නීරෝගී දැයක් වෙනුවෙන් ආයුර්වේද නිෂ්පාදන හඳුන්වා දුන් ගම්පහ නන්දා | දිනමිණ

නීරෝගී දැයක් වෙනුවෙන් ආයුර්වේද නිෂ්පාදන හඳුන්වා දුන් ගම්පහ නන්දා

පුද්ගලයකු කොපමණ වයසට ගිය ද, එම පුද්ගලයා ජීවිත කාලය පුරා ලබා ගත් දැනුම් සම්භාරය කිසි විටෙකවත් අපතේ යන්නේ නැත.එලෙස තමන් උගත් දැනුම මඟින් දේශීය වෛද්‍ය විද්‍යාවේ ප්‍රගමනය සාක්ෂාත් කිරීමට මෙන් ම, නව දේශීය ඖෂධ සමාජයට හඳුන්වා දෙන දිරිමත් කාන්තාවක් ලෙස ගම්පහ පදිංචි ශ්‍රී සද්ධර්ම ජෝති,කීර්ති ශ්‍රී ලංකාභිමාණී,දේශබන්දු වෛද්‍ය කීර්ති,විද්‍යා භූෂණ,පණ්ඩිත වෛද්‍ය නන්දා ගමගේ මහත්මිය හඳුන්වා දිය හැකි ය.

"මම දේශිය ආයුර්වේද ප්‍රතිකාර ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට හඳුන්වලා දීලා දැනට අවුරුදු 20 ක් විතර වෙනවා. මම ආයුර්වේද වෛද්‍යවරියක් විදිහට අත්හදා බැලීම්වලින් උගත් දෙයින් මිනිස්සුන්ට උපකාරයක්, ඒ වාගේ ම සමාජයට සේවයක් කරන්න හිතාගෙන තමයි මගේ ම නිෂ්පාදන හඳුන්වා දෙන්නේ."

ඇය ජීවිතයේ සැදෑ සමය ගෙවූව ද, ඇය සතුව පවතින අත්හදා බැලීම් මඟින් නවීන ආයුර්වේද ඖෂ‍‍‍‍ධයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව අඩු වී නොමැත. වර්තමානයේ දී විවිධ ඖෂධවලට හැකි තරම් මුදල් වියදම් කරන මිනිසුන්ට, නන්දා මහත්මිය මනා උපදේශයක් සපයන්නී ය.

"කොණ්ඩය ගිහින් තට්ටේ පෑදෙන අයට මම හඳලා තියෙනවා ආලේපනයක්. අවුන්ස ප්‍රමාණයට තමයි ආලේප කරන්න ඕන. මාස 06 ක් වගේ කාලයක් භාවිත කරලා, තට්ටේ තිබෙන පුද්ගලයන්ගේ හිසකෙස් වර්ධනය කර ගන්න පුළුවන්. ඒක ප්‍රයෝගිකව මම සනාථ කරලා තියෙනවා. බටහිර වෛද්‍ය විද්‍යානුකූලව තට්ටේ තියෙන අය හිසකෙස් වගා කීරීම් කරන්න විශාල මුදලක් වැය කරනවා. ඒත්, මිනිස්සු දන්නේ නැහැ ස්වභාවික දේශීය ආයුර්වේද ප්‍රතිකාර මඟින් ඒ දේ කර ගන්න පුළුවන් කියලා.

ඊට අමතරව පිළිස්සුම් සහ විෂ නාශක තුවාල තෛල, කේෂිකා තෛලය, පීනස් තෛල්‍ය,අළුහම් ලේපය,සදුන් ලේපය,ඉන්නන් සඳහා ලේපය,සෙමට සහ කැස්සට පේයාව,අජීරණ සුවය, අම්ල පිත්තයට පේයාව, දන්ත සුවය, සත්ව චර්ම රෝග සුවයට ආලේපන යනා දී ආලේපන තමයි මම හඳුන්වා දීලා තියෙන්නේ. "

දේශිය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට මුලීකත්වය ලබා දෙමින්, ශරීරයට හිතකර ඖෂධ නිෂ්පාදන සකස් කරන ඇය, තමන්ගේ ඖෂධ වට්ටෝරුවල ගුණාත්මක බව පිළිබඳව ද අධ්‍යයන කර ඇත.

"මම මගේ ආයුර්වේද නිෂ්පාදන ශ්‍රී ලංකාවේ කිසි ම බෙහෙත් ශාලාවක අලෙවි කරන්න දෙන්නේ නැහැ. එලෙස කරන්නේ මම බොහොම වගකීමෙන්, පරෙස්සමට සකසන මේ නිෂ්පාදන, වෙනත් නම්වලින් නිෂ්පාදනය කරන්න පුළුවන් නිසයි. ඒ නිසා මගේ නිෂ්පාදන මිල දී ගන්න පුළුවන් අපේ ආයතනයෙන් ම විතරයි.

අපේ අම්මලත් දේශීය ආයුර්වේදය හොඳින් උගත් අය . ඇය ඒ කාලේ මිනිස්සුන්ට බෙහෙත් කළේ නිකං. ඒත්, මම නම් ප්‍රතිකාරවලට සාධාරණ මිලක් නියම කරනවා. හොඳ වටිනා ඖෂධයක් මිනිස්සුන්ට හඳුන්වා දෙන්න ලැබීමත් ලොකු පිනක් කියලයි මම හිතන්නේ."

ජීවිත කාලයෙන් වැඩි ප්‍රමාණයක් වෛද්‍යවරියක වශයෙන් ඇය සමාජයට කර තිබෙන මෙහෙවර අගනේ ය.මෙවැනි දිරිය කාන්තාවකට, එසේත් නැතිනම් දක්ෂ වෛද්‍යවරියකට තමන්ගේ ගුණාත්මක නිෂ්පාදන තව තවත් නිෂ්පාදනය කරමින්, රටට මෙහෙයක් කිරීමට ශක්තිය ධෛර්යය තව තවත් ලැබිය යුතු ය.

මදාරා මුදලිගේ 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...