'චරිත සොයා යන්නේ නැහැ' - ලක්මිණි | දිනමිණ

'චරිත සොයා යන්නේ නැහැ' - ලක්මිණි

ලක්මිණි කරුණාආරච්චි නිතර හමු වනුයේ ආටක නාටක ප්‍රහසනයත් සමඟ. ටෙලි නාට්‍යවල මෙන්ම චිත්‍රපටවලත් ඇගේ රංගනයන් අපිට නිතර දැකගන්නත් පුළුවන්. රංගනයට වගේම ගායනයටත් එක සේ දස්කම් පෙන්වන ඈ හඬකැවීම් ශිල්පිණියක් ලෙසත් මේ වන විට කටයුතු කරන්න පටන් අරන්. රංගනයෙන්, ගායනයෙන් ප්‍රෙ‍්‍ර්ක්ෂකයන් අතරට එක්ව සිටින ලක්මිණි තම කලා ක්ෂේත්‍රයේ තොරතුරුත් රැගෙන සරසවිය හා කතාබහට එක් වුණා.

* කලාවට එන්න ඔබට පසුබිම සැකසුණේ කොහොමද?

2015 දී විතර මම රැකියාව සඳහා කොළඹට ආවා. ඒ ටෙලිකොම් ආයතනයේ රැකියාවක් වෙනුවෙන්. ඒ ඇවිත් නැවතුණේ මොරටුවේ ටෙනිසන් කුරේ මහත්තයාගේ ගෙවල් ලඟ ගෙදරක. ඔය අතරේ ටෙනිසන් කුරේ මහත්තයා මාව දැකලා මගෙන් ඇහුවා රඟපාන්න කැමති ද කියලා. මුලින් මුලින් මමත් අදිමදි කළා. එත් ගෙදරින් මට බල කළා රඟපාන්න යන්න කියලා. ඒ නිසාම මම රඟපාන්න යන්න කැමැති වුණා. ඒ අනුව මම ටෙනිසන් කුරේ මහත්මයා සමඟ මුලින්ම එයා තමයි මෙයා චිත්‍රපටයේ රඟපෑවා.

* 'එයා තමයි මෙයා' රඟපෑමත් සමඟ තවත් චිත්‍රපට වෙනුවෙන් ආරාධනා ලැබුණද?

ඔව්. රාජ් රණසිංහගේ චූටික්කී, වි. සිවදාසන්ගේ පාටත් නැති ආදරයක්, සේනක නවරත්නගේ ජොබ්ලස් ඩග්ලස්, සුදේශ් වසන්ත පීරිස්ගේ නැති බැරි ටාසන් ආදී චිත්‍රපට කීපයකම රඟපාන්න ලැබුණා.

* වෘත්තීයෙන් නිළියක් වෙන්නද ලක්මිණි කැමැති?

නෑ මම රඟපානවට ගෙදර අයත් හරිම කැමැතියි. එයාලා තමයි මාව උනන්දු කරන්නේ. රඟපෑම මම කරන්නේ මගේ විනෝදාංශයක් ලෙසයි.

* අද වෙන කොට ඔබ ටෙලි නාට්‍ය රංගන ශිල්පිණියක් වෙලා?

ආටක නාටක රඟපෑමත් සමඟ මට ටෙලි නාට්‍ය කීපයකම රඟපෑමේ අවස්ථාව හිමි වුණා. ආටක නාටක ආරම්භයේ ඉඳලම අදටත් මම එහි රඟපානවා. ඊට අමතරව කලු කුරුල්ලෝ, මොනර කිරිල්ලී, මෝදර වැල්ල, දෙව්ලිය, සඳමලී ආදී ටෙලි නාට්‍ය බොහොමයක රඟපෑවා.

* රංගනයට පෙරාතුව ඔබ මෝස්තර නිරූපිකාවක්?

මුලදී මම මෝස්තර නිරූපිකාවක් විදියට කටයුතු කළා. රැකිියාව නිසාවෙන් මම එයින් අයින් වුණා. මගේ ඇඟේ තියෙන ෂේප් එකත් උසත් නිසාවෙන් මට මෝස්තර නිිරූපණ සඳහා අදටත් ඇරැයුම් වලින් අඩුවක් නෑ. ඒත් මම දැන් ඒ සඳහා යොමු වෙනවා අඩුයි. පසුගිය සතියේ ඒ වගේ ලැබුණු විශේෂ ආරාධනයකට මම චීනයට ගියා සතියකට පැෂන් ෂෝ එකකට.

* ඔබ රැකියාවක නිරතව ඉන්න අතරේයි රඟපෑමේ නියැලෙන්නේ?

දැන් මම වරායට සම්බන්ධ අනුබද්ධ ආයතනයක ගිනුම් ලිපිකාරිනියක් ලෙස රැකියාව කරනවා.

* රංගන කටයුතුවලට ආයතනයෙන් මොන වගේ සහයක් ද ලැබෙන්නේ?

ඒ වෙනුවෙන් පාලක මණ්ඩලය මට සහයක් ලබා දෙනවා. රාජකාරියට බාධාවක් නොවන්න මම රඟපෑමත් කරගෙන යනවා.

* ඔබේ රංගනය එක් වූ ටෙලි නාට්‍ය, චිත්‍රපට එහෙම එන්නත් ඇති?

අර්ජුන් කමලනාත්ගේ සඳමලී ටෙලි නාට්‍යය එන්න තියෙනවා. ඊට අමරව නැති බැරි ටාසන්, පාටක් නැති ආදරයක් චිත්‍රපට දෙක තිරගත වෙන්නත් තියෙනවා.

* චිත්‍රපට, ටෙලි නාට්‍ය සඳහා ආරාධනා ලැබිලත් ඇති නේද?

ආරාධනා ලැබුණත් මගේ රැකියාවට බාධාවක් නොවන්න තමයි මම ආරාධනා බාර ගන්නේ. දැනට ඒ වගේ චිත්‍රපට දෙකක් සඳහා ආරාධනා ලැබිලා මම භාර අරන් තියෙනවා. එරංග සේනාරත්නගේ නවතම චිත්‍රපටයත් හා කුසුම් චන්ද්‍ර ගමගේ චිත්‍රපටයත්. මෙහි ප්‍රධාන චරිතය සඳහා තමයි මම සම්බන්ධ වෙලා ඉන්නේ. ඊට අමතරව දයාරත්න රටගෙදරගේ කැලෑහඳ ටෙලි නාට්‍ය සඳහාත් මම සම්බන්ධ වෙලා ඉන්නවා.

* ලක්මිණි රංගන ශිල්පිණියක් වගේම ගායිකාවක්?

අහම්බෙන් තමයි මම ගායිකාවක් වුණේ. රඟපාන්න ගිය අවස්ථාවලදී ලැබෙන විවේකයේදී කවුරුත් විනෝදය සඳහා සිංදු කියනවා. ඒ අවස්ථාවලදී මටත් ආරාධනා ලැබුණා. මමත් ගායනා කිරීම් කළා. ක්ෂේත්‍රයේ අයගෙන්ම මට අදහසක් දුන්නා හොඳ හඬක් තියෙනවා සිංදුවක් කරන්න කියලා. ඒ ඉල්ලීම නිසාම මම සිංදුවක් කළා ආදරයයි . . . කියලා. සඳරුවන් ජයසේන සංගීතවත් කළා. උදය රුවන් හේරත් රචනා කළා. මම රංගනයෙන් ගායනයෙන් දායක වුණා.

* ඔබ සංගීතය හදාරලා තිබුණාද?

පාසලේ සංගීතය විෂයයක් විදියට කළා. ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ හඬට හා මායා දමයන්ති මහත්මියගේ හඬටත් සමාන අයුරින් ගීත ගායනා කිරීමේ හැකියාවක් මට තියෙන නිසාවෙන් මම වැඩිපුර ඒ දෙදෙනාගේ ගීත තමයි නිතර ගායනා කළේ.

* කොහොමද ඔබේ ගීතය රස විඳින්න පුළුවන්?

යූ ටියුබ් එකේ මගේ නම ගැහුවම සිංදුව අහන්න පුළුවන්. මම හිතුවෙ නැති විදියට සිංදුව ජනප්‍රිය වුණා. මේ වෙන කොට සැනට් දික්කුඹුර මහත්තයා මට අලුත් ගීතයක් ලියලා දීලත් තියෙනවා. ළඟදීම ඒකත් මම පටිගත කරනවා.

* ලක්මිණි වේදිකා නාට්‍ය ශිල්පිණියක් වෙන්න කැමැති නැද්ද?

අද වෙනතෙක් වේදිකාවේ රඟපාලා නෑ. වේදිකා නාට්‍ය ශිල්පිණියක් වන්න මගේ ආශාවක් නෑ. ආරාධනා ලැබුණොත් ඒ සඳහා ලොකු කැප කිරීමක් කරන්න වෙනවා. මගේ රැකියාව නිසාවෙන් එවැනි කැප කිරීමක් කරන්න අපහසුයි.

* ඔබ කොලොම්පුරයට නවකයෙක්?

මගේ ගම බණ්ඩාරවෙල. පාසල් ගියේ බණ්ඩාරවෙල කුඩා කුසුම් බාලිකා මහා විද්‍යාලයට. රැකියාවේ පහසුව තකා මම කොළඹ අවටින් ගෙයක් හදනවා. මින් ඉදිරියට මගේ ස්ථිර පදිංචිය කොළඹ වෙයි.

* හඬ කැවීම් ශිල්පිණියක් ලෙසත් ඔබ කලා නිර්මාණ වෙනුවෙන් දායක වෙනවා?

ජෝදා අක්බාර් කතා මාලාවේ අක්බාර්ගේ අක්කාට හඬ මුසු කරන්නේ මම. ඩබින් ශිල්පිණියක් ලෙසත් මම අද කලා නිර්මාණ වෙනුවෙන් දායක වෙනවා.

* ච් ඍ ච් චිත්‍රපටයකටත් ඔබ රංගනයෙන් එක් වුණා?

නිශාන්ත ගමගේ නිර්මාණය කළ චෙරියෝ සුන්දරී ඩී. වි. ඩී. එකේ මම රඟපෑවා. ඒකෙන් පස්සේ මම ගොඩක් ජනප්‍රිය වුණා. එහි රංගනයත් සමඟ බොහෝ අය මට කතා කරන්න ගත්තේ මගේ සැබෑ නමින් නෙවෙයි, සුන්දරී කියලයි.

* ඉතා කෙටි කාලයක් තුළ මෙතරම් නිර්මාණ රැසකට දායකවීමේ රහස මොකක්ද?

මම හිතන්නේ මගේ දක්ෂකමට මට ලැබෙන දෙයක්. මට දෙන චරිතය මම හොඳට කරනවා. ලැබෙන ආරාධනා තෝරාගෙන බාර ගන්නවා. නිර්මාණ හොයාගෙන යන පුරුද්දක් මට නෑ.

* රඟපෑ චරිත අතරින් ප්‍රේක්ෂකයෝ වඩාත් කතාබස් කළේ?

මෝදර වැල්ලේ නර්ස් නෝනාගේ චරිතය මිනිස්සු අතරට ගියා කියලා මම හිතනවා.

* කරපු නිර්මාණ අතර ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන ඔබ බලාපොරොත්තුව සිටින්නේ?

නැති බැරි ටාසන් චිත්‍රපටයේ රංගනයත් සඳමාලි ටෙලි නාට්‍යයේ රංගනයත් ගැන මගේ බලාපොරොත්තුවක් තියෙනවා.

* ඔබේ රංගන ජීවිතය ගැන ආපසු හැරිලා බලන කොට මොකද හිතෙන්නේ?

බොහොම සුන්දරයි. හරිම නිදහස්. යම් දෙයක් කලාවට කළා කියලා හිතේ පොඩි ආඩම්බරයකුත් තියෙනවා.

* රංගනයට ඔතරම් ඔබව දිරිමත් කරන පවුලේ තොරතුරු කොහොමද?

මගේ පියා කේ. ඒ. රත්නපාල අද ජීවතුන් අතර නැහැ. තාත්තා යුක්තියට වැඩ, දෙමෝදර පාලම චිත්‍රපට දෙකේ රඟපාලත් තිබුණා. අම්මා ඉන්ද්‍රාණි. අයියා මංජුල, මනෝජ්, සාලින්ද කියලා මල්ලිලා දෙන්නෙක් වගේම ශෂිකලා කියලා නංගියෙකුත් මට ඉන්නවා.

* ඔබේ රංගනයන්ට ආශා කරන ප්‍රේක්ෂකයන්ට, ඔබේ ගායනයන්ට ආශා කරන ශ්‍රාවකයන්ට, ඔබට සුබපතන්න කතා කරන්න දුරකථන අංකයත් සඳහන් කළොත්?

0774015851 අංකයට මට කතා කළොත් කාට කාටත් ලක්මිණි කරුණාආරච්චිට කතා කරන්න හැකි වෙයි.

 

නව අදහස දක්වන්න