යකාට ගිය ඉස්කෝල! | දිනමිණ

යකාට ගිය ඉස්කෝල!

ලෝකයේ දියුණුම අධ්‍යාපන ක්‍රමවේද සැලැසුම් හා පාඨමාලා ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළයුතු යැයි හඬ නඟන අපට දැනට පවතින අධ්‍යාපන ක්‍රමවේදවල හා සම්ප්‍රදායන්වල ප්‍රමිතිය ඉහළ දැමීම සඳහා කිසිවක්ම කරන්නේ නැති ගණනය. නිදසුනක් ගතහොත් ටියුෂන් අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන මෙතෙක් කිසිවක් සිදුවන්නේ නැත. ජාත්‍යන්තර පාසල්වල ප්‍රමිතිය ගැන ද කිසිවක් සිදුවන්නේ නැත. එහෙත් මේ ක්ෂේත්‍ර දෙක ම අපේ අධ්‍යාපනයේ යථාර්ථයන් ය. සියලු කඩඉම් විභාග සඳහා ටියුෂන් අධ්‍යාපනය නැතිව බැරිය. ජාත්‍යන්තර විදුහල්වලද විශාල පිරිසක් අධ්‍යාපනය ලබති. එහෙත් මේ කිසිවක් නියාමනයකට ලක්වන්නේ නැත.

ටියුෂන් පන්තිවල සිදුවන දේවල් කිසිවකු දන්නේ නැත. ජාත්‍යන්තර පාසල්වල තත්ත්වය ද එසේම ය. මේවා අධීක්ෂණය සඳහා ක්‍රමවේදයක් තවම නැත. මේ ළඟදී දිනෙක ඇතුගල්පුර ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසල් කිහිපයක අමුතු සැමරුමක් සිදුකර තිබේ. යක්ෂයන්, භූතයන්, මළවුන් වැනි අද්භූත ස්මරණයක් ඊට ඇතුළත් ය. ඒ අනුව ත්‍රාසය, භීතිය හා කුතුහලය සහිත චිත්‍රපට පෙළක් නැරඹීමට කුඩා දරුවන් යොමු කර තිබේ. මේ සැමරුමෙන් පසු කුඩා දරුවන් මානසික කම්පනයකට ලක් වී ඇතැ’යි වාර්තා වේ. සමහරු අඳුරට බිය වී කෑගසන්නේ ලු! සමහරු එළිපහළියට යෑමට අදි - මදි කරන්නේ ලු! සමහරු හීනෙන් බිය වී කෑගසන්නේලු!

දරුවන්ගේ මනස ළාමක බව අමුතුවෙන් කිවයුතු නැත. එලෙස ම කුඩා දරුවකුගේ මනසට ඇතුළුවන හැඟීම් ජීවිත කාලය පුරාවට බලපාන බව ද අමුතුවෙන් කිව යුතු නැත. එක නරක සිතිවිල්ලකින් දරුවකු ගේ ජීවිතය ම කාලකණ්ණි වීමට පුළුවන. මානසික රෝග වැලඳෙන්නටත් පුළුවන. යක්ෂයන්, භූතයන් මූලික කොට දරුවකුගේ සිතට මූලික වශයෙන් කඩා වදින්නේ අධික බිය යි. මේ බිය කාලයක් පවතින විට එය මානසික රෝගයක් බවට පත් වේ. ඒ හැරත් බිය නිසා නිර්මාණය වන්නේ පෞරුෂයකින් තොර මිනිසෙකි. නැතහොත් බියසුලු පුද්ගලයෙකි. ජාත්‍යන්තර පාසල්වල ගුරු මණ්ඩල මෙබඳු සැමරුම් උත්සව පවත්වන්නේ දරුවන් පිළිබඳ නිසි අධ්‍යයනයක් නැති නිසා ද?

බටහිර පාසල්වල මෙබඳු සැමරුම් උත්සව පවත්වන්නට පුළුවන. එය ඔවුන්ගේ සංස්කෘතියට සම්බන්ධ ය. පුරුද්දක් ලෙස ඒවා කරනවා ද විය හැකි ය. එය වෙන ම කාරණයකි. බටහිර රටවල් කරන සියලු දේ අප කළ යුතු නැත. කුමක් වුව දරුවන්ගේ අධ්‍යාපනය සිදු විය යුත්තේ දර්ශනයක් මත ය. පාඨමාලා පමණක් නො ව; දරුවන්ගේ චර්යාව හැසිරවීම ද සිදුවිය යුත්තේ දර්ශනයක් මත ය. අපේ සංස්කෘතික පරිසරය හා ජාතික උරුමය ද මේ දර්ශනයට ඇතුළත් විය යුතු ය. අප දන්නා පමණින් ජාත්‍යන්තර පාසල්වල සියල්ල තීන්දු කරන්නේ එම විද්‍යාල පවත්වාගෙන යන ව්‍යාපාරිකයන් ය. සියලු ව්‍යාපාරිකයන් ගැන විශ්වාසයක් තබාගත හැක්කේ කෙසේ ද?

ජාත්‍යන්තර පාසල්වලට ගුරුවරුන් බඳවාගැනීමේ නිසි පටිපාටියක් නැත. සුදුසුකම් ලේඛනගත කර නැත. පුහුණුවීම් නැත. ඇතැම්විට සම්මුඛ පරීක්ෂණ පවා නැත. සියල්ල සිදුවන්නේ ව්‍යාපාරිකයාගේ සිතැඟි අනුව ය. දරු පරපුරක අනාගතය භාරගන්නා ගුරුවරුන් වගවීමකින් තොරව බඳවාගත හැකි ද? එසේ කිරීම යුක්ති සහගත ද? තව පැත්තකින් බලන විට ගුරුවරුන් සඳහා නිසි වැටුප් ක්‍රම‍යක් නැත. මේ අනුව ගුරුවරුන් හිටිහැටියේ පාසල්වලින් අස්වී යනු දැකිය හැකි ය. විභාගය කට උඩ තිබිය දී ගුරුවරුන් අස්වී යන අවස්ථා තිබේ. එවිට අපහසුවට පත්වන්නෝ ශිෂ්‍යයෝ හා ඔවුන්ගේ භාරකාරයෝය. මේ සියල්ලට ම හේතුව පෞද්ගලික අංශයේ අධ්‍යාපනය සඳහා නියාමනයක් නොමැතිකම ය.

ටියුෂන් එපා! පෞද්ගලික අධ්‍යාපනය එපා! යැයි සටන් පාඨයක් කලකට පෙර පැවැතිණි. අද එය දකින්නට ලැබෙන්නේ වෛද්‍ය පීඨ සඳහා පමණි. එහිද පෞද්ගලික වෛද්‍ය පීඨවලට කැමැති විශාල පිරිසක් සිටිති. පෞද්ගලික අධ්‍යාපනය අද වන විට යථාර්ථයකි. සිහි නුවණ ඇති කිසිවකු එය ප්‍රතික්ෂේප කරන්නේ නැත. දියුණු රටවල රජයේ විද්‍යාල මෙන් පෞද්ගලික විද්‍යාල ද පවතී. රජයේ විශ්වවිද්‍යාල මෙන් ම පෞද්ගලික විශ්වවිද්‍යාලද පවතී. එම රටවල අධ්‍යාපනය සම්බන්ධ ආයතන සිදුකරන්නේ ඒවා නියාමනයකට ලක් කොට අධීක්ෂණය කිරීම ය. එවිට අධ්‍යාපනයේ අවුලක් ඇති නොවන අතර රටට අවශ්‍ය මානව විභවතාද හොඳින් සපයාගත හැකි වනු ඇත.

බොහෝ රටවල නිදහස් අධ්‍යාපනය පවතින්නේ දිළිඳු ම පවුල් සඳහා පමණි. එම රටවල රජයේ පාසල් පවා අධ්‍යාපනය සඳහා කිසියම් ගාස්තුවක් අය කරයි. අධ්‍යාපනය සඳහා වියදම් කළ හැකි පවුල්වලට හොඳම පාසල් හා හොඳම පාඨමාලා තෝරාගෙන උසස් අධ්‍යාපනය සඳහා දරුවන් යොමු කළ හැකි ය. එයින් අධ්‍යාපනයේ පවත්නා තරගය ද තුනී වී යයි. මුදල් තිබූ පමණින් ම එම රටවල අධ්‍යාපනය ලැබිය නොහැකි ය. ඒ සඳහා නියමිත විභාග ද සමත් විය යුතු ය. ඒ නියාමනය ගෙන යන්නේ රජය යි. එබඳු ක්‍රමයක් ශ්‍රී ලංකාවේද පැවැතිය යුතු ය. එහෙත් දැනට සිදුවන්නේ රජයේ පාසල් ටික ගැන පමණක් ම සොයා බැලීම ය.

ශ්‍රී ලංකාව අධ්‍යාපනය සම්බන්ධයෙන් යම් ජයග්‍රහණ ලබාගෙන තිබුණ ද; තවත් පැත්තෙකින් අවුල් ගණනක් දකින්නට ලැබේ. සමාජය අධ්‍යාපනය සම්බන්ධයෙන් දක්වන ආකල්පය ද මේ අවුලට එක් හේතුවකි. නිදසුනක් ගතහොත් පෞද්ගලික අංශය අධ්‍යාපනය සඳහා සහභාගි විය යුතුය යන නවීන අදහස සමාජයේ වැඩි දෙනා පිළිගන්නේ නැත. ඇතැම් දේශපාලකයන් පවා පසුවන්නේ පසුගාමී අදහස්වල යැයි කියන්නට පුළුවන. සයිටම් ප්‍රශ්නය මහා අවුලක් බවට පත්වූයේ ද පරණ අදහස් නිසා යැයි සිතන්නට පුළුවන. රටේ අති බහුතරය තවම විශ්වාසය තබාගෙන ඇත්තේ නිදහස් අධ්‍යාපනය ගැන පමණි. අද වන විට එය පරණ අදහසක් පමණි.

දැනට පවතින තත්ත්වය යටතේ ජාත්‍යන්තර පාසල් නියාමනයකට ලක් කිරීම හදිසි අවශ්‍යතාවක් බවට පත්ව තිබේ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...