ඉහළ ධනවතුන්ගේ බදු ක්ෂේමභූමි රහස් හෙළි වේ | දිනමිණ

ඉහළ ධනවතුන්ගේ බදු ක්ෂේමභූමි රහස් හෙළි වේ

බ්‍රිතාන්‍ය රැජිනගේ පෞද්ගලික වතු යාය ඇතුළු ඉතා ධනවත් සහ බලවත් පුද්ගලයන් රහසිගතව විදේශගත බදු ක්‍ෂේමභූමිවල විශාල මුදල් කන්දරාවක් ආයෝජනය කර ඇති අන්දම හෙළි කෙරුණු මූල්‍ය ලිපිලේඛන පිළිබඳ අලුත්ම දැවැන්ත හෙළිදරව්වකින් අනාවරණය වේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ වාණිජ ලේකම්වරයාට එක්සත් ජනපදය විසින් තහංචි පනවා තිබෙන රුසියානුවන් සමග සම්බන්ධතා පවත්වන සමාගමක කොටස් හිමිකාරිත්වයක් තිබෙන බවක් එම ලේඛනවලින් දක්නට ලැබේ.

රුසියානුවන් සමග ගනුදෙනු කරන, ඇමෙරිකාවේ තහංචියට ලක්වී ඇති සමාගමක කොටස් ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ වාණිජ ලේකම්වරයා සතුව ඇති බවක් එම ලිපිවලින් දැක්වේ.

"පැරඩයිස් පේපර්ස්" (Paradise Papers) හෙවත් "පාරාදීස ලිපිගොනු" නමින් හැඳින්වෙන මෙම අලුත්ම අනාවරණය ට ලිපිගොනු මිලියන 13.4 ක් ඇතුළත් වේ. ඒ අතරින් ලිපිගොනු බහුතරය අයත් වන්නේ විදේශගත මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් ක්‍රියාකරන එක් ප්‍රධාන සමාගමකටය.

බීබීසී පැනොරාමා වැඩසටහන එම ලිපිගොනු ගවේෂණය කරන සියයකට ආසන්න මාධ්‍ය කණ්ඩායම්වලින් එකකි.

පසුගිය වසරේ පැනමා ලිපිගොනු හෙළිදරවු කෙරුණු ආකාරයටම මෙම ලිපිගොනු ලබාගත් ජර්මනියේ Süddeutsche Zeitung පුවත්පත, වැඩිදුර ගවේෂණ කටයුතු සඳහා එම ලිපිලේඛන ගවේෂණශීලී මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංසදයට (International Consortium of Investigative Journalists -ICIJ) භාරදුන්නේය. එම ලිපිගොනු පිළිබඳව පරීක්ෂා කරන සියයකට අධික මාධ්‍ය හවුල්කරුවන් අතර ගාඩියන් පුවත්පත ද තිබේ.

ඉරිදා අනාවරණය කරනු ලැබුණේ බදු සහ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් එම දත්තවල නම් කර තිබෙන සිය ගණනක් පුද්ගලයන් සහ සමාගම් සම්බන්ධයෙන් සතියක් පුරා කෙරෙන අනාවරණ අතරින් සුළු කොටසක් පිළිබඳ තොරතුරු පමණි. ඒ අතර ඇතැමුන්ට බ්‍රිතාන්‍යය සමග ප්‍රබල සම්බන්ධතා පවතී.

ආදායම් බදු නිලධාරීන්ගෙන් සිය මුදල් ආරක්ෂා කරගැනීම සඳහා හෝ සිය ගනුදෙනු රහසිගතව සැඟවීම පිණිස දේශපාලනඥයන්, බහු ජාතික සමාගම්, සමාජයේ ජනප්‍රිය චරිත සහ ඉහළ ධනවතුන් භාරකාර මණ්ඩල, පදනම් සහ අක්‍රීය සමාගම් වැනි සංකීර්ණ ක්‍රමවේද යොදාගන්නේ කෙසේද යන්න පිළිබඳව ඒ බොහෝ අනාවරණවල අවධානය යොමු වී තිබේ.

(බී.බී.සිය ඇසුරෙනි)

නව අදහස දක්වන්න