පොතක් දෙකක් ලියූවට රචකයෙක් වෙන්නෙ නෑ | දිනමිණ

පොතක් දෙකක් ලියූවට රචකයෙක් වෙන්නෙ නෑ

ඉයන් රෑන්කින්

ඉතාමත් සාර්ථක නවකතා රචකයකු වන ඉයන් රෑන්කින්, අපරාධ ක්ෂේත්‍රය පිළිබඳ ග්‍රන්ථකරණයෙහි යෙදෙන්නෙකි. එක්තරා අවස්ථාවකදී මොහු ‘ඉතාමත් සාර්ථකම අපරාධ අංශ නවකතාකරුවා’ ලෙස සම්මානයට ද පාත්‍ර විය. ඔහුගේ ප්‍රථම නව කතාව 1987 දී ප්‍රකාශයට පත් විය. ඔහුගේ රචනා ලොව පුරා භාෂා 22 කට පරිවර්තනය වී ඇත. හෙතෙම හොඳ ම විකුණුම්කරුවන්ගේ සංඛ්‍යාලේඛනවල ද ඉහළින් ම සිටී. ඔහු සමඟ ‘Writers & Artists’ වෙබ් අඩවිය කළ සාකච්ඡාවක පරිවර්තනයකි මේ.

ඇයි ඔබ ලියන්නේ?

එය මම එකපාරටම හිතන දෙයක් සමඟ සිදුවන්නක්. ඒ කිව්වේ මම එකපාරටම මොනවා හරි හිතනවා. ඒ සැණින් මම ඒක ලියනවා. මේ විදිහට කතා ගොඩනගන එක මට නම් එක්තරා ආකාරයක විනෝදයක්. ඒත්,මේ ලෝකය වඩා සංවේදී තැනක් බවට පත් කරන්න ඒ හරහා මං උත්සාහ කරනවා. ඒවාට හැඩයක් ලබා දෙන්නේ, අර්ථයක් ලබා දෙන්නෙ මං ඒ ගොඩනගන සිතුවිලිවලින්. මං කැමැතියි මගේ සිතුවිලි මිතුරන් සමඟ නිරන්තරයෙන් සෙල්ලම් කරන්න. ඒ හරහා මං සාර්ථකව ලිවීම සිදු කරනවා.

ඔබේ පළමු නවකතාව ප්‍රකාශයට පත් වුණේ කොහොමද?

ඒක මගේ පළමු නවකතාව ලෙස හැඳින්විය නොහැකියි. එය නිකම්ම නිකන් දිගු රචනයක් විතරයි. ඒ නිසා මම පොතක් ලියන්න නැවත ආරම්භ කළා . එහි නම ‘Flood'. එය එඩින්බරෝ විශ්වවිද්‍යාලය හා ශිෂ්‍යයකු වටා ගෙතුණු නවකතාවක්. මම එය ප්‍රකාශයට පත් කිරීම සඳහා එහි පිටපතක් පොලිගන් නමැති ප්‍රකාශන ආයතනයට ලබා දුන්නා. මගේ වාසනාවට ඔවුන් එය ප්‍රකාශ කරන්න පිළිගත්තා. ඒ, වර්ෂ 1986 දී. එදා එම ප්‍රකාශන ආයතනය මඟින් මට මතක විදිහට ඩොලර් 400ක මුදලක් පොත වෙනුවෙන් ලබා දුන්නා.

ඔබට නිශ්චිත ප්‍රකාශකයෙක් සිටිනවද?

මගේ පළමු නවකතා පොත පළවෙද්දී මට ප්‍රකාශකයෙක් සිටියේ නෑ. ඒත් ඉන්පසුව දවසක එක්තරා කාන්තාවක් මා වෙතට පැමිණිලා, ලන්ඩන් නගරය තුළ මගේ ඊ ළඟ පොත වෙනුවෙන් මට තක්සේරුවක් ලබා දුන්නා. ඒ පොතෙහි නම ‘Knots and Crosses’ ඒත් මෙහිදී මට ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක් වුණා. ඒ කියන්නේ අර කාන්තාව එකවරම අතුරුදහන් වීමයි.

ඒත් ඒ කිසිවකින් මං අ‍ධෛර්යමත් වුණේ නෑ. මම ප්‍රකාශකයන් ගණනාවක් සොයාගෙන ගියා. අවසානයේ මම ‘Writers & Artists z Yearbook ප්‍රකාශන සමාගම දෙසට හැරුණා. එහිදී මට එක් ප්‍රකාශකයකු මුණ ගැසුණා. ඔහු මට සවන් දුන්නා. ඔහුගේ නම ‘Peter Robinson’. ඔහු මා ඔහුගේ ව්‍යාපාර සඳහා හවුල් කර ගත්තා. මගේ පොත් සඳහා හොඳ වෙළෙඳ නියෝජිතයකුත් වුණා.

එම වෙළෙඳ නියෝජිතයා ඔබට උදවු කරන්නේ කොහොමද?

වෙළෙඳ නියෝජිතයා එක්තරා සීමාවක ප්‍රකාශකයා හා ගත්කරුවා අතර රංගනයක නිරත වෙනවා. වෙළෙඳ පොළ පිළිබඳ හා එහි ගුණාත්මක භාවය ගැන ඔවුන් දන්නවා. විවිධ හා තරගකාරී වෙළෙඳ පොළ අතික්‍රමණය කරන්න ඔවුන් දක්ෂයි.

ඔබගේ සාමාන්‍ය දවස් ගෙවෙන්නේ කොහොමද කියා විස්තර කළොත්?

මට මෙහෙමයි කියා කියන්න තරම් පිළිවෙළක්, විශේෂ දෙයක් නෑ. මං පොත් ලියන වෙලාවට පොත් ලියනවා. එතකොට මං බොහොම කාර්යබහුලයි. ඒ වගේම පුවත්පත් සාකච්ඡා සිදු කරනවා. අනෙකුත් සාමාන්‍ය මිනිස්සු වගේම තමයි මමත් උත්සව සඳහා සහභාගි වෙනවා. සමාජ ජාලා වෙබ් අඩවි භාවිත කරනවා. විද්‍යුත් තැපෑල බලනවා. ඒවාට පිළිතුරු ලියනවා. මම සාමාන්‍යයෙන් පොතක් ලියනවා නම්, සතියට දින පහක් එම කටයුතු සිදු කරනවා. රාත්‍රියටත්, මධ්‍යම රාත්‍රියටත් ලියනවා. මගේ ලැප්ටොප් එක භාවිතයෙන් තමා මං එය සිදු කරන්නෙ. පොත් නොලියද්දි, සාමාන්‍ය විදිහට මගේ දවස් ගෙවෙනවා.

ඔබ හිතන විදිහට ලිවීමේ කාර්යයේ අසීරුම දෙය මොකක්ද?

මං හිතන්නේ රචකයකු වීම, පොත් ලියන්නකු වීම ම තමා අසීරුම කාර්යය. හැමෝටම පොත් ලියන්නත් බෑ. පොතක් දෙකක් ලියූ පමණින් රචකයකු වෙන්නෙත් නෑ. ඒ සඳහා මං හිතන්නෙ හොඳ තර්කන හැකියාවක් වගේම, හොඳ සිතුවිලිත් තිබිය යුතුයි. ඔබගේ මනසේ ගොඩනැ‍ඟෙන චිත්‍රය වගේම, මනසට ගලා එන සිතුවිලිත් ඉතා වැදගත්. රචකයකුගේ මනසේ විවිධ සිතුවිලි වේගයෙන් ගලාගෙන ආ යුතුයි. ඒ සිතුවිලි සමඟ නිරන්තරයෙන් පොර බැදිය යුතුයි. ඒ සඳහා බිය නොවිය යුතුයි. හොඳ දේට පළමු තැන දෙන්නම ඕනැ.

මේ ක්ෂේත්‍රයට පැමිණෙන නවක අයට ඔබ කියන්නේ මොනවාද?

මට කියන්න තියෙන්නේ, ඔබගේ හැකියාව පිළිබඳ විශ්වාසය තබා ගන්න. ඒ වගේම ඔබගේ වචන, සිතුවිලි, අදහස් පිළිබඳ විශ්වාසයක් තබා ගන්න. අවවාද පිළිගන්න. විවේචන පිළිගන්න. ඒවාට විවෘත වෙන්න. තමන්ගේ සිතුවිලි සමඟ නිරන්තරයෙන්ම සතුටින්, අවධානයෙන්, අවබෝධයෙන් පසුවන්න.

යශෝදා ඉන්දීවරී

නව අදහස දක්වන්න