විද්‍යා ඝාතකයන් පෝරකයට යැවූ CID වික්‍රමය 7 කොටස | දිනමිණ

විද්‍යා ඝාතකයන් පෝරකයට යැවූ CID වික්‍රමය 7 කොටස

සර්ට කෝටි දෙකක් දෙන්නම් කීවා

වව්නියාව බන්ධනාගාරයේ රැඳවම් නියෝග මත රඳවා සිටින ස්විස් කුමාර් ඇතුළු සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා ලබාගත් අධිකරණ නියෝගය අනුව එහි ගිය පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා, පළමු දිනයේ තම රාජකාරිය නිමවා එන්නට හැරෙද්දී පිටුපසින් කතා කරනු ලැබුවේ ඉෆ්ලාර් මොහොමඩ්ය.

"ආහ්.. ඉෆ්ලාර්. මාව අඳුරගත්තා නේද?

"මොකද සර් අඳුරගන්න බැරි.මම නම් කමක් නෑ කියමුකෝ.මගේ වයිෆ්.එයාත් අමාරුවේ දැම්මනේ."

"එහෙම බෑනේ ‍ඉෆ්ලාර්. එයත් වරදට සහාය දීලා තියෙනවනේ. ඒක තීරණය කෙරුවේ මම නෙවෙයි උසාවිය"

ඔහු ඉෆ්ලාර් නමැති සැකකරු මගහැර එන්නට හැරුණත් මේ මොහොතේ ඔහුගෙන්ද තම රාජකාරියට සහයක් ලබා ගැනීමට හැකියාවක් ඇත්ද යන්න උත්සාහ කර බැලීමට සිත්විය. ඒ නිසාම තමාට සුළු වේලාවක් දෙන්නැයි ඔහුට දැන් වූ පොලිස් පරීක්ෂකවරයා තමාගේ මේ මොහොතේ රාජකාරියට අදාළ නොවුණද, ඉෆ්ලාර් සමගද කතා බහ කිරීමට අවශ්‍ය බව බන්ධනාගාර නිලධාරීන්ට දැන්විය. ඒ අනුව බන්ධනාගාර නිලධාරීන්ගේද සහාය ඇතුව ඉෆ්ලාර් සමග නිදහසේ කතා බහ කිරීමට ඔහු අවස්ථාවක් උදාකර ගත්තේය.

මොහොමඩ් ඉෆ්ලාර් යනු නීත්‍යනුකූල නොවන ආකාරයට පුද්ගලයින් විදේශගත කරවන හා එසේ විදේශ ගත කරන බවට මුදල් ලබාගෙන මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වූ සැකකරුවෙකි. මෙම ජාවාරම අනාවරණය කරගනිමින් ඔහුට එරෙහිව නඩු පවරා ඇත්තේද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. එම සිද්ධියේ විමර්ශන කටයුතු සිදුකරනු ලැබුවේද නිශාන්ත ද සිල්වා මහතා ඇතුළු පිරිසකි. ඉෆ්ලාර්, බන්ධනාගාරයේදි අහඹු ලෙස හමු වූ පොලිස් පරීක්ෂකවරයාට ආමන්ත්‍රණය කරනු ලැබුවේ එකී පෙර දැන හැඳිනීම නිසාමය. නීති විරෝධී ලෙස විදෙස් ගමන් බලපත්‍ර සැකසීම, පරිගණක ආශ්‍රිත අපරාධ කිහිපයකටද චෝදනා එල්ල වූ ඉෆ්ලාර් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම 'කම්පියුටර් වැඩ්ඩෙක්' විය.

ඔහුට එරෙහිව පෙර පරීක්ෂණ සිදු කළ කාලයේ පොලිස් පරීක්ෂකවරයාගේ ජංගම දුරකථනයත්, තවත් පොලිස් නිලධාරියකුගේ ජංගම දුරකථනයත් පෙනෙන මානයේ තබා ඔහුගේ ලැප්ටොප් පරිගණකයේ කෙටි පණිවිඩයක් ටයිප් කොට එක් ජංගම දුරකථනයෙන් අනෙක් ජංගම දුරකථනයට යවා පෙන්වීමට ඔහුට හැකිවිය. එකී ජංගම දුරකථන දෙකෙන් එකක්වත් අතින්වත් නො අල්ලා සිදුකළ එම වික්‍රමය පොලිස් පරීක්ෂකවරයාගේ අමන්දානන්දයට හේතුවී තිබිණි. ඒ නිසාම ආගිය තොරතුරු, බන්ධනාගාර අත්දැකීම් කතා බහ කිරීමෙන් අනතුරුව හෙතෙම මාතෘකාවට බැස්සේය.

"අපරාධයකට අදාළ ලැප්ටොප්, ෆෝන් කීපයක් මං ගාව තියෙනවා. ඒවායේ දත්ත, වීඩියෝ වගේ දේවල් මකලා තිබුණොත් මොන විදිහකින් හරි ආයෙම ඒවා අරන් දෙන්න ඔහේට පුළුවන්ද?

"අපොයි සර්. මේ සුටුස් ගාලා අරන් දෙන්නම්. ඒවට බඩු මං ගාව තියෙනවා" ඉෆ්ලාර් කීවේය.

විද්‍යා ඝාතනයට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සතුව පැවති ජංගම දුරකථන, ලැප්ටොප්, කැමරා ආදී ‍උපකරණ කිහිපයක් ඒ වනවිටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ තිබිණි. අධිකරණ නියෝග මත ඒවායේ දත්ත පරීක්ෂා කරන ලෙස සර්ට් ආයතනයටත්, මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයටත් බාරදී තිබුණි. කොපමණ විශේෂඥ වෛද්‍යවරුන් සිටියද, ඇතැම් රෝග සඳහා ගොඩවෙදුන්ගේ ප්‍රතිකාර වැදගත් වන අවස්ථාවන්ද ඇති බැවින් ඇතැම්විට ඉෆ්ලාර්ගෙ සහාය ලබා ගැනීමට සිදුවුවහොත් ඒ සඳහා අවස්ථාවක් තිබිය යුතුය. පොලිස් පරීක්ෂකවරයා ඔහු සමග උනන්දුවෙන් කතා බහ කරනු ලැබුවේ ඒ නිසාමය. කෙසේ වෙතත් මෙම කතා බහෙන් පසුව තවත් දවස් දෙකක් ‍රාජකාරි කටයුතු සඳහා පොලිස් පරීක්ෂකවරයා බන්ධනාගාරයට පැමිණ ගියේය. එම දින දෙකෙහි වෙනත් විශේෂ යමක් සිදුනොවිණි.

ස්විස් කුමාර් ඇතුළු සිව් දෙනෙකු මෙම අපරාධය සිදුවූ දිනයේ කොළඹ රැඳී සිටි බවට කරන ප්‍රකාශ සම්බන්ධයෙන් සොයා බැලූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උ.පො.ප සම්පත් විසින් අනාවරණය කරගනු ලැබුවේ 2015 මැයි මස 08 වන දින සිට 14 වන දින දක්වා එම සිව්දෙනා කොළඹ රැඳී සිට ඇති බවයි. එනම් සැකකරුවන්ගේ ප්‍රකාශ සත්‍යයක් බවයි. ස්විස් කුමාර් වැල්ලවත්ත ලොජ් එකකින් පිටව යාමට මොහොතකට පෙර අත්අඩංගුවට ගනු ලැබීමට තොරතුරු සැපයූ ලොජ් හිමියා වූ මහේන්ද්‍රන්ට ( සැබෑ නම නොවේ) තමන් මෙම සැකකරු මීට පෙරාතුව දැක ඇති බවට මතකයට පැමිණියේද, ඒ දිනවල ඔවුන් තමන්ගේ ලෝජ් එකේ නවාතැන් ගෙන සිටි නිසාය.

දැරිය ඝාතනය වීමට පෙර දිනයේ ආලඩි හංදියේ වෑන් රථයක් නවත්වාගෙන ඇය දෙස අමුතු බැල්මෙන් බලාසිටි පිරිස අතරේද ස්විස් කුමාර් ඇතුළු මෙම සැකකරුවන් සිටිය බැව් හෙළිදරව් වී තිබිණි. ඒ 2015 මැයි මස 12 දාය. 14 තෙක් කොළඹ සිටි බවට කොළඹ සාක්ෂි සටහන් ඉතිරි කරන අතර 12 වන දින ආලඩි හංදියේ මොවුන් රැඳී සිටීමෙන් අනාවරණය වන්නේ කුමක්ද? 11 වන දින රාත්‍රීයේ ඔවුන් කොළඹින් පිටත්ව 12 වන දින ආලඩි හංදියේදී ඝාතන සැලසුමේ ඉදිරි කටයුතු සහතික කොට තමන් කෙරෙහි කිසිවෙකුටත් සැකයක් නූපදින පරිදි එදිනම යළි කොළඹට පැමිණීමය.

මේ සා සූක්ෂම ලෙස අපරාධය සැලසුම් කිරීමත්, එය නාවික හමුදා භට පිරිස් මත පැටවීමට උත්සාහ දැරීමත්, විරෝධතා-උද්ඝෝෂණ ව්‍යාපාර මගින් රජයේ ආරක්ෂක අංශ හා රජයේ දේපළ ඉලක්ක කිරීමත් නිසාම මෙය කිසියම් හුදකලා අපරාධ සිදුවීමක් සේ සැලකීමකට වඩා සංවිධානාත්මක අපරාධ කල්ලියක උපායක් විය නොහැකිද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අවධානය ඒ කෙරෙහි යොමු විය.

"මෙතෙක් එළිවෙච්චි කරුණු බොරු වෙන්න බෑ. ඒත් මේකෙ තවත් පැත්තක් තියෙන්න පුළුවන්" පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේය.

"ඔව්. සර් අපටත් සැකයි. මොකද කරන්නේ?

"මේ අයගෙන් වැඩිදුර ප්‍රශ්න කරන්නට අපට අවසර ඉල්ලලා රැඳවුම් නියෝගයක් ගන්න ඕන. වව්නියාවේ ගිහින් මේක කරන්න බෑ" පොලිස් පරීක්ෂකවරයා තීරණය කළේය.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරිමේදී හෝ සාක්ෂි සටහන් කර ගැනීමේදී බන්ධනාගාර නිලධාරියකු අසල සිටීම සාමාන්‍ය ක්‍රමවේදයයි. එවන් අවස්ථාවන්වලදී ඇතැම් සැක සහිත තැන් ගැන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඇතැම්විට සැකකරුවාගේද, තවත් විටෙක විමර්ශන නිලධාරියාගේද ස්වාධීනත්වය සීමා සහිත වේ.ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ ප්‍රධානීන්ගේ උපදෙස් අනුව නිශාන්ත ද සිල්වා මහතා විසින් මෙම අපරාධය කිසියම් ත්‍රස්තවාදී සංවිධානයක කටයුත්තක්දැයි සොයා බලනු පිණිස රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරාගෙන් දිවුරුම් පෙත්සමක් මගින් රැඳවුම් නියෝගයක් ඉල්ලා සිටියේය.

රටේ ජනාධිපතිවරයා, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා මෙන්ම සේනාධි නායකයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුදැනුම මත ලබාදුන් ප්‍රථම රැඳවුම් නියෝගය ලෙස මෙම විද්‍යා ඝාතනයේ සැකකරුවන්ගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබුණි. වව්නියාව බන්ධනාගාරයේ සිට අදාළ සැකකරුවන් සියලු දෙනාම පොලිස් මූලස්ථානයේ හතරවෙනි තට්ටුවට හෙවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැටුව එන ලදී. ඒ අනුව 2015 ජූනි 12 වන දින සිට ජූලි 15 වන දින දක්වා එක් රැඳවුම් නියෝගයක්ද, ජූලි 12 වන දින අයදුම්කොට අගෝස්තු 12 වන දින තෙක් තවත් රැඳවුම් නියෝගයක්ද ලබා ගනිමින් ස්විස් කුමාර් ඇතුළු පිරිසෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කෙරිණි. සැකකරුවන් නව දෙනා වෙනුවෙන් නිලධාරීන් නව දෙනෙකු යොදවා දිනපතා ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කර ගැනීමත්,එම ප්‍රකාශ ඔස්සේ කරුණු විශ්ලේෂණය කිරීමත් දෛනිකව සිදුවිය. 2015 ජූලි මස 24 වන දින ශිවදේවන් දුෂාන්තන් හෙවත් පෙරියඅම්බි විසින් ඝාතනයට ලක්වූ විද්‍යාගෙ කණ්ණාඩිය තමා සන්තකව ඇති බවට පළමු වරට ප්‍රකාශ කරනු ලබන්නේ එකී අවස්ථාවේදීය. (ඇයගේ කණ්ණාඩිය සොයා යාම හා පරීක්ෂණ කටයුතු සිදුවූ ආකාරය මීට පෙර සාකච්ඡා කෙරිණි).

ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ කණ්ණාඩි කුට්ටම සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු ඔස්සේ පරීක්ෂණ කටයුතු ඉදිරියට ගලාගෙන යද්දී සැකකරුවන්ගෙන් තව දුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීම් අඛණ්ඩව සිදුවිය. මේ අතර දිනක කිසියම් නඩු කටයුත්තකට අලුත්කඩේ උසාවියට ගිය පො.කො රාජපක්ෂ (37611) යළි හතරවෙනි තට්ටුවට පැමිණියේ කිසියම් ආරංචියක්ද රැගෙනය.

"සර්. ඉෆ්ලාර් කියල කෙනෙක් උසාවියෙදි හම්බවුණා. මම සී.අයි.ඩී කියලා අඳුරගත්තම මනුස්සය සර්ට කතා කරන්න ඕන කීවා"

"ආහ්.. මං එයාව දන්නවා. මොනවද කීවේ?පොලිස් පරීක්ෂකවරයා විමසුවේය.

"සර්. මං ඇහුවම කීවේ අර විද්‍යා ඝාතනයට අදාළව මොනවද තොරතුරු ටිකක් කියලා"

"ෂහ්..මනුස්සයා වැදගත් දෙයක් දෙයි. දැම්මම යමු. ඔයත් ලෑස්ති වෙන්න ආයෙම යන්න" එහෙම කියමින් හනික ලකලෑස්ති වූ නිශාන්ත ද සිල්වා, රාජපක්ෂත් සමග අලුත්කඩේට ගියේය.

"ඉතිං ඉෆ්ලාර්. මො‍කක්ද අද නඩුව?

"මේක නම් සර් පොඩි දෙයක්. මේ බොරු විදේශ ගමන් බලපත්‍රයක් ළඟ තිබුණා කියලා.." එහෙම කියමින් ඔහු ඔළුව කසන්නට විය. දැනටමත් නඩු කිහිපයක සැකකරුවකු වන ඉෆ්ලාර් රට පුරා අධිකරණ ගණනාවක විභාග වෙමින් පවතින විවිධ නඩු කිහිපයකම සැකකරුවෙකි. තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකවරයකු බවත්, මෙම සැකකරු සමග යමක් කතා බහ කරන්නට ඇති බවත් දැනුම් දීමෙන් පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් ඉෆ්ලාර් සමඟ කතා බහකට ඉඩ ප්‍රස්ථාව ලබාදෙන ලදී.

"සර් එදා හරි වැඩක් වුණානේ. මාසෙකට හමාරකට ඉස්සරලා සර් වව්නියාව බන්ධනාගාරයට ඇවිත් මාත් එක්ක කතා කරලා ගියානේ. ඒ වෙලාවෙ ඒක අර සර් හොයන අර යාපනේ කෙල්ලක් දූෂණය කරලා මරපු සිද්ධියේ ස්විස් කුමාර් දැකලා මට කතා කරානෙ. " පොලිස් පරීක්ෂකවරයාගේ ඇස් උඩ ගියේය. ඔහු පොලිස් කොස්තාපල්වරයා දෙස බැලුවේය. කිසියම් අලුත් තොරතුරක හෝඩුවාවක් ගැන ඉඟියක් දෙදෙනාටම දැනිණි.

"ෂහ්.. ඉතිං ඉතිං"

"මිනිහ මගෙන් මුලින්ම ඇහුවා සර්ව අඳුරන්නෙ කොහොමද? සර් මොන වගේ කෙනෙක්ද? සර්ගෙ දුර්වලතා ගැන දන්නවද? සල්ලිවලට එහෙම කෑදරද කියලා ඇහුවා. මං ඉතිං මං දන්න දේවල් ටිකක් කීවා. මගේ කේස් එකේදි සර් මට කරපු හදියත් කීවා"

"මං වැරදියි. අහිංසක පවුලක් හිරේ දැම්ම කීවද?

"නෑ. සර්. චීචී එහෙම කීවේ නෑ. ‍මං දැන හැඳින හිටියට සර් නීතිය හරියටම කරනවා. මගේ කේස් එකේදි මගේ පවුලත් ඇතුළට දැම්මා. එයත් තාම හිරේ කියලා මං කීවා"

"ඉතිං"

"ඊට පස්සෙ මිනිහ මාව තව ටිකක් ළඟට ගෙන්නගෙන කීවා ඒ කෙල්ල දූෂණය කරලා මරපු සිද්ධිය කෙරෙව්වෙ එයා කියලා. එයාගෙ වයිෆ්ගෙ මල්ලි කෙනෙක්ද කොහෙද මේ කෙල්ල පස්සෙන් ගිහින් චාටර් වෙලා තිබුණා. මේ දෙන්න නෑදෑයො වුණත් ආශ්‍රය කරලා තියෙන්නෙ යාළුවෝ වගේ. ඒ හින්දා මනුස්සයා මෙයාට එයා ගැන කියලා තියෙනවා. ඊට පස්සෙ කෙල්ල ලස්සනද අහලා එයාගෙ ෆොටෝ එකක් වයිබර් කරන්න කියලා. ඒක බලලා තමයි මිනිහා වැඩේ ප්ලෑන් කරලා තියෙන්නේ..?

"මනුස්සයා ඒ ෆොටෝ එක ඉස්සරලාම එහේ ඔය අපරාධ වෙබ් කරන ගැන්සියකට පෙන්නලා. ඒකට ඒ අය වහ වැටිලා. ඊට පස්සේ ස්විස් කුමාර් අර මලයට කියලා තියෙනවා උඹව නෝන්ඩි කරපු එකේ ඒකිට හොඳ පාඩමක් උගන්නපන්. මේ වගේ දූෂණය කරලා මරා දාපන්. හැබැයි ඒ හැමදේම වීඩියෝ කරලා මට එවපන්. මෙහේ වෙබ්වල ඒවාට ලොකු ඉල්ලුමක් තියෙනවා. හොඳ ගාණක් උඹටයි මටයි හම්බ කරගන්නත් පුළුවන් කියලා. පස්සෙ මලයට තනියම ඔය වැඩේ කරගන්න බැරි හින්දා තමයි මූ ලංකාවට ඇවිත් ඒක ප්ලෑන් කරලා ගැන්සියක් දාලා කරලා තියෙන්නේ?

"හොඳයි ඒක ඇත්තක් කියමුකෝ. ඒත් ඒක ඔහේට කියන්නෙ ඇයි? ඔහේගෙන් එයා ඒක කියලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? පොලිස් පරීක්ෂකවරයාට ඒ පිළිබඳ සැකයක් තිබිණි.

"මෙහෙමයි සර්. සර් මං එක්ක එදා බොහෝම ළෙන්ගතුව කතා කරානෙ. ඒකෙන් මනුස්සයා හිතලා තියෙනවා මං ලවා සර්ට කතා කළොත් මොකක් හරි සහනයක් ගන්න පුළුවන් වෙයි කියලා." ‍නිශාන්ත ද සිල්වා, රාජපක්ෂ ගේ මුහුණ බැලුවේය. ඔහු හිස සැලුවේය. ඉෆ්ලාර්ට කිසිදු සම්බන්ධයක් නැති මෙම අපරාධ සිද්ධියට අදාළව බොරුවක් ගොතා කීමට ඔහුට අවශ්‍යතාවක් නොමැත.

"හොඳයි මොකක්ද එයා බලාපොරොත්තු වෙන සහනය?

"සර්. සර්ට කෙලින්ම කෝටි දෙකක් දෙන්නම් කීවා. මේ වැඩේ පුළුවන්නම් හබක් කරලා එයාව නිදහස් කරලා දෙන්න කීවා" ඉෆ්ලාර් එවර සෘජුවම කාරණය කියා සිටියේය.

"කෝටි දෙක නම් පැත්තකට දාන්න. ඒත් ආයෙම හම්බ වුණොත් තව තවත් විස්තර මොනවත් දැනගන්න බලන්න. ඒක අපට වැදගත්"

ඉෆ්ලාර් හා සාකච්ඡාව එතැනින් හමාර විය. මේවන විට සිද්ධියට අදාළ සම්පූර්ණ චිත්‍රයක් පොලිස් පරීක්ෂකවරයාගේ මනසේ ඇඳෙමින් තිබිණි. මෙම අපරාධය, ඉතාමත් සැලසුම් සහගතව සිදුකොට සිද්ධියේ මහමොළකරුවා වූ ස්විස් කුමාර් තමන් මෙන්ම තම සමීපතමයින් ආරක්ෂා කරගනිමින් අපරාධයේ වගකීම නාවික හමුදාව පිට දමා සිද්ධියෙන් කෝටි ගණනක් හම්බකර ගැනීම අපේක්ෂා කර තිබේ.

හෙට-දුරකතන අංකයක සැකයක්

රංජිත් විජේබණ්ඩාර

නව අදහස දක්වන්න