ආයෝජන දිරිගන්වන අයවැයක් | දිනමිණ

ආයෝජන දිරිගන්වන අයවැයක්

ජය­සිරි මුණ­සිංහ   

l මුදල් ජන­මාධ්‍ය රාජ්‍ය ඇමැති එරාන් වික්‍ර­මරත්න

ජන­තා­වට ලබා­දිය යුත්තේ සහන නම් ‘ආයෝ­ජන’ වැඩි කර ගන්න ඕනෑ. 
මෙවර අය-වැයෙන් ආයෝජ­න­යට මුල්තැන ලබා දෙනවා. එතැ­නින් තමයි සැබෑ සහන උප­දින්නේ.   

සියලු ජනතාවට‍ දිරියෙන් නැඟීසිටීමට අවශ්‍ය ශක්තිය සැපයෙන සංවර්ධන, ආයෝජන හිතකාමී යෝජනා ඇතුළත් අය-වැයක් මෙවර රජය ඉදිරිපත් කරන බව මුදල් හා ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරයි.

හරියටම තව සතියකින් නොඑසේ නම් ලබන 09 වැනිදා මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2018 අය-වැය කෙබඳු එකක් වේදැයි අප සමඟ අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා එසේ කියා සිටියේය.

මේ එම අදහස් දැක්වීමේ හඬයි.

 

වසර 2018 අය-වැයේ තේමාව අරමුණ කෙටියෙන් පැහැදිලි කළ හැකිද?

ඇත්තටම, මෙවර අය-වැය රටේ සියලු ජනතාවගේ ආර්ථිකය, බලගැන්වෙන යෝජනා ඇතුළත් එකක්.

ඒ කියන්නේ, ජනතාවගේ ආදායම් උත්පාදනය ඉහළට ගෙන්න අවශ්‍ය යෝජනා ඇතුළත් එකක්. ඒ නිසා මෙවර අය-වැයෙන් ජනතාවට මාළුවා දෙනවාද? නැතිනම් බිලී පිත්ත දෙනවාද? යන්න බලාගන්න පුළුවන්කම තිබෙනවා.

 

ජනතාවට දිරි ගැන්වෙන්න නම් හැමදාම මාළුවෙක් ගානේ නිකම් දීලා බැහැ. ඔවුන්ට මහන්සිවෙලා තම ආාහරවේල සපයාගන්න උනන්දු කරන්න ඕනෑ. ඒ අදහසින් බැලූවිට මෙවර අය-වැය ජනතාව උනන්දු කරවන එකක් වෙයිද?

රටේ පොදු ජනතාවගේ අවශ්‍යතා සපුරාලන්න සංවර්ධනයත් ඒවාගේම රටේ සුබසාධනය සඳහා කරන්න වුවමනා දේත් දෙකම අපි කරනවා. නමුත්! සංවර්ධනයත් සුබසාධනයත් ජනතා සහභාගීත්වයෙන් තමයි සිදු වෙන්න ඕනෑ කියන තැනයි අපි ඉන්නේ. ජනතාවට තමයි මේ අය-වැය යෝජනාවල ප්‍රතිඵල, ප්‍රතිලාභ ලැබෙන්න ඕනෑ.

 

ජනතාවට ප්‍රතිලාභ ලැබෙනවා කියන්නේ ‘සහන’ ලැබෙනවා කියන එකද?

ඔව්! ඔබ සිතන්න ‘සහන’ කිවුවෙත් අද, ‘ආයෝජන’ කිවුවොත් හෙට. අපි ජනතාවට ලබාදිය යුත්තේ සහන නම් ‘ආයෝජන’ වැඩි කර ගන්න ඕනෑ. අද සහන ලබන්න නම් ආයෝජන වැඩි කිරීම කළ යුතුයි. අපි මෙවර අය-වැයෙන් ආයෝජනයට මුල්තැන ලබා දෙනවා. එතැනින් තමයි සැබෑ සහන උපදින්නේ.

 

මෙවර රටට ඉදිරිපත් වන්නේ ආයෝජන හිතකාමී අය-වැයක්ද?

ඔව්!

අපි වසර 2015 ජනවාරි මාසේ 08 වැනිදා ජනාධිපතිවරයෙක් තෝරාපත් කර ගත්තා. අගෝස්තු 16 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණයෙන් ආණ්ඩුවක් පිහිටුවා ගත්තා. මේ ආණ්ඩුවේ අපේ රටේ ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකම මහජන නියෝජිතයෝ ඉන්නවා. සම්මුත්වාදී ජාතික රජයක් අද රට පාලනය කරන්නේ. අපි එදා 2010 සිටම රටට ඉදිරිපත් කළේ ආයෝජන ක්‍රම ක්‍රමයෙන් ඉහළට ඔසවා තබන අය-වැය යෝජනා. මුල් අවධියේ දී වාගේ නොවෙයි. මේ වන විට රට නිවැරැදි තැනකට පත්වෙලා තියෙනවා. ඒ නිසා මෙවර හොඳ යෝජනා රැසක් ඉදිරිපත් වෙනවා.

 

ආයෝජනයට දිරිදෙන යෝජනා ගෙන එන අය-වැයේ කෘෂිකර්මය කර්මාන්ත හා සේවා අංශ දියුණු කරන්න ඉඩ වැඩි කරාවිද?

එය තමයි අනිවාර්යෙන්ම විය යුත්තේ. අපේ රටට නිදහස ලැබිලා වසර 70ක් සපිරෙනවා. තවමත් අපි සැබෑ ලෙස ජනතාවට ආර්ථික නිදහස උරුම කරලා දීමට සමත්වෙලා නැහැ. ඒ නිසා ඔවුන්ට සැබෑ ආර්ථික නිදහස උරුම කරන්න නම් අපි රටේ කෘෂිකර්මාන්තය, කාර්මිකකරණය, සේවා අංශ තවත් සංවර්ධනය, වැඩි දියුණුව, පුළුල් කිරීම කළ යුතුමයි. ඒ සඳහා විශාල ශක්තියක් අය-වැයෙන් ලබා දෙනවා.

 

අපේ රටේ බලයට පත් සෑම ආණ්ඩුවක්ම විවිධ වැඩසටහන් ඒ සඳහා ක්‍රියාත්මක කළා. මේවා හා නව වැඩපිළිවෙළ අතර වෙනසක් තියෙනවාද?

ඇත්තටම ලොකු වෙනසක් තියෙනවා. පසුගිය රජයන් කළ බොහෝ හොඳ දේ තිබෙනවා. නමුත්! ජනතා සහභාගිත්ව සංවර්ධන ප්‍රවේශයකට ඔවුන් ගියේ නැහැ. ඡන්දය ලබා ගන්න බලාගෙන ජනතාවට යම් යම් දේ ‘නිකම්’ ලබාදුන්නා. ජනතාව සහනාධාර මත යැපෙන මානසිකත්වයකට තල්ලු කළා. එය ඉතා හොඳ දෙයක් නෙවෙයි. අපි ජනතාවට යමක් ලබාදෙන්න ඕනෑ ඔවුන් බලගන්වන්නයි. ඔවුන් යටත් කර ගන්න නොවෙයි.

 

සුබසාධන වියදම් ඵලදායී විය යුතුයි, යන හැඟීම ඉන් මතුවෙනවා.

ඇත්ත, අන්න ඒ දේ තමයි විය යුත්තේ. අපිට පුළුවන් නම් රටේ සුබසාධන වියදම් සඳහා වන මුදලුත් ආයෝජන වියදම් බවට පත් කරන්න රට, රටේ ජනතාවට දිගුකාලීනව හොඳ යහපත් ආර්ථිකයක් හිමි වෙන්න තිබෙන ඉඩ වැඩියි.

 

දේශපාලන වාසි බලාගෙන, ඡන්ද දිනා ගැනීමේ මානසිකත්වයෙන් තොර අය-වැය යෝජනා මෙවර එයිද?

අනිවාර්යෙන්ම ඔව්! කෙටි කාලීන දේශපාලන වාසි විතරක් නොවෙයි, කුමනාකාරයේ වාසි කිසිවක් බලාපොරොත්තු නොවී මධ්‍යකාලීන හා දිගුකාලීනව රට ගොඩනැ‍ඟීමේ යෝජනා ගෙන ඒමටයි ජනාධිපතිවරයා අගමැතිවරයා, මුදල් ඇමැතිවරයා විශේෂයෙන් උත්සාහ දරන්නේ.

 

අපනයන ආදායම් වැඩි කර ගැනීම අප කළ යුතුමයි නේද?

ඒ දේ තමයි රටේ මුලින්ම විය යුත්තේ. ජනතාවගේ බදුබර අඩු කරන්න පුළුවන් එකම දේ තමයි රටේ සෘජු බදු ආදායම් වැඩි කරලා, වක්‍ර බදු ආදායම් අඩු කිරීම. මේ සඳහා කළ යුත්තේ, රටේ ආර්ථිකය දියුණු කිරීමයි. එහි දී ඔබ කියූ අපනයන ආදායම් වැඩි කරගත යුතුමයි.

 

රාජ්‍ය ආදායම් වැඩි කර ගන්න අතර, වියදම් තාර්කිකකරණය කිරීමක් කළ යුතුයි?

ඔව්!

අපි ඒ දේත් අනිවාර්යෙන්ම කළ යුතුයි. අපට ඒ දේ කරන්න තවත් ප්‍රමාද වෙන්න බැහැ. අපේ රටේ ආර්ථිකය ගොඩනඟන්න නම්, හැකිතරම් රටේ සම්පත් කාර්යක්ෂම ඵලදායී ඒවා බවට පත්කර ගත යුතුමයි.

 

රාජ්‍ය ව්‍යවසායන් නඟා සිටුවිය යුතුයි. නමුත් ඒවා පෞද්ගලීකරණය කිරීමක් නොකළ යුතුයි කියා ඇතැමකු කියනවා.

ඔව්!

අපේ රටේ තිබෙන රාජ්‍ය ව්‍යවසායන් දැන් නිදා සිටින යෝධයෝ වාගෙයි. මේවා අවධි කර රටට, ජනතාවට ප්‍රතිලාභ ලබා දිය යුතුයි. ඒ සඳහා පෞද්ගලීක අංශයේ තිබෙන අරමුදල්, කළමනාකරණ, පරිපාලන දැනුම, අත්දැකීම් මේවාට ලබාදිය යුතුයි. එවැනි දේ ලබා ගැනීම රාජ්‍ය සම්පත් විකිණීම කියා අර්ථකථනය කිරීම වැරැදියි. අපි නිවැරැදිව රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘති තුළට යා යුතුයි. ඒ දේට මෙවර අය-වැයෙන් විශාල ශක්තියක් ලබාදෙනවා.

 

රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය අංශ දියුණුවට ලබාදෙන මුදල් කප්පාදු කිරීමක් කරන්න සූදානම් ද?

ඉදිරියට තවත් මුදල් වැඩි කරනවා. දේශපාලන අවස්ථාවාදීන් කරන බොරු චෝදනා ඒවා.

 

නව රැකියා, ඉහළ ආදායම් ලැබෙන පොහොසත් රටක් බිහි කිරීමට අය-වැයෙන් වැඩි අවධානයක් යොමු වෙයිද?

ඒ දේ තමයි සිදු කරන්නේ. අගමැතිවරයා, රටට ඉදිරිපත් කළ 2025 පොහොසත් රටක් බවට අපේ රට පත්කිරීමේ වැඩපිළිවෙළ දිනවන යෝජනා ගේනවා. අපේ කෘෂිකර්මාන්තය, කර්මාන්ත හා සේවා නව්‍යකරණය කරනවා. නව තාක්ෂණය පමණක් නොවෙයි මානව සම්පත් කුසලතා, හැකියාවන් දියුණු කරනවා. තරුණ තරුණියන්ට වැඩි ඉඩක් රටේ ආර්ථික දියුණුවට ලබා දෙන්න පුළුවන් අවස්ථා වැඩි කරනවා.

තරගකාරීත්වය, කාර්යක්ෂමතාව, ඵලදායීතාව සෑම අංශයකම ඇති කරනවා. මේ තුළින් වැඩි උනන්දුවෙන්, කැපවීමෙන් වෙහෙස නොබලා වැඩ කරන ජනතාවක් බිහි කරන්න හැකි පරිසරය අය-වැයෙන් සකස් කර දෙනවා. 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...