නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ඉදිරියට ගෙනයනවා | දිනමිණ

නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ඉදිරියට ගෙනයනවා

ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර, සන්ධ්‍යා කරුණාරත්න

යහපාලන රජය සියලු පක්ෂ, කණ්ඩායම් සමඟ එක්ව ශීලාචාර ආණ්ඩුවක් ලෙස නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ඉදිරියට ගෙනයන බව සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (30) පැවැසීය.

බුදු දහමට ප්‍රමුඛතාව දෙමින් ඒකීය රාජ්‍යයක් බිහිකිරීමේ මෙම ව්‍යවස්ථා සම්පාදනය ‍ඓතිහාසික බවත් ඇමැතිවරයා පැවැසීය.

නව ව්‍යවස්ථාව තුළින් ඉඩම් බලතල හෝ පොලිස් බලතල පළාත් සභාවලට ලබා නොදෙන බව පැවසූ ඇමැතිවරයා ස්වාධීන පොලිස් කොමිසමක් හා මධ්‍යම රජයට බලය ලැබෙන ඉඩම් කොමිසමක් පත්කරන බවත් සඳහන් කළේය.

ව්‍යවස්ථා සම්පාදනයක් සකසන බවට මුලින්ම ප්‍රකාශ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත් දහතුන්වැනි සංශෝධනයට එහා ගිය බලතල ලබාදෙන බව එතුමා ප්‍රකාශ කළ බවත් පැවසූ කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුව යෝජනා කරන ඕනෑම විසඳුමකට තමන් කැමැති යැයි කී රාජපක්ෂ මහතා අද ඊට විරුද්ධව මත ප්‍රකාශ කරන බවත් කීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා;

මේ විවාදය ඓතිහාසික විවාදයක්. අපේ රටට නිදහස ලැබුනයින් පස්සේ අපි බණ්ඩාරනායක මැතිණියගේ හා ජේ.ආර්.ජයවර්ධන මැතිතුමාගේ කාලයේ දෙවතාවක් ව්‍යවස්ථාව සම්මත කෙරුවා. නමුත් ඒ සෑම අවස්ථාවකදිම සමහර පක්ෂ ඒ ක්‍රියාදාමයට සහභාගි වුණේ නැහැ. විශේෂයෙන් ද්‍රවිඩ පක්ෂ. මේ අවස්ථාව තමයි ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුව ව්‍යවස්ථා දායක සභාවක් බවට පරිවර්තනය වෙලා පාර්ලිමේනතුවේ ඉන්න සියලු පක්ෂ, සියලු ජාතින් මේසයක් වටේ වාඩිවෙලා මේ අතුරු වාර්තාව සකස් කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේක ඓතිහාසික අවස්ථාවක්. රටේ ජනතාවගෙන් සියයට තිහක් ඉන්නේ ද්‍රවිඩ භාෂාව කථා කරන අය. සියයට හැත්තෑවක් සිංහල කථා කරන අය. සියලු ජාතින් එකතු වෙලා හදන මේ ලියවිල්ල සම්පූර්ණ ලියවිල්ලත් නෙමේ අවසන් ලියවිල්ලත් නෙමේ. අද ඉදිරිපත් කරලා තියෙන්නේ සෑම පක්ෂයකින්ම ඉදිරිපත් කළ යෝජනා පමණයි. ව්‍යවස්ථාදායකයට අවශ්‍ය පරිදි ඉදිරියට මේක සංශෝධනය කරන්න පුළුවන්. එතකොටයි අවසන් කෙටුම්පත එන්නේ. අද සමහරු පුවත්පත්වලට විවිධ ප්‍රකාශ කරනවා මේක අවසන් ලියවිල්ල කියලා හිතලා. නමුත් මේක අවසන් ලියවිල්ල නෙමෙයි.

යුද සමයේදී මහින්ද රාජපක්ෂ මහතා විශේෂයෙන්ම ඉන්දියාව සනසන්න ඕන නිසා 13ට වඩා වැඩි යමක් දෙන්න ඕන කියලා කිව්වා. මම මේ ලිපිය සභාගත කරනවා. 13ට වැඩියෙන් යමක් දෙන්න ඕන කියලා ඉස්සෙල්ලම කථා කළේ හිටපු ජනාධිපතිතුමා.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...