වනසතුන් සහ දඩ මුදල් | දිනමිණ

වනසතුන් සහ දඩ මුදල්

මෙබඳු ප්‍රවෘත්තියක් පුවත්පත්වල පළ වී තිබිණි. හරියට ම කිවහොත්, එම ප්‍රවෘත්තියෙන් කියැවෙන්නේ පසුගිය වසර පහ ඇතුළත වනජීවී අපරාධ සම්බන්ධයෙන් නඩු අසා දඬුවම් ලෙස රුපියල් කෝටි දොළහකට වැඩි මුදලක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව උපයාගෙන ඇති බව ය. නරක නැත. එක අතෙකින් රජයේ ආදායම ප්‍රවර්ධනය වී ඇත. තව අතෙකින් වනජීවී ක්ෂේත්‍රයට අයත් අපරාධවලට දඬුවම් ලබා දී ඇත. මේ දෙක ම හොඳ ප්‍රවණතා ලෙස අගය කළ හැකි ය. එහෙත් මේ මඟින් වනය ආරක්ෂා කළ හැකි ද? වන ජීවීන් ආරක්ෂා කළ හැකි ද? අප විමසා බැලිය යුත්තේ එය යි.

ශ්‍රී ලංකාව දේශපාලන නිදහස ලබා ගන්නා විට අපේ මුළු වනගහනය භූමියෙන් 44%ක් ලෙස සටහන් වී තිබිණි. ඇත්ත තත්ත්වය ඊටත් වඩා වැඩිවන්නට ඇත යන්න අපගේ පිළිගැනීම ය. එහෙත් වන විනාශයෙහි කෙළවරක් නැත. අද වනවිට මුළු වනගහනය භූමියෙන් 16%කටත් අඩු බව ඇතැම් වන සංරක්ෂයෝ කියති. කෙසේ වුව නිල සංඛ්‍යා ලේඛනවලට අනුව එය සියයට විසි ගණනක පවතින බව දැනගන්නට ලැබේ. අපේ මුළු වනගහනය සියයට විසි ගණනක පවතින්නේ නම්; එය අගය කළ යුතු කාරණයකි.

වනය පමණක් නොව; වනයේ ජීවත්වන සතුන් ද ඉල්ලුමක් ඇති භාණ්ඩ බවට පත්වැ තිබේ. ඒ අනුව වනය කපා හෙළීම, වනයේ දැව ඒකරාශී කිරීම, ඒවා ප්‍රවාහනය කිරීම, මෝල් හිමියන්ට භාරදීම ආදී ක්‍රියාදාමයක් සිදු වෙමින් පවතී. රටේ හැම වනාන්තරයක් ම අවදානම් තත්ත්වයක පවතින්නේ යැයි කිව හැකි ය. රජය කොයිතරමින් නීති-රීති දැඩි කළ ද ලී ජාවාරම හොඳින් සිදු වෙයි. ඒ තරමටම වනාන්තරවල දඩමස් ජාවාරමද අඛණ්ඩව සිදු වෙයි. නිදසුනක් ගතහොත් වල් ඌරු මස්වලට විශාල ඉල්ලුමක් පවතී. එම ඉල්ලුම සැපයීම සඳහා සාමුහික වශයෙන් පිරිස් ඒකරාශී වී සිටිති.

අප ඉහතින් සඳහන් කළ ප්‍රවෘත්‍තියේ පැහැදිලි වන්නේ වන සතුන් දඩයමට ගිය සැලැකිය යුතු පිරිසක අත්අඩංගුවට ගෙන නීති මාර්ගයෙන් දඬුවම් ලබාදීමට හැකි වී ඇති බව ය. එය ඉතා හොඳ යහපත් ක්‍රියාවකි. එක අතෙකින් වනය අපේ සම්පතකි. තව අතෙකින් වන සතුන් අපේ සම්පතකි. මේ සම්පත් දෙකම ආරක්ෂා කළ යුතු ය. ඉංග්‍රීසි පාලන සමයේදී පවා වනයත්; වනයේ සතුනුත් ආරක්ෂා කිරීමට විවිධ පියවර ගෙන තිබිණි. සමහර විටෙක වනය විනාශ කිරීමට අදාළ ඉංග්‍රීසි නීතිය ඉතා දරුණු විය. හේන් ගොවියන්ට පවා දිගට-හරහට දඬුවම් දුන් අවස්ථා ඉතිහාසයේ සඳහන් වී ඇත.

මේ වනවිට අපගේ ප්‍රධාන සාකච්ඡාවක් බවට පත් වී ඇත්තේ ස්වභාවික ව්‍යසනයන් ය. නැතහොත් ස්වාභාවික ආපදා ය. මෙබඳු විපත් හා ආපදා ඇතිවීමට ප්‍රධාන හේතුව වනය විනාශ කිරීම යැයි කියන්නට පුළුවන. වනගහනය සමඟ චක්‍රීය ලෙස කඩා හැලෙන වර්ෂාපතනයක් අපට තිබිණි. ඒ සමඟ ම වර්ෂාපතනය මුහුද දක්වා අනුක්‍රමයෙන් ගෙන යන භූවිෂමතා රටාවක් ද අපට තිබිණි. ගැඹුරු නිම්න සහිත මධ්‍යම කඳුකරය, පිටාර තැනි, වෙරළ තීරය ඊට නිදසුන් ලෙස දැක්විය හැකි ය. ජලපවාහන රටාවක් ද අපට වෙන ම තිබිණි. ඒ සියල්ල සැකසී තිබුණේ ජන ජීවිතයට කිසිදු අවහිරයක් නොවන ලෙස ය. එහෙත් අද වනවිට ඒ සියල්ල මිනිස් ක්‍රියාකාරකම් නිසා විනාශ වී ඇත.

වනය ආරක්ෂා කිරීමට වන සතුන් ද සිටිය යුතුය. අද වනවිට අපේ බොහෝදෙනකු පසුවන්නේ වනයේ සියලු සතුන් දඩයම්කොට අලෙවි කරන තැනක ය. එක අතෙකින් වන සංරක්ෂණ නිලධාරීන්ගේ ඇසට වැලි ගසා දඩයක්කාරයෝ දඩයම් කරති. තව අතෙකින් බලය හිමි අය වන සංරක්ෂණ නිලධාරින්ටද කොකා පෙන්වමින් සතුන් දඩයම් කරති. තවත් අතෙකින් වනය ආරක්ෂා කිරීමට යැයි අටවාගෙන ඇති සංවිධාන විසින් ද සතුන් දඩයම් කරනු ලැබේ. මේ එකක්වත් අනුමත කළ හැකි දේවල් නොවේ. වනයේ සතුන් දඩයම් කිරීම කොහොමටත් දඬුවම් ලැබිය හැකි වරදකි. එම නීතිය හරියටම ක්‍රියාත්මක කරන්නේ නම්; වන සතුන් දඩයම බොහෝ සෙයින් අඩුකර ගත හැකි ය.

ශ්‍රී ලංකාවේ වල් අලින් ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් බව දැනට සිදුකර ඇති සමීක්ෂණවලින් පැහැදිලි වෙයි. වන අලි යනු අපේ සම්පතකි. ආසියාවේ අලින් අතර ශ්‍රී ලාංකික අලිනට විශේෂ තැනක් ද හිමි වේ. අලියා අපේ සාංස්කෘතික උරුමයක් ලෙස ද සැලැකිය හැකි ය. එහෙත් දැන් යන ක්‍රමයට අනුව අපේ වන අලින්ගෙන් එකකු හෝ ඉතිරිවේද යන්න සිතාගත නොහැකි ය. මිනිස් ක්‍රියාකාරකම් නිසා විශාල වශයෙන් අලින් මරණයට පත් වේ. අලි - මිනිස් ගැටුම වශයෙන් අලුත් මාතෘකාවක් ද පවතී. කුමක් වුව අලියා මෙන් ම අනෙකුත් වන සතුන් ද ආරක්ෂා කළ යුතුය. ඔවුන් සංරක්ෂණය කිරීම සඳහා වැඩසටහනක් ද තිබිය යුතු ය.

රටේ පාලකයා හෙවත් ජනාධිපතිවරයා වන සංරක්ෂණය සඳහා ද ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීම සඳහා ද බලවත් කැපවීමක් සිදු කරයි. ජනාධිපතිවරයා ඒ සඳහා විශේෂ කාර්ය සාධන බළකා ගණනාවක් පිහිටුවා තිබේ. එම බළකායවල් හරිහැටි ක්‍රියාත්මක වන්නේ නම්; රටේ වන විනාශය පමණක් නොව; වන සතුන් ඝාතනයට ලක්වීමත් බොහෝ සෙයින් අඩුකර ගත හැකි ය. එහෙත් එවැන්නක් සිදුවන බවක් පෙනෙන්නට නැත. වන විනාශය අදටත් හොඳින් ක්‍රියාත්මක වෙයි. එහි තරම කෙතරම් ද යත් පිදුරුතලාගල කඳු මුදුනේ එළවළු වගාවක් කිරීමට තරම් සමහරුන් දක්ෂ වී ඇත. මේවා වෙනස් විය යුතුය. වනය හා එහි වන සතුන් ආරක්ෂා කිරීම සඳහා අප හදවතින්ම එක් විය යුතු බව අවසන් ලෙස කියන්නට කැමැත්තෙමු.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...