බිහිරි-රියැදුරෝ! | දිනමිණ

බිහිරි-රියැදුරෝ!

ඔබ ගමන් ගන්නා බස් රථයේ රියැදුරා බිහිරකු නම්; සිදුවිය හැක්කේ කුමක්ද? ඔබ ගමන් ගන්නා බස් රථයේ කොන්දොස්තර බිහිරකු නම්; සිදුවිය හැක්කේ කුමක්ද? එම බස් රථයේ දෙදෙනා ම බිහිරන් නම්; සිදුවිය හැක්කේ කුමක්ද? බැලූ බැල්මට මෙය හාස්‍යජනක කතාන්දරයක් සේ පෙනෙන්නට පුළුවන. එහෙත් මෑතකදී සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළිදරව් වන්නේ අපේ බස් රථ රියැදුරන් අතර, ශ්‍රවණාබාධ සහිත පුද්ගලයන් අධික බවය. කොන්දොස්තරවරුන්ගෙන් සැලැකිය යුතු ප්‍රමාණයකට ශ්‍රවණාබාධ පවතින බව ද සමීක්ෂණයෙන් පැහැදිලි වෙයි. මෙය අපට අලුත් ප්‍රවෘත්තියකි.

සමීක්ෂණය සිදු කර ඇත්තේ රාගම වෛද්‍ය පීඨයේ ශ්‍රවණවේදය පිළිබඳ විශේෂ උපාධි අවසන් වසර ශ්‍රවණවේදිනියක විසිනි. මාස අටක පමණ කාලයක් මේ සඳහා වැය කර ඇත. දියුණු රටවල මෙබඳු සමීක්ෂණ හා පර්යේෂණ නිතර සිදු කරන මුත් ශ්‍රී ලංකාවේ මෙවැන්නක් සිදුවී ඇත්තේ පළමු වතාවට ය. සමීක්ෂිකාවට හා රාගම ‍වෛද්‍ය පීඨයටත් අපගේ කෘතඥතාව හිමි විය යුතුය. රියැදුරා යනු ජීවිත ගණනාවක් තම දෑතෙහි රඳවාගෙන යන පුද්ගලයෙකි. ඔහුගේ අත - පය පමණක් නොව; ඇස - කන - මනස ඉතා හොඳ ක්‍රියාකාරිත්වයකින් පැවැතිය යුතු ය. එහෙත් සමීක්ෂණය පෙන්වා දෙන්නේ රියැදුරන් අතර බිහිරන් සිටින බව ය.

වැදගත්ම කාරණය වන්නේ මේ රෝගී තත්ත්වයට බලපාන හේතු - සාධක සමීක්ෂණ වාර්තාවේ දක්වා තිබීම ය. එහි සටහන් ව ඇත්තේ දවසේ වැඩිම කාලයක් මේ අය අධික ශබ්දවලට ගොදුරු වන බව ය. බස් රථවල නළාව වෙනත් වාහනවල නළාවලට වඩා ශබ්දයෙන් වැඩි ය. අනෙක බස් රථ රියැදුරෝ නළාව නොනවත්වාම ශබ්ද කරති. රියැදුරන් නළාවෙන්ම වාහනය ධාවනය කරන බවට කතාවක් ද පවතී. ඒ හැරෙන්නට ජංගම දුරකථන කනෙහි ගසාගෙන රිය ධාවනය කරති. බස් රථවල නම්; කැසට් හා වීඩියෝ අධික ශබ්දයකින් යුතුව නොනවත්වා ම ක්‍රියාත්මක වෙයි. මගීන්ට ද මෙය හිසරදයක් වී ඇති බව පෙනී ගොස් තිබේ.

සමීක්ෂණය පෙන්වා දෙන තවත් වැදගත් සාධකයක් වන්නේ බස් රියැදුරන් අතර පවතින හෘද රෝග, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් අධිකවීම වැනි රෝග තත්ත්ව ශ්‍රවණාබාධ සමඟ සමීප සම්බන්ධතාවක් ද පවත්වන බවකි. හෘද රෝග පවතින කෙනකු බස් රථයක් ධාවනය කිරීම ද බලවත් අනතුරකට අත වැනීමකි. අධි රුධිර පීඩනයෙන් පෙළෙන තැනැත්තකු බසයක් ධාවනය කිරීම ද භයානක ය. මෙබඳු අය හිටිහැටියේ අසනීප වන්නට පුළුවන. එ නිසා ම බරපතළ අනතුරු සිදුවන්නටත් පුළුවන. අප දන්නේ අධික වෙහෙස නිසා රියැදුරන්ට නින්ද යන බව පමණි.

අප දන්නා හැටියට බර වාහන පදවන අය වසර පහෙන් - පහට තම රියැදුරු බලපත්‍රය අලුත්කරගත යුතුය. බස් රථ අයත් වන්නේ ද බර වාහන ගණයටය. රියැදුරු බලපත්‍රයක් අලුත් කිරීමේදී අදාළ පුද්ගලයා වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටිය යුතුය. අදාළ පරීක්ෂණ නිසි අයුරින් සිදු නොවන බවද, රියැදුරු බලපත්‍රය අලුත් කිරීම නිසි අයුරින් සිදු නොවන බවට ද විවේචන තිබේ. සමහරු රියැදුරු බලපත්‍රයක් නැතිව ද බස් රථ ධාවනය කරති. මේවා ගැන කියන විට පොලිසියට පමණක් දොස් පැවරීමෙන් පලක් නැත. සමස්ත සමාජයම මේ ගැන අවදියකින් සිටිය යුතුය. අවුල විසඳාගත හැක්කේ ඒ මාර්ගයෙන් පමණි.

විදේශීය සංචාරකයෙක් ශ්‍රී ලංකාවේ කුලී රථයකින් ගමනක් ගොස් අවසානයේ රියැදුරාට ස්තූති කොට ත්‍යාගයක් ද පිරිනැමුවේ ය. ත්‍යාගය දෙන අතර විදේශීය සංචාරකයා කියා සිටියේ; “ඔබ හොඳ රියැදුරෙක්; ඔබ නළාව ශබ්ද නො කොට රිය පැදෙව්වා”! යන්න ය. රියැදුරා ත්‍යාගය රැගෙන යන්නට ගියේ ය. එහෙත් ඇත්තට ම සිදු වී ඇත්තෙ එම කුලී රථයේ නළාව අක්‍රියවී තිබීම ය. මේ කතාවෙන් පෙනීයන්නේ විදේශීය සංචාරකයන්ට පවා අපේ රටේ රිය ධාවනය ගැන ප්‍රසාදයක් හා විශ්වාසයක් නැති බව ය. අපිට ඇත්තේ නළාවෙන් රිය පදවන රියැදුරන් ය.

ශබ්ද දූෂණය ශ්‍රී ලංකාවේ නගර පුරා ශීඝ්‍රයෙන් පැතිර යන්නට පටන්ගෙන තිබේ. සෑම නගරයක ම පාහේ වාහන තදබදයක් පවතී. ඒ සෑම අවස්ථාවක ම සියලු වාහන නොනවත්වාම නළාව හඬවනු දැක ගත හැකි ය. නගරයේ වීථිවල දෙපස ඇති කඩසාප්පු කැසට් හා වීඩියෝ යන්ත්‍ර අධික ශබ්දයකින් යුතුව ක්‍රියාත්මක කරයි. කඩ - සාප්පු විවෘත වන අවස්ථාවේ සිට ඒවා වසා දමන තෙක් ම අදාළ යන්ත්‍ර නොකඩවා ක්‍රියාත්මක ය. රටේ පවත්නා නීතියට අනුව ශබ්ද නිකුත් කළ යුතු “ඩෙසිබල්” ගණනක් තිබේ. එ‍‍හෙත් එම නීතිය කිසිවකු මායිම් කරන්නේ නැත. අධික ශබ්දය සහිත රථ වාහන නළා තහනම් කර ඇතත්; එම නීතිය ද ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත.

තව අතෙකින් බලන විට ශ්‍රී ලංකාව යනු රිය අනතුරු බහුල රාජ්‍යයෙකි. දිනකට මාරාන්තික රිය අනතුරු පහක්වත් සිදුවන බව හෙළිදරව් වී තිබේ. මෙබඳු අනතුරුවලට හේතු - සාධක වන සූක්ෂ්ම සාධක ගැන විමර්ශන අපේ රටේ සිදු වන්නේ නැත . රියැදුරන්ගේ  ශ්‍රවණාබාධිත තත්ත්වයන් මේ කෙරෙහි තදින් බලපාන්නට පුළුවන. පිටුපස වාහනයක නළා හඬ ද, ඉදිරිපස වාහනයක නළා හඬ ද රියැදුරකුට ඇසිය යුතුය. එහෙත් ශ්‍රවණාබාධිත පුද්ගලයකුට එය ඇසෙන්නේ නැත. එයම අනතුරකට අත වැනීමකි. බිහිරන් රථ වාහන පදවන රටක් ලෝකයේ කොතැනකවත් නොතිබිය යුතුය.

කොන්දොස්තරලා ශ්‍රවණාබාධිත පුද්ගලයන් වීම නිසා ද නොයෙක් ආරවුල් ඇතිවිය හැකි ය. දැනට ද බස් මගීන් හා කොන්දොස්තර අතර ගැටුම් පවතී. ඒවා උත්සන්න වන අවස්ථා ද තිබේ. කොයි හැටියෙන් වුව; සමීක්ෂණයෙන් හෙළිදරව් වන කරුණු සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය. එසේ නොවුණහොත් දෘෂ්‍යාබාධිත පුද්ගලයන් පවා වාහන එළවීමට පුළුවන.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...