මා ජය­ග්‍රා­හ­ක­යකු කළේ කැප­වීම හා දිරි­යයි | දිනමිණ

මා ජය­ග්‍රා­හ­ක­යකු කළේ කැප­වීම හා දිරි­යයි

ජයසිරි මුණසිංහ

සාර්ථක ව්‍යාපාරිකයෙකු වෙනවා යැයි සිතේ උපන් හැඟීම ජයගන්නා තෙක් අඛණ්ඩව පැවැති කැපවීමත්, අප්‍රතිහත ධෛර්යයත් තමා ජයග්‍රාහකයෙකු කළේ යැයි බස්නාහිර පළාත් කෘෂිකර්ම අංශයේ (ක්ෂුද්‍ර) හොඳම ව්‍යවසායකයා සම්මානය දිනූ සැන්ඩ්‍රියානා ප්ලාන්ටේෂන් හිමිකරු සමන්සිරි සේනාමන්තිල මහතා ප්‍රකාශ කරයි.

කෘෂි අංශයේ ක්ෂුද්‍ර ව්‍යවසායකයෙකු ලෙස විසිතුරු මල්පැළ පිටරට යැවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කොට ඉතා කෙටි කාලයකින් බස්නාහිර පළාතේ හොඳම ව්‍යවසායකයා වීමට තරම් භාග්‍යවන්ත වූ සමන්සිරි සේනාමන්තිල මහතාගේ කථාව ‍නව ව්‍යවසායක පරපුරට ආදර්ශයක් සපයන්නකි.

සමන්සිරි සේනාමන්තිල දිරිමත් ව්‍යවසායකයා බිහි වන්නේ, බස්නාහිර පළාතෙනි. ඔහු වැනි බස්නාහිර පළාතේ ව්‍යවසායකයින් වෙනුවෙන් ශ්‍රීලංකා ජාතික වාණිජ මණ්ඩලය හා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සම්මාන ප්‍රදාන කිරීමේ උළෙලක් සංවිධානය කළහ. එය අති උත්කර්ෂවත් අන්දමින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඉකුත්දා කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදුර්දීන් රාජ්‍ය ඇමැති චම්පිකා ප්‍රේමදාස යන මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. කර්මාන්ත නිෂ්පාදන, කෘෂිකර්මය, පශු සම්පත් සහ ධීවර, සේවා , හෝටල්, සංචාරක හා වෙනත් සේවා මුල් කොට හොඳම ව්‍යවසායකයින් තෝරා සම්මාන 20ක් පිරිනැමීම මෙහිදී සිදු කැරිණි.

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන සමන්සිරි සේනාමන්තිල ව්‍යවසායකයාගේ ජීවිතය නව ව්‍යවසායකයෙකුට පාඩම් කියා දෙන එකකැයි අප මුලින් සඳහන් කළෙමු. ඒ මක් නිසාද? යන්න පැහැදිලි කරදීම අපගේ යුතුකමයි.

කුඩා කළ සිටම විනයගරුකව, කලට වේලාවට තම රාජකාරිය ඉටු කිරීම ඔහුගේ දියුණුවේ රහස් වේ.

ව්‍යවසායක ගතිලක්ෂණවලින් යුතුවූ සේනාමන්තිල මහතා

පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා හා ක්‍රීඩා නායකයා හා කරාටේ නායකයා විය. ඔහු පාසල හැර යාමෙන් පසු ජාතික තරුණසේවා සභාව හා සම්බන්ධ විය. එහිදී කලා, සමාජීය හා සංස්කෘතික අංශයන්ට දායකත්වය දැක්වූ ඔහු වසර 1988 දී යොවුන් කුමරා ලෙස අභිෂේක ලැබ තම සහජ හැකියාවන් විදහා දැක්වීය. ජය කොතනද, මමයි රජා, ජය අපටයි, විරාගය යන චිත්‍රපට වල රංගනයෙන් දායකත්වය දැක් වූ ඔහු ඒ සඳහා ජී.ඩබ්ලිව්. සුරේන්ද්‍ර, ආචාර්ය කාලෝ ෆොන්සේකා, මිලිනා සුමතිපාල හා සෝනියා දිසා, සුනිල්සෝම පීරිස් වැන්නවුන්ගෙන් ලද දායකත්වය කෘතගුණව සිහිපත් කරයි. තරුණසේවා සභාව හැර යාමෙන් පසු මුද්‍රණ කර්මාන්තයටද සම්බන්ධ වූ හෙතෙම සර්වෝදය විශ්වලේඛා මුද්‍රණාලයෙහි සහකාර වෙළඳ කළමනාකරු විය. ගෙස්ට්ටෙඩ්න ආයතනයේ (නැෂුව ලංකා) සහකාර අලෙවි කළමනාකාර තනතුර ද ඔහුට හිමි විය. 2014 වර්ෂයේදී තමාගේම ව්‍යාපාරයක් ඇරඹූ හෙතෙම කුඩා පරිමාණයෙන් මීගොඩ ඉඩමක සැන්ඩ්‍රියානා වගාවක් ඇරඹීය. තම උත්සාහයෙන් හා කැපවීම මත එය වාණිජ වශයෙන් සාර්ථක ව්‍යාපාරයක් බවට ඉතා කෙටි කලකින් පත්කරවීය. මෙම සම්මානය ලබා බුහුමණට පත්වීම ඔහුගේ උත්සාහය මල්ඵල ගැන්වීමකි.

මෙම සාර්ථකත්වය සඳහා අත්වැල සැපයූවන්‍ ලෙස රත්නපුර දිස්ත්‍රික්කයේ මල් සංගමයේ සභාපති කාරියවසම් මහත්මිය පානදුරේ ප්‍රාදේශීය ලේකම් බුද්ධිනි ගුණවර්ධන සංවර්ධන නිලධාරිනී ඉරෝෂනී මහත්මිය , බස්නාහිර පළාතේ සම්බන්ධීකරණ නිලධාරී ප්‍රියංකා සේරසිංහ මහත්මිය හා පාදුක්ක ප්‍රාදේශීය ලේකම්තුමා, කෘෂිකර්ම නිලධාරී සමිත මහතා, ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂිකා සුනිලා රත්නායක මහත්මිය ඉතාගෞරවයෙන් සිහිපත් කරයි. මීට අමතරව ප්‍රිය බිරිඳ වූ ලේඛා දෙල්පචිත්‍ර දූ වරුන් දෙදෙනා වන දෙව්නි සනාරා, මිලනි මනුල්ජි ඔහුට මෙම ගමනේදී මහඟු සහයෝගයක් ලබා දුන්හ.

සමන්සිරි මහතා තම අත්දැකීම සෙසු වගාකරුවන් සමඟ බෙදා ගැනීමට ඉමහත් කැමැත්තක් දක්වයි. මෙම ක්ෂේත්‍රයට පිවිසීමට කැමති ඕනෑම අයෙකුට තම දැනුම හා උපදෙස් ලබාදීමට හෙතෙම රුචිකත්වයක් දක්වයි. ශ්‍රී ලංකාවේ අපනයන ආදායම වැඩි කිරීමට ඔහු වැනි මල් වගාකරුවන් දක්වන්නේ මහඟු දායකත්වයකි.

ඔහු වැනි ස්ව උත්සාහය මත ගොඩ නැගුණු ව්‍යවසායකයන් වටා රොක් වීම හා ඔවුන්ට දිරිදීම රජයේ නිලධාරීන්ගේත් පරම යුතුකමයි. ශ්‍රී ලංකාවට ආර්ථික සමෘද්ධිය ළඟා කර ගැනීමට එය වෙසෙසින්ම වැදගත් වන අතර ඔහු හා සම්බන්ධ වීමට කැමති අයට දුරකථන අංක මෙසේය. 0774718019, 0715196896 ඊමේල් හරහා නම් [email protected] අමතා විස්තර දැනගත හැකි අතර එයට දායක වීමට සමන්සිරි මහතා කැමැත්තෙන් පසුවෙන බව අප සමඟ පැවසූහ.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...