“වැද්දා පිනි” ඇල්ලත් හඬයි! | දිනමිණ

“වැද්දා පිනි” ඇල්ලත් හඬයි!

 මාතලේ - ලග්ගල වැද්දාපිනි ඇල්ලත් හඬයි කියමින් මේ කතාව ආරම්භ කළ හැකි ය. ලග්ගල ඛේදවාචකය ලෙස ද, නාත්තණ්ඩියේ ඛේදවාචකය ලෙස ද එය හඳුන්වති. සිද්ධිය මුළු රට ම දැන් දනිති. එක පැත්තකින් නාත්තණ්ඩිය මළ ගෙයක් වී ඇත. තව පැත්තකින් ලග්ගල මළ ගෙයක් වී ඇත. තවත් පැත්තකින් මුළු රට ම මේ ගැන කම්පා වෙති. පවුල් දෙකක අට දෙනකු එකවර මරණයට පත්වීම එක අතෙකින් පුදුම සහගත ය. මරණයට පත් වූ අය අතරින් හතර දෙනෙක් ම දරුවෝ ය. දරුවන්ගේ අනාගතය ගැන කල්පනා කරන විට; ඔවුන් කෙබඳු බලාපොරොත්තු ඇතිව සිටියේදැ’යි අප දන්නේ නැත. එහෙත් තත්පර කිහිපයකින් සියල්ල අහිමි වී ගොස් තිබේ.

මේ ඛේදවාචකය පසුපස ඇත්තේ නොසැලකිල්ල හා නොදැනුවත්කම යැයි කියන්නට පුළුවන. තමන් හරිහැටි නොදන්නා ජල පහරකට බැස කිමිදෙන පුද්ගලයා වරක් නොව; සිය වාරයක්වත් තමාගේ අවදානම ගැන කල්පනා කළ යුතුය. ඒ හැරත් තමන්ගේ දරුවන් ගැන ඊටත් වඩා කල්පනා කළ යුතුය. වැද්දාපිනි ඇල්ල ළඟ දියට බැස විනෝදවීමට යෝජනා කළ ව්‍යාපාරිකයා තමන්ගේ ක්ෂේත්‍රයේ දක්ෂයකු වන්නට පුළුවන. එහෙත් ඔහු ස්වාභාව ධර්මය ගැන දන්නේ නැත. ලග්ගල ඔය හිටිහැටියේ සැඩ පහර නංවන බව ගම්මු කියති. දියට බසින්නට පෙර ගැමියකුගෙන් මේ ගැන විමසා සිටියේ නම්; ඛේදවාචකයක් නොවන්නට ඉඩ තිබිණි.

ලග්ගල - ඇටන්වල ප්‍රදේශයේ සංචාරය කරන බොහෝ දෙනකු තෙල්ගමුව ඔයට බැස විනෝද ක්‍රීඩාවල යෙදෙන බව කියති. මේ ප්‍රදේශය දේශීය සංචාරකයන් ගහන ප්‍රදේශයක් බව ද කියති. එහෙත් කිසිදු ආයතනයක් තෙල්ගමුව ඔයේ තත්ත්වය දැනුම්වත් කරන්නට ඉදිරිපත් වී නැත. මේ ප්‍රදේශය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් තිබේ. පරිසර සංවිධාන කිහිපයක් ද ප්‍රදේශය ආශ්‍රිතව ක්‍රියාත්මක වෙයි. එහෙත් කිසිවකු මේ ඔය අසල බෝඩ් ලෑල්ලක් එල්ලන්නට සමත් වී නැත. එයද සැලැකිය හැක්කේ නොසැලකිල්ලක් හැටියට ය. විපතක් සිදු වූ පසු හඬා වැටෙන්නට අය සිටිති. විවේචන ඉදිරිපත් කිරීමට අය ද සිටිති. එහෙත් අනතුරක් වළක්වා ගැනීම සඳහා පූර්ව දැනුම්දීමක් කිරීමට කෙනකු නැත.

මේ සිද්ධිය තවදුරටත් විමර්ශනය කරන විට පෙනී යන්නේ පවුල් දෙකෙහි ම අය විනෝදයට හෙවත් “ෆන් එකට” මූලික තැන දී ඇති බව ය. ඔවුන්ගේ සංචාරයේ ප්‍රමුඛ තැන ලබා දී ඇත්තේ තෙල්ගමුව ඔයෙහි දිය නෑමටය. දිය නෑම නරක නැත. දිය කෙළිය අතීතයේ පටන් ම පැවැති විනෝද ක්‍රීඩාවකි. විනෝද වීම ද නරක නැත. ජීවිතයට විනෝදයක් හෙවත් සතුටක් අවශ්‍ය වේ. එහෙත් එම සතුට ලබාගත යුත්තේ ජීවිතය උගසට තබමින් නොවේ. විශේෂයෙන් පවුල්පිටින් විනෝද චාරිකාවල යෙදෙන අය තම දරුවන් ගැන බරපතළ ලෙස කල්පනා කළ යුතුය. මෙහිලා ඒ කිසිවක් සිදු වී නැති බව පෙනී යයි.

මේ සංචාරය සංවිධාන කළ තැනැත්තා ප්‍රකට ව්‍යාපාරිකයකු බව කියති. ඔහු ලග්ගල ප්‍රදේශයේ ම සංචාරක නිවස්නයක් ඉදිකරමින් සිටින බව ද කියති. ඒ අනුව ව්‍යාපාරිකයා ලග්ගල - ඇටන්වල ප්‍රදේශයට ආගන්තුකයකු යැයි කිව නොහැකි ය. ඔහු මේ ඔය ගැනත්, ප්‍රදේශයේ වර්ෂාපතනය ගැනත්; කාලගුණය ගැනත් නොයෙක් කතාන්දර අසා ඇතිවාට සැකයක් නැත. විශේෂයෙන් සංචාරක නිවස්නයක් ඉදිකරන තැනැත්තකු ප්‍රදේශයේ භූගෝලීය පරිසරය ගැන දැනගෙන සිටිය යුතුය. අපගේ වැටහීමට අනුව ව්‍යාපාරිකයා සිය ප්‍රමුඛ තැන ලබා දී ඇත්තේ විනෝදයට පමණි. ඒ නිසා ම බරපතළ ඛේදවාචකයක් සිදු වී ඇත. මේ ඛේදවාචකයට ව්‍යාපාරිකයා ද වගකිව යුතුය. එහෙත් අවාසනාවකට ඔහු ද ජීවතුන් අතර නැත.

පිරිස ඔයට බසින විට දණකට වඩා වතුර නොතිබූ බව ව්‍යාපාරික මහතාගේ බිරිය සාක්ෂි දෙමින් කියා ඇත. එහෙත් එය නිදහසට කාරණයක් නොවේ. එක අතෙකින් මේ දිනවල අධික වර්ෂාපතනයක් පවතී. තව අතෙකින් මධ්‍යම කඳුකර ප්‍රදේශවල ස්වභාවික විපත් වැඩි වී ඇත. මේවා පිළිබඳ වැටහීමක් ඇති කෙනකු ජල පහරේ ඇති අවදානම වටහා ගත යුතුය. ඇතැම් විට කඳු මුදුන්වලට එකවර වර්ෂාව කඩා වැටෙයි. එවිට එකවර විශාල ජලකඳක් ඔයට එක්වෙයි. ඒවා බලාපොරොත්තු විය යුතු දේවල් ය. ඒ හැරත් මේ කිසිවකුට හොඳින් පිහිනීමට පුළුවන්කමක් තිබූ බව ද පෙනෙන්නට නැත. එබඳු අය ජලතටාකවලට බැසීම හැම අතින් ම අවදානම් සහගත ය.

දියේ ගිලීමෙන් සිදුවන මරණ ගැන හද කම්පා කරවන කතා වරින්- වර අසන්නට ලැබේ. සමහරු දිය ඇලිවලට බිලි වෙති. සමහරු සැඩ පහරේ ගසාගෙන යති. තව සමහරු වැව්වල එරෙති. පාසල් දරුවන් ගංගාවල විනෝදවීමට ගොස් මිය යන අවස්ථා එමට ය. පොදුවේ ගත්කල රටේ වැඩි දෙනකුට පිහිනීම නුහුරු ය. රට වටා මුහුදක් ඇතත්; රට අභ්‍යන්තරයෙහි ගංගා - ඇළ - දොල මෙන් ම මහා වැව් ඇතත්; පිහිනීම ප්‍රචලිත නැත. ඇතැම් රටවල පාසල් අධ්‍යාපනයේ අනිවාර්ය අංගයක් ලෙස පිහිනීම පවතී. එම රටවල උපදේශකවරු දරුවනට ඉතා හොඳින් පිහිනීම උගන්වති. දරුවා වැඩිහිටියකු වූ කල අංගසම්පූර්ණ මිනිසකු ලෙස ජීවත්වීමට එමගින් පිටුබලයක් ලැබේ. පිහිනීම ගැන මීට වඩා උනන්දුවක් රට තුළ පවතින්නේ නම්; දියේ ගිලී මිය යන පිරිස අඩුකරගත හැකි ය.

ශ්‍රී ලංකාවට කඩා වැදුණු සුනාමියෙන් විශාල ජීවිත ප්‍රමාණයක් අහිමි වූයේ එය ගැන නොදැන සිටීම නිසා යැයි කියති. එය ඇත්තකි. සුනාමියෙන් වැඩි ම පිරිසක මියගොස් ඇත්තේ එය නැරඹීමට පැමිණි නිසා යැයි පසුව හෙළිදරව් වී ඇත. ජපානය වැනි රටකට කඩා වදින සුනාමියකට බරපතළ විනාශයක් සිදු කළ නොහැකි ය. හේතුව ජනතාව ඒ ගැන දන්නා නිසා ය. අනෙක සුනාමියක දී හැසිරෙන හා ආරක්ෂා වන ආකාරය ජපනුන් පුහුණු වී ඇති බැවිනි. මේ ළඟ දී දිනෙක තෝරාගත් ප්‍රදේශයක දී සුනාමි පෙර පුහුණුවක් පැවැත්වීමට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය කටයුතු ද යෙදීය. එය හොඳ දෙයකි. අනෙකුත් ස්වාභාවික අනතුරු සම්බන්ධයෙන් ද මෙබඳු පුහුණුවීම් සිදු කිරීම වැදගත් ය.

මේ ඛේදවාචකයේ දී ලග්ගල -ඇටන්වල ප්‍රදේශයේ ජනතාව ක්‍රියා කළ අන්දම බෙහෙවින් පැසසිය යුතුය. අනතුර සිදු වූ මොහොතේ සිට ගැමියන් විවිධ අයුරින් සහයෝගය ලබා දී ඇත. අනතුර සිදු වූ අවස්ථාවේ ඒ අසල සිටි ගැමියන් ජීවිත බේරාගැනීම සඳහා බලවත් උත්සාහයක යෙදී ඇති බව ද දැනගන්නට ලැබේ. දිය ඇලි අසල විනෝදවීමට එන පිටස්තරයන්ට ගැමියන් හොඳ ප්‍රතිචාර දක්වන්නේ නැත. එහෙත් මෙහිලා එවැන්නක් සිදු වී නැත. දියේ ගිලී අතුරුදන් වූ අය සෙවීම සඳහා ගැමියන් විශාල මැදිහත්වීමක් සිදුකර තිබේ. එය කෘතඥතා පූර්වකව සිහිපත් කළ යුතුය. කුමක් වුව තෙල්ගමුව ඔයේ ඛේදවාචකය සමාජයට පාඩමක් ලෙස පවතිනු ඇතැ’යි විශ්වාස කළ හැකි ය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...