් නිලධාරියාට ස්ථාන මාරුවක් ලබා දී පරීක්ෂණ ආරම්භ විය. පොලිස් කොමිසම මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය. ඊයේ වන විට පොලිස් කොමිසමේ තීන්දුව වී ඇත්තේ පොලිස් නිලධාරියාට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීම ය. මේ චෝදනා පත්‍රයට පිළිතුරු ලබාදීමෙන් පසු විභාගය තවදුරටත් පැවැත් වේ. පහර කෑ තරුණයාට සාධාරණයක් ඉටුවෙමින් පවතින බව පෙනෙන්නට තිබේ.

ආරක්ෂක අංශවල පුද්ගලයන් රණවිරුවන් ලෙස නම්කොට ඔවුන් රටේ නීතියට ඉහළින් සිටින පුද්ගලයන් ලෙස හඳුන්වන්නට පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ පාලනය යි. ඒ අනුව ඔවුනට නීතිය ඉදිරියේ විශේෂ වරප්‍රසාද හිමිවන තත්ත්වයක් දකින්නට ලැබිණි. මේ අනුව ආරක්ෂක අංශවලට අදාළ පුද්ගලයන්ගේ අපරාධ ක්‍රියා නිසි ලෙස විභාගයට ගැනුණේ නැත. මෙය රටේ නීතිය වල් වැදීමට හේතුවක් විය. රණවිරුවන්ට සම්බන්ධ අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ අද පැවැත්වෙන්නේ වුව ඊට විවිධ බාධා එල්ල වෙයි. ඊට හේතුව එදා පැවැති තත්ත්වය යි. එදා පැවැති බලය හා ආරක්ෂාව අදත් සමහර ආරක්ෂක නිලධාරීහු අපේක්ෂා කරති. නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට නම්; ඉහත සඳහන් ආකල්ප ද වෙනස් විය යුතුය.

නීතිය හා අධිකරණ ක්‍රියාවලිය පමණක් නොව; රටේ දේශපාලනය පවා සදාචාරාත්මක තැනක් වෙත තල්ලුවෙමින් පවතින බවට හොඳ ම සාක්ෂිය නිකුත් වන්නේ බැඳුම්කර සිද්ධිය ඔස්සේ ය. මේ සිද්ධියේ දී රජයේ බලවත් ඇමැතිවරයකුට ඉල්ලා අස්වන්නට සිදුවිය. කොමිසමක් පිහිටුවා බැඳුම්කර සිද්ධිය පරීක්ෂණයට ලක් කර ඇත. එය ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමටද අවකාශ ලබා දී ඇත. රජයට අදාළ වංචා සිද්ධි පරීක්ෂා කිරීම සඳහා රජය විසින් ම කොමිසමක් පත් කිරීම කලාතුරෙකින් සිදුවන දෙයකි. කොමිසම බලපෑමකින් තොරව නිදහසේ ක්‍රියාත්මක වීම දකින්නට ලැබෙන තවත් විශේෂ සිදුවීමකි. මේවායින් පෙනී යන්නේ නීතිය හරිහැටි ක්‍රියාත්මක වන බව මහජනයාට ම තීන්දු කළ හැකි අවස්ථාවක් උදා වී ඇති බව ය.

වත්මන් ආණ්ඩුව පමණක් නොව ජනාධිපතිවරයා පත්කර ගැනීමේ දී පවා ප්‍රධාන සටන් පාඨයක් බවට පත්ව තිබුණේ නීතියේ ආධිපත්‍යය පිහිටුවීමට ක්‍රියා කරනවා යන්න ය. මහින්ද රාජපක්ෂ පාලන සමය යනු නීතිය පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටුණු යුගයකි. නීතිය පාලකයන්ගේ අතෙහි පැවැතුණේ යැයි කියන්නට පුළුවන. අගවිනිසුරු සිද්ධිය ඊට ලබාදිය හැකි කදිම නිදසුන ලෙස දැක්විය හැකි ය. මහජනයා මේවා දෙස කලකිරීමෙන් බලා සිටියා මිස; ඊට එරෙහිව විරෝධතා දක්වන තැනකට ගියේ නැත. මහජනයා එදා ජීවත් වූයේ විවිධ භීතිකා යටතේ යැයි කියන්නට පුළුවන. භීතිකා පවතින සමාජයක් නිදහස් සමාජයක් වන්නේ නැත. සදාචාරවත් සමාජයක් වන්නේ ද නැත.

අද ඕනැම මතවාදයකට රට තුළ ඉඩක් තිබේ. විරෝධතාවලට ඉඩක් තිබේ. ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ ප්‍රසිද්ධියේ විවේචනය කිරීමේ හැකියාව ද තිබේ. බලය, නීතිය හා පාලනය සිදුවන්නේ යුක්තිසහගත ආකාරයකට ය. මේ අනුව පොඩි මිනිසාට ද යුක්තිය වෙනුවෙන් සටන් කිරීමට අවස්ථාව ලැබී ඇත.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...