බෞද්ධ සමුළුව | දිනමිණ

බෞද්ධ සමුළුව

 හත්වන ලෝක බෞද්ධ සමුළුව මේ දිනවල ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙයි. එහි තේමාව වී ඇත්තේ ලෝක සාමය හා බුදු දහම යන්න ය. මහාද්වීප පහක රටවල් හතළිස් හතක නියෝජිතයෝ ඊට සහභාගි වී සිටිති. 1998 දී ආරම්භ වූ ලෝක බෞද්ධ සමුළුවෙහි අරමුණ බෞද්ධ දර්ශනය ආරක්ෂා කරමින්; එය ලොව පුරා ව්‍යාප්ත කරමින් ලෝක ගැටුම් සමනය කිරීම සඳහා බෞද්ධ දර්ශනය යොදා ගැනීම යැයි කිව හැකි ය. ඒ අනුව මෙවර සමුළුව සඳහා තෝරාගෙන ඇත්තේ ලෝකයට අතිශයින් ම ගැළපෙන මාතෘකාව බව පෙනී යයි. ලෝකය අද ඉල්ලා සිටින්නේ සාමය හා සහජීවනය යි.

සමුළුවේ ප්‍රධාන දේශනයක් පැවැත් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ ලෝකයේ ගැටුම් නිරාකරණය සඳහා හොඳ ම උපදේශනය බුදුදහමින් ලබාගත හැකි බව ය. කිසිදු බෞද්ධ ඉගැන්වීමක් මඟින් ගැටුම් නිර්මාණය කරන්නේ නැත. සාමය, සමාදානය, කරුණාව, මෛත්‍රීය බුදුදහමෙහි ඇවතුම් - පැවතුම් අතර පවතී. එහි ගැඹුරු ඉගැන්වීම්වල ඇත්තේ තමා තුළ පවතින ගැටුම පළමුව විසඳාගත යුතු බව ය. මෙහිදී චින්තනය වැදගත් ය. සිතීමේ හා විමසීමේ නිදහසට බෞද්ධ දර්ශනය මූලික තැනක් ලබා දෙයි. පුද්ගලයා විවිධ බැඳීම්වලින් නිදහස් වන විට ගැටුම්වලට ඇති අවකාශ අහෝසි වී යයි.

සමුළුවේ තවත් ප්‍රධාන දේශනයක් පැවැත්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ බුදුදහම යනු සෑම ආගමකට ම සමතැන ලබා දෙන දර්ශනයක් බව ය. බුදුදහම සංවාදයට හා නිදහස් චින්තනයට අවස්ථාව සලසන ප්‍රජාතන්ත්‍රවාදී දර්ශනයකි. අශෝක අධිරාජයා එම ආගම ලොව පුරා ප්‍රචලිත කිරීම සඳහා ගෙන ඇති පියවර ගැන ද අගමැතිවරයා සිහිපත් කළේය. ශ්‍රී ලංකාවට දායාදයක් ලෙස බුදුදහම ලැබෙන්නේ ද අශෝක අධිරාජයාගේ මෙහෙයැවීම මත ය. අතීතයේ ශ්‍රී ලංකාවේ ආගමික උත්සවවලට ග්‍රීසියෙන් පවා නියෝජිතයන් පැමිණ ඇති බව ද රනිල් වික්‍රමසිංහ මහතා සිහිපත් කළේ ය. අපේ බෞද්ධ උරුමය පිළිබඳ හැඟීමක් ඒ මඟින් ඇති වේ.

බුදුදහම නූතන ලෝකයට කෙතරම් ප්‍රායෝගික ද යන්න පඬිවරුන් කිහිප දෙනකුගේ අදහස්වලින් සනාථ කර ගත හැකි ය. ආතර් සී. ක්ලාක් මහතා ලෝකය පිළිගත් පඬිවරයෙකි. ඔහු වරක් සඳහන් කළේ 2050 වන විට ලෝකයේ ප්‍රමුඛ දර්ශනය බවට බුදු දහම පත්වන බව ය. එය සනාථ කරමින් යුරෝපය දැන් බුදු දහම ගැන උනන්දු වෙයි. මහාචාර්ය රිස් ඩේවිඩ්සන් මහතා ලෝකය පිළිගත් තවත් උගතෙකි. ඔහු වරක් කියා සිටියේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය හා චතුරාර්ය සත්‍යය අභිබවා යන කිසිදු දර්ශනයක් හා න්‍යායයක් තමන් කිසි විටෙක දැක නැති බව ය. ආචාර්ය අම්බෙඩ්කාර් වරක් කියා සිටියේ ඔබ නියම බෞද්ධයකු වීම පමණක් ප්‍රමාණවත් නැති බව ය. එය ලොව පුරා ප්‍රචලිත කිරීම බෞද්ධයාගේ යුතුකම බව ඒ මහතා පෙන්වා දෙයි.

නූතන ලෝකය දෙස බලන විට පෙනී යන සත්‍යය කුමක් ද? මිනිසා භෞතික වශයෙන් බොහෝ දියුණු වී ඇත. තාක්ෂණය ඉතා දියුණු ය. බොත්තමක් එබූ පමණින් ලෝකය සමඟ ගනුදෙනු කිරීමේ හැකියාව අපට ලැබෙයි. අද මේ මොහොතේ ශ්‍රී ලංකාවේ කොළඹ සිටින තැනැත්තෙකු තවත් පැයකින් ඉන්දියාවේ චෙන්නායි නුවර සම්මන්ත්‍රණයක පෙනී සිටින්නට පුළුවන. ඒ හැරෙන්නට ග්‍රහ - තරු පවා නිරීක්ෂණය කරන්නට මිනිසා සමත්ව සිටී. සූර්යයාගේ සමීපයට යා හැකි රොකට්ටුවක් නිෂ්පාදනය වී ඇත. මිනිස් අවයව බද්ධ කර ජීවත්වීම පහසු කරන තැනට සෞඛ්‍ය සේවය සංවර්ධනය වී ඇත. සියල්ල මෙසේ පවතින’මුත් පුද්ගලයාගේ අධ්‍යාත්මය දශමයකින් ඉදිරියට ගොස් නැත. ඇතැම් රටවල ජනතාවගේ සිතුම් - පැතුම් - චර්යාවන් ගෝත්‍ර සමාජයේ පැවතුම්වලට සමාන ය.

අප්‍රිකානු මහාද්වීපය දෙස බලන විට දේශපාලන ගැටුම්වල නිමාවක් නැත. දුප්පත්කම, සූරාකෑම, ගෝත්‍රවාද ඉතා තදින් පවතී. මේ අනුව නිර්මාණය වී ඇත්තේ නිමක් නැති ගැටුම් ය. කෙන්යාවේ පැවැති ජනාධිපතිවරණය අසාර්ථක ය. කොංගෝ රාජ්‍යයෙහි හාමතේ මිය යන්නන්ගේ ගණන ඉහළ ගොස් තිබේ. යුරෝපයට ගියහොත් වෙනම රාජ්‍යයන් බිහිකර ගැනීමේ ප්‍රවණතාව ඉස්මතු වෙයි. ස්පාඤ්ඤයේ කැටලෝනියානු ගැටුම උග්‍රවෙමින් පවතී. මේ අතර ආසියාවේ කුර්දි ගැටලුව යළිත් කරලියට පැමිණ තිබේ. සිරියාව තව ම උණුසුම් ය. ඉරාකයේ බොහෝ ප්‍රදේශ පවතින්නේ අරාජික තත්ත්වයේ ය. ලෝකයේ ප්‍රදේශ කිහිපයක් හැරෙන්නට අනෙක් සෑම තැනක ම අඩුවක් නැතිව ගැටුම් පවතී. ජාතිය, ආගම, දේශපාලනය, ප්‍රාදේශික වාද මේවාට මුල් වී ඇත.

ඉතා සරල නිදසුනක් ගතහොත් ආත්මාර්ථය නිසා බොහෝ සමාජ ගැටලු මතුවන බව කව්රුත් දනිති. ආත්මාර්ථය යනු සියල්ල තමාගේය යන අර්ථයෙන් කටයුතු කිරීම ය. නූතන මිනිසා පුද්ගල මනෝභාව සහිතව කටයුතු කරනු විනා පොදු මනෝභාව ගැන සැලකිල්ල දක්වන්නේ නැත. එය ගැටුම් ඇතිවීමට මූලික හේතුවකි. බෞද්ධ ඉගැන්වීමට අනුව අත්හැරීම ප්‍රධාන වෙයි. ‍මම හා මගේය යන හැඟීම් අහෝසි වනතුරු බෞද්ධ දර්ශනයෙන් ඉදිරියට යා නො හැකි ය. නියම බෞද්ධයා අල්පේච්ඡතාව ප්‍රිය කරයි. අල්පේච්ඡතාව නූතන ආර්ථික විද්‍යාවේ ද ඉගැන්වීමක් බවට පත්ව තිබේ. සියල්ල තමන් සන්තක කර ගැනීමට යෑමෙන් ද අනෙකා නොසලකා හැරීමෙන් ද ගැටුම් උත්සන්න වෙයි. එහෙත් ලෝකය දෙස බලන විට පෙනී යන්නේ සිදුවන්නේ ද එය ම බව ය.

බුදුදහම යනු ප්‍රායෝගික දර්ශනයකි. මෙලොව වශයෙන් සාර්ථක ජීවිතයක් ගතකරන අයුරුද අධ්‍යාත්මික ජීවිතය පෝෂණය කර ගත හැකි අයුරු ද ඉන් පැහැදිලි කරයි. විශේෂයෙන් රාජ්‍ය පාලනයට අවශ්‍ය උපදේශන බුදුදහමෙහි පවතී. පාලකයා ධාර්මික විය යුතුය යන්න එහි පළමු උපදේශනය වෙයි. දීර්ඝ හා සුවපහසු ජීවිතයක් අපේක්ෂා කරන තැනැත්තා ධර්මය ආරක්ෂා කළ යුතු බව බුදුදහම පෙන්වා දෙයි. ධර්මය ආරක්ෂා කරන පාලකයා වංචා - දූෂණ සිදුකරන්නේ නැත. ජනතාව අසරණභාවයට පත් කරන්නේ නැත. ජනතාවට බොරු කරන්නේ ද නැත. සමානාත්මතාව හා සහජීවනය එබඳු පාලකයන්ගේ ධාර්මික සටන් පාඨය බවට පත්වනු ඇත.

බුදු දහමේ හරය ලෝකය පුරා ශක්තිමත් ලෙස ස්ථාපිත කළ හැකි නම්; ලොව පවතින ගැටුම් බොහොමයක් නිරාකරණය කර ගත හැකි බව බොහෝ දෙනා වටහාගෙන සිටිති. එය වැදගත් ය. හත්වන ලෝක බෞද්ධ සමුළුවෙන් ද, එහි තේමා පාඨයෙන් ද පෙනී යන්නේ එහි තවත් සාර්ථක පියවරකි. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...