ගැළ­පෙන පාට දාලා ඇහැට ප්‍රිය විදි­හට හද­නවා | දිනමිණ

ගැළ­පෙන පාට දාලා ඇහැට ප්‍රිය විදි­හට හද­නවා

ලක්ෂානි සේනා­නා­යක  

‘ඉස්කෝලේ යන කාලේ පවා මට හිටියේ නිර්මා­ණ­ශී­ලීව වැඩ කරන යාළුවෝ.’  

උපන් දින උත්සව වගේම නත්තල් උත්සවවලටත් සුබ පැතුම් පතක් දීලා සතුට බෙදා හදා ගන්න අපි කොච්චර කැමතිද. මේ සුබ පැතුම් පත් ඕනෑම ස්ථානයකින් මිලදී ගන්න පුළුවන් වුණාට ඒවා එකම විදිහේ නිර්මාණ නිසා මේවා ලබා ගන්න අයගෙන් අපිට ලැබෙන්නේ සාමාන්‍ය ප්‍රතිචාරයක්. අපි අතින්ම හදලා වගේ ලස්සන මෝස්තරයකින් මේ වගේ සුබ පැතුම් පතක් යාළුවන්ට නෑදෑයන්ට දෙන්න පුළුවන් නම් ඒක කොච්චර වටිනවද. අතින් ලස්සනට හැඩ වැඩ දාලා සුබ පැතුම් පත් හදන කෙනෙක් තමයි මහනුවර ප්‍රදේශයේ නාමලී කහවත්ත කියන්නේ. මහනුවර මහමායා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන මැය කොළඹට ඇවිත් උපාධිය හදාරමින් අමතරව කරන ව්‍යාපාරයක් තමයි මේ සුබ පැතුම් පත් නිර්මාණය. ඇගේ නිර්මාණාත්මක හැකියාව ව්‍යාපාරයක් බවට පත්වුණ ආකාරය අපි දැන ගනිමු.

Q මේ ව්‍යාපාරයේ ආරම්භය ගැන කතා කළොත්

මම පොඩි කාලේ ඉදන් යාළුවන්ට කාඩ් හැදුවා. විශේෂයෙන්ම ඉස්කෝලේ යන කාලේ පවා මට හිටියේ නිර්මාණශීලීව වැඩ කරන යාළුවෝ. මම මේක පන්ති ගිහින් ඉගෙන ගත්ත දෙයක් නෙමේ. යූ ටියුබ්වල විවිධ මෝස්තර බලලා තමයි ඉගෙන ගත්තේ. මුලින්ම මේ සුබ පැතුම් පත් හදන එක ව්‍යාපාරයක් විදිහට ආරම්භ කළේ 2015 වසරේ දෙසැම්බර් මාසයේ. ෆේස් බුක් එකේ දාලා පොඩියට තමයි මුලින් පටන් ගත්තේ. පටන් ගත්ත කාලේ වෙඩින් කාඩ් හදන්න තමයි හිතාගෙන හිටියේ. නමුත් මම හදන කාඩ් විශේෂයෙන්ම අතින්ම කරන හින්දත් තනියමම කරන්න තිබුණ අපහසුතාව නිසාත් ඒ අදහස අතඇරලා මම සුබ පැතුම් පත් හදන්න යොමු වුණා. මේ ව්‍යාපාරය මමයි මගේ මහත්තයයි තමයි කරගෙන යන්නේ.

Q ඔබ වෘත්තියක් විදිහට තෝරගෙන තියෙන්නේ මේ සුබ පැතුම් පත් නිර්මාණය කිරීමද?

නැහැ. මම කලින් මාස් හෝල්ඩින් ආයතනයේ මානව සම්පත් කළමනාකාරිනියක් ලෙස සේවය කළා. දැනට මම ඉගෙන ගැනීම් කටයුතු කරනවා. ඊට අමතර දෙයක් විදිහට තමයි මම මේ ව්‍යාපාරය කරගෙන යන්නේ.

Q මේ කාඩ්වල මිල ගණන් ගැන කතා කළොත්?

නිශ්චිතම මිලක් නැහැ. විවිධ මිල ගණන් යටතේ අලෙවි කරනවා. සාමාන්‍යයෙන් රු.150 ඉදලා 1000 වෙනකම් වගේ කාඩ් තියෙනවා. කා‍ඩ් එක හදන විදිහ අනුව තමයි මිල වෙනස් වෙන්නේ.

Q තරුණ පිරිසේ ඉල්ලුම ඉහළ ද?

එහෙමම නැහැ. ෆේස් බුක් එකෙන් නම් වයස් භේදයක් නැතිව ඉල්ලනවා. සමහර තරුණ අය නම දාලා එයාලට අවශ්‍ය පාට අනුව හදා ගන්න අයත් ඉන්නවා. විශේෂයෙන්ම අවුරුදු 20,30 අයට තමයි කාඩ් හදන්නේ. හැබැයි ගුඩ් මාකට් එකේදී නම් වයස් භේදයක් නැතිව මිල දී ගන්නවා. අපි මේක ආරම්භ කළ ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ තමයි ගොඩක් ලොකු අලෙවියක් වුණේ. මොකද නත්තල නිසා බොහෝ දෙනෙක් මිලදී ගත්තා. ඒ අතර ගොඩක්ම හිටියේ විදේශිකයන්. එයාලා මේ කාඩ් ලස්සනයි කියලා අගය කිරීමකුත් කළා.

Q දැනට අලෙවි කරන ස්ථාන කොහෙද?

ප්‍රධාන වශයෙන්ම අලෙවි කරන ස්ථානය තමයි good market එක. ඊට අමතරව ජාවත්තේ Skrumption ස්ථානයේ වගේම Odel එකටත් මේ කාඩ් දාලා තියෙනවා. අපිට එකිනෙකා හම්බවෙලාම ගනු-දෙනු කරන්න පුළුවන් තැනක් තමයි ගුඩ් මාකට් එක.

Q පාරිභෝගික ප්‍රතිචාර කොහොමද?

මම හදන හැම කාඩ් එකක්ම උපරිම ලස්සනට හදනවා. ඒ හින්දා මට කාගෙන්වත් වැරැදි ප්‍රතිචාර ලැබිලා නැහැ. එයලා බලාපොරොත්තු වෙනවාටත් වඩා හොඳම දෙයක් කරලා තියෙනවා කියලා තමයි එයාලා කියන්නේ.

Q පාරිභෝගිකයා ඉල්ලන විදිහේ ඕනෑම මෝස්තරයකින් කා‍ඩ් හදන්න පුළුවන්ද?

අපි කොළවලින් කරන දේවල් තමා කරන්නේ. සමහර අය අහනවා කැලැන්ඩර් හදනවද කියලා. නමුත් මම දක්ෂ කොළවලින් අතින් නිර්මාණය කරන දේවල් හදන්න. මට පාරිභෝගිකයන් කියන ඕනෑම ක්‍රමයකට හදන්න පුළුවන් වගේම මම ඒක සතුටින් භාර ගන්නවා.

Q ඔබේ ව්‍යාපාරයේ ප්‍රචාරණ ක්‍රම ගැන කතා කළොත්?

දැනට හැම කා‍ඩ් එකකම මම පොඩි ස්ටිකර් එකක් අලවනවා. මාව සම්බන්ධ කර ගන්න පුළුවන් විදිහ පිළිබඳ සඳහන් කරලා තියෙනවා. ඒ මාර්ගයෙන් දැනුවත් වෙන පිරිස් මගෙන් කා‍ඩ් මිලදී ගන්නවා. ඊට අමතරව fB එකේ දාලා තියෙන නිසා ඒ හරහාත් ඇණවුම් ලැබෙනවා.

Q කොහොමද පවුලේ අයගෙන් ලැබෙන සහයෝගීත්වය

පවුලේ අය තමයි විශේෂයෙන්ම සහයෝගය දක්වන්නේ. පළමුවෙන්ම මගේ මහත්තයා මතක් කරන්න ඕනේ. එයා තමයි මට කොළඹ ගිහින් කාඩ් හදන්න අවශ්‍ය සියලුම බඩු ගෙනත් දෙන්නේ. ගුඩ් මාකට් එකේ දී අලෙවි කරන ස්ථානයටත් ඇවිත් ලොකු සහයෝගය දක්වනවා. ඊට අමතරව අයියයි, අක්කයි, මල්ලිත් උදවු කරනවා. එයාලා කාඩ් හදන්න අවශ්‍ය බඩු මෙහේ නැති ඒවා පිටරටින් ගෙනත් දෙනවා.

Q අනෙක් නිෂ්පාදකයන්ට වඩා ඔබේ නිෂ්පාදනයේ වෙනස පැහැදිලි කළොත්?

මගේ බ්‍රෑන්ඩ් එකේ නම ‘sarala by namali’ මම හදන කාඩ් හරිම සරලයි. කාඩ් හදන ගොඩක් අයගේ නිෂ්පාදන එකම විදිහේ ඒවා වගේම ගොඩක් සංකීර්ණයි. මම හැම වෙලාවෙම හිතන්නේ අඩුම දේවල් පාවිච්චි කරල ලස්සන දෙයක් නිර්මාණය කරන්න. අනෙක් එක තමයි මම කරපු නිර්මාණයක් නැවත කරන්නේ නැහැ. හැම වෙලාවෙම අලුත් විදිහට හිතලා අලුත් දෙයක් කරනවා. කවුරු හරි ඉල්ලුවොත් විතරයි කරපු එකක් නැවත කරන්නේ. අනෙක් එක තමා මම පාට එක්ක වැඩ කරන්න හරි ආසයි. ඒ නිසාම හැම කාඩ් එකක්ම පුළුවන් තරම් ගැළපෙන පාට දාලා ඇහැට ප්‍රිය විදිහට හදනවා.

Q ඔබගේ නිෂ්පාදන ගැන තොරතුරු ලබා ගත හැකි මාර්ග සඳහන් කළොත්

මගේ ඊමේල් එක [email protected]. මගේ දුරකතන අංකය 0773901623 අමතලා විස්තර දැන ගන්නත් පුළුවන්. 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...