ස.තො.ස. සමඟ සුපිරි සල් | දිනමිණ

ස.තො.ස. සමඟ සුපිරි සල්

නිදහස් වෙළෙඳ පොළ තුළ භාණ්ඩයක මිල තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම අනුව ය. මෙය මිල න්‍යාය ලෙස ආර්ථික විද්‍යාවේ දී හැඳින් වේ. සැපයුම අධික වී ඉල්ලුම අඩු වූ විට මිල පහත වැටෙයි. සැපයුම අඩු වී ඉල්ලුම අධික වූ විට මිල ඉහළ යයි. බැලූ බැල්මට නම්; මෙය ඉතා සරල ය. එහෙත් ප්‍රායෝගික තලයේ දී මෙය ක්‍රියාත්මක වන්නේ ඊට වඩා සංකීර්ණ විලාසයකට ය. නිදසුනක් ගතහොත්; කෘත්‍රීම හිඟයක් මවාපාන වෙළෙන්දෝ ඒ ඔස්සේ භාණ්ඩ මිල ඉහළ දමති. මෙබඳු අවස්ථාවල රජය මැදිහත් වී භාණ්ඩ සුලබ කිරීමට පියවර ගනී. මේ තත්ත්වය අපේ වෙළෙදපොළ දෙස බලනවිට හොඳින් වටහාගත හැකිය.

පසුගිය මාස කිහිපය තුළ සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියේ ය. එක එක කඩ හිමියා එක එක මිල ගණන්වලට සහල් අලෙවි කරන්නට පටන් ගත්තේ ය. රජය වහා මැදිහත් වී ලංකා සතොස මාර්ගයෙන් සහල් අලෙවි කරන්නට පටන් ගත්තේ සාධාරණ මිලකට ය. ඒ හැරෙන්නට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දහයක මිල පහත හෙළන්නට ද රජය ක්‍රියා කළේ ය. මෙහි සාර්ථක ප්‍රතිඵල දැන් දැකගන්නට ලැබේ. සුපිරි වෙළෙඳසල් ද ලංකා සතොස අලෙවි කරන මිලටම සහල් අලෙවි කිරීමට තීන්දුකර තිබේ. ඒ අනුව සුදු කැකුළු කිලෝවක් රුපියල් 64 කි. නාඩු කිලෝවක් රුපියල් 74 කි. පොන්නි සම්බා කිලෝවක් රුපියල් 78 කි.

ආණ්ඩුව සහල් පිළිබඳ ප්‍රශ්නයේ දී ඉතා වැදගත් පියවර දෙකක් ගත්තේ ය. ඉන් පළමුවන්න නම්; සහල් හිඟය නැති කිරීම සඳහා පිටරටින් සහල් ආනයනය කිරීම ය. දෙවන්න නම්; ලංකා සතොස ඔස්සේ අඩු මිලට සහල් අලෙවි කිරීම ය. මේ පියවර දෙක නොගත්තේ නම්; පෞද්ගලික වෙළෙඳුන් තව දුරටත් සහල් මිල ඉහළ දමනු ඇත. අද සිදු වී ඇත්තේ එහි අනෙක් පැත්ත ය. එනම්; සුපිරි වෙළෙඳසල් ද අඩු මිලට සහල් අලෙවි කිරීම ය. රජය ජීවන වියදම් පාලනය කිරීම සඳහා කමිටුවක් පත්කර ඇත. මේ කමිටුව විසින් ගනු ලැබූ බොහෝ පියවර සාර්ථක බව කිව යුතු ය. මේ තීන්දු නිසා පාරිභෝගිකයාට සාධාරණය ඉටු වී ඇති බව පෙනෙයි.

පාරිභෝගික භාණ්ඩ සම්බන්ධයෙන් වන බොහොමයක් ගැටලු විසඳා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ ලංකා සතොස ආයතනය තවදුරටත් ක්‍රියාත්මක වන බැවින් ය. මේ ආයතනය ගැන විවිධ විවේචන පවතින්නේ වුව අවසන් ලෙස පාරිභෝගිකයාට සාධාරණය ඉටුකිරීම සඳහා ක්‍රියාත්මක වන්නේ මේ ආයතනය පමණි. අද වනවිට සතොස ආයතනයේ ක්‍රියාකාරිත්වය පැසසිය යුතු මට්ටමක පවතී. ලක්සල , සතොස, සීනි කම්හල මීට කදිම නිදසුනකි. එය පසුගිය කාලය පුරාවට ක්‍රියාත්මක වූයේ පාඩු ලබන ආයතනයක් හැටියට ය. වාර්ෂික පාඩුව රුපියල් මිලියන 100ක් බව කියති. එහෙත් අද වන විට එය ලාභ ලබන තත්ත්වයක පවතින බව කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා කියා සිටී.

දේශපාලන විවේචන දෙස බලනවිට වැඩියෙන්ම සංවාදයට ලක්වන්නේ ජීවන වියදම යැයි කියන්නට පුළුවන. ඇතැම් දේශපාලකයෝ ප්‍රසිද්ධ වේදිකාවට නැඟ පොල් බෑ දෙකක් පෙන්වා එක බෑයක් පනහයි යැයි කියති. සහල් මිල ඉහළ යෑම ගැන පාර්ලිමේන්තුව තුළ උණුසුම් සංවාද ඇති විය. මේ විවේචන අසාධාරණ යැයි කියන්නට බැරි ය. ජීවන වියදම ජනතාවගේ මූලික ප්‍රශ්නයකි. ඊට රජය මැදිහත් වී විසැඳුම් සෙවිය යුතුය. වත්මන් ආණ්ඩුව බලයට පත් වූ දා සිටම ජනතාවගේ ජීවන වියදම සම්බන්ධයෙන් සලකා බලා වැදගත් ප්‍රායෝගික පියවර ගෙන තිබේ. තෙල්මිල පහත හෙළීම, රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම, ලංකා සතොස ආයතනය පණ ගැන්වීම එම පියවර අතර ප්‍රධාන තැනක් ගනී.

පාරිභෝගික භාණ්ඩවල මිල සම්බන්ධයෙන් කරුණු ගවේෂණය කරන විට; අලුත් නීති-රීති ද අවශ්‍ය බව පෙනී යයි. කෙනකු කිසියම් භාණ්ඩයක් අලුත් දවටනයක ඔතා ලේබලයක් ද සහිත ව වෙළෙදපොළට නිකුත් කරන විට ඔහුට ඒ සඳහා වැඩි මුදලක් අය කර ගැනීමේ අවස්ථාව තිබේ. මේ අයුරින් පාරිභෝගික භාණ්ඩ විශාල ප්‍රමාණයක් විවිධ නම්වලින් අලංකාර දවටන සහිතව අලෙවියට තබා ඇත. ඒවායෙහි මිල ගණන් විවිධ ය. පාරිභෝගිකයා ආකර්ෂණීය භාණ්ඩවලට හා දවටනවලට රැවටෙන බැවින් ද ප්‍රචාරණයට වශී වෙන බැවින් ද අමාරුවේ වැටෙයි. අලංකාර දවටනවලට සීමාසහිත අයකිරීමක් ගැනීමට ඉඩ සැලසෙන ලෙස නීති සකස් කිරීම වැදගත් ය. එසේ නොවුණහොත් පාරිභෝගිකයා සූරාකෑම තවදුරටත් සිදුවනු ඇත.

සුපිරි වෙළෙඳසල් හිමියන් සතොස මිලට ම සහල් අලෙවි කිරීමට පියවර ගැනීම යහපත් දෙයකි. මස් රාත්තලම ඉල්ලන ෂයිලොක් න්‍යාය ක්‍රියාත්මක කරන වෙළෙඳුන් තවදුරටත් සිටින්නට පුළුවන. එහෙත් ලක් සතොස මෙන්ම සුපිරි වෙළෙඳසල් ද නියමිත මිල ගණන්වලට සහල් අලෙවි කරන විට ෂයි‍ලොක්ලා පරාජයට පත් වනු ඇත. සතොස ආයතනයට හා සුපිරි වෙළෙඳසල්වලට එකට එකතු වී ක්‍රියා කළ හැකි බව මෙයින් පෙනී යයි. අමාත්‍යවරයාට ඒ සඳහා සහයෝගයක් ද ලබා දිය හැකි ය. භාණ්ඩවල මිල තීරණය කිරීමට පෙර සුපිරි වෙළෙඳසල් හිමියන් සමඟ ද සාකච්ඡා කිරීම වැදගත් ය. ඔවුන් හුදෙකලා ව්‍යාපාරිකයන් බවට පත් කිරීම හොඳ දෙයක් නොවේ.

බටහිර දියුණු රටවල් බොහොමයක පුද්ගලයාගේ ආදායම සමඟ සසඳන විට ජීවන වියදම සහනදායී තත්ත්වයක පවතී. එම රටවල මිල පාලනයට රජය මැදිහත් වන්නේ කලාතුරෙකින් ය. එහෙත් වෙළෙඳ පොළ ක්‍රියාවලිය හොඳින් සිදුවෙයි. එම රටවල භාණ්ඩ සුලබ ය. ඊට හේතුව නිෂ්පාදනය හා ප්‍රවාහනය හොඳ මට්ටමක පැවතීම ය. අපේ රටේ නිෂ්පාදනය මෙන්ම ප්‍රවාහනය ද දුර්වල ය. සහල් නිෂ්පාදනය ද අඩුවෙමින් පවතී. පොල් නිෂ්පාදනය ශීඝ්‍රයෙන් පහළ වැටෙන්නට පටන්ගෙන තිබේ. මේවා සම්බන්ධනේ වැදගත් තීන්දු ගැනීමේ කාලය පැමිණ ඇතැ’යි කිව යුතුය. ජීවන වියදම් ප්‍රශ්නයට ස්ථාවර විසැඳුමක් ලැබෙන්නේ එවිට ය.

සහල් මිල සම්බන්ධ ගැටලුවට සාර්ථක විසඳුමක් ලැබී ඇතැ’යි සතුටු වන්නට පුළුවන. මෙය ස්ථාවර ලෙස පවත්වාගැනීම ඊළඟ අභියෝගය යි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...