තුරුම්පු පිට තුරුම්පු අදින ට්‍රම්ප්ගේ පළමු බිරිය | දිනමිණ

තුරුම්පු පිට තුරුම්පු අදින ට්‍රම්ප්ගේ පළමු බිරිය

ෆවුස් මොහොමඩ්

මාතෘත්වය ගැන තම මතක සටහන් එකතු කර ඉතා රසවත් පොතක් ලියන බව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු බිරිය ඉවානා පහුගිය වස්සානයේදී නිවේදනය කළ මොහොතේ කවුරුත් සිතුවේ (පොතේ ප්‍රකාශක පවා) එය ඇය ජනපති ට්‍රම්ප්ගෙන් ලකුණු ගන්නට කරන වෑයමක් ලෙසටය. එසේත් නැතිනම් ජනපති ට්‍රම්ප් සමග ගෙවූ වසර 15ක විවාහ ජීවිතයේ රසමුසුතැන් හෙළිදරවු කිරීමේ අරමුණින් ලියන බවය. කොයි හැටිවෙතත් ඕපාදූප සොයන්නට ආයේ කාලෙකට නොලැබෙන අන්දමේ රස මසවුලක් බවට පත් කරමින් ඇය පසුගියදා ‘රයිසින් ට්‍රම්ප්‘ පොත ලියා පළ කළාය.

68 හැවිරිදි ඉවානා මේ ලියා ඇත්තේ ඇගේ ජිවිතයේ සුවිශේෂී කාලපරිච්ඡේදයක් බව පෙරවදනෙහි සටහන් වෙයි. එකළ කාර්යබහුල ව්‍යාපාරිකයකු ලෙසත්. ගැහැනුන් අතර අනංගයකු ලෙසත් ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙවූ සෙල්ලක්කාර ජීවිතය ගැන එහි කිසිවක් නැත. මුලු පොතෙන්ම ඇය කියා සිටින්නට තැත් කරන්නේ අන් කිසිවක් හෝ නොව ආදරණීය මාතාවක් ලෙස තට්ට තනිවම දරුවන් තිදෙනකු ලොකු මහත් කළ ආකාරයයි. කනිෂ්ඨ ඩොනල්ඩ්, එරික් සහ ඉවන්කා දරුවන් තිදෙනා තම සෙවණේ හැදී වැඩුණු අයුරු ඉවානා සිය පොතට පාදක කරගත් බවත් කියන්නීය.

චෙක් රාජ්‍යයෙන් අමෙරිකාවට සේන්දුවී මෝස්තර නිරූපන ශිල්පිනියක ලෙස ජීවිතය පටන් ගත් එවකට නව යොවුන් වියෙහි පසුවූ රූමත් ඉවානා සමග පෙමින් බැඳුණු ට්‍රම්ප් ඇය මනාලිය කරගත්තේ 1977දීය. එවකට 31 හැවිරිදි වියේ පසුවූ ඩොනල්ඩ්ට වසර 3කින් පමණක් තමාට වඩා බාල ඉවානා මහළු වැඩි බව කල්පනා වූයේ දරුවන් තිදෙනකුම තෑගි කළාට පසුවය. දෙදෙනාගේ විවාහ ජීවිතය 1992දී දික්කසාදයෙන් කෙළවර වෙන තැනට වැඩ සිද්ධවූයේ ඊට වසර දෙකකට පෙර ඔහු අමෙරිකානු සිනමා නිලියක වූ 26 හැවිරිදි මාර්ලා මේපල්ස්ගේ පෙම් සුව විඳින්නට යාම නිසාය. රූමත් බවට වඩා ඉතා ඉහළින් කැපී පෙනුණු මාර්ලාගේ සරාගී බව ඇයට වඩා වසර 17ක්ම වැඩිමල් ඩොනල්ඩ්ට පළමු බිරියත්, දරුවන් තිදෙනාත් අතැර යාමට තරම් ප්‍රබල එකක් විය.

ඉතින් 43 හැවිරිදි තරුණ මවක් ලෙස ඇය තම දරුවන් තිදෙනා වන 15 හැවිරිදි කනිෂ්ඨ ඩොනල්ඩ්, 11 හැවිරිදි ඉවන්කා සහ 8 හැවිරිදි එරික් හදා වඩාගැනීමට ගත් වෙහෙස ගැන පොතක් ලිවීමට කල්පනා කිරීමත් ලොකු දෙයකි. කෙසේවුවත් ඉවානාත් දික්කසාද ජීවිතය ගැන හොඳ පළපුරුද්දක් ඇති ගැහැනියකි. ඩොනල්ඩ් සමග විවාහ වීමට පෙර ඔස්ට්‍රියානු ව්‍යාපාරික ඇල්ෆ්‍රඩ් වින්ක්මේයර් සමග විවාහ වෙද්දී 22 හැවිරිදි යුවතියක් වූ ඉවානා ඩොනල්ඩ් සමග පෙමින් බැඳුණේ ඒ විවාහය වසර 2කින් කඩාකප්පල්වීමෙන් පසුවය. ඩොනල්ඩ්ගෙන් දික්කසාදවීමෙන් පසුව ඉතාලි ජාතික ව්‍යාපාරික රිකාඩෝ මසුචෙලි සමගත් (1995-1997), ඊටත් පසුව තවත් ඉතාලි ජාතික ව්‍යාපාරිකයකු වූ රොසානෝ රුබිකොන්ඩි සමගත් (2008-2009) විවාහවූවත් ඒවාටත් වැඩි ආයුෂ නොතිබිණි.

ජනපති ට්‍රම්ප්ගේ හිටපු බිරිය පොතක් ලියා පළ කිරීම අමෙරිකානුවන්ට එතරම් ලොකු දෙයක් නොවේ. එවැනි පොත් දුසිම් ගණන් කවුරු කවුරුත් පළ කරති. එසේ වුවත් ඉවානාගේ පොත කාගෙත් අවධානය දිනාගැනීමට සමත්වූයේ පොත පිට වෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී ඇය විසින් අමෙරිකානු ගුවන් විදුලියට ලබාදුන් ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ඡාව නිසාය. එය අමෙරිකානු ජනතාවට මේ පොත මිළදී ගැනිමට කදිම උත්තේජනයක් සැපයූ සම්මුඛ සාකච්ඡාවක් වූවා පමණක් නොව දැන් ධවල මන්දිරයේ තනි අයිතිය භුක්ති විඳින 71 හැවිරිදි ට්‍රම්ප්ගේ තුන්වැනි බිරිය 40 හැවිරිදි මෙලනියාගේ ඉහමොල රත් කිරීමටත් සමත්වී ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වත්මන් බිරිය රත්වී සිටින්නේ ඉවානා පොතක් ලිවීම ගැන නොවේ. ඇය විසින් අමෙරිකානු ගුවන් විදුලියට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවේදී කළ අහංකාර කතාවක් ගැනය. පොත ගැන කතා කරන්නට ගුවන් විදුලියට පැමිණි ඉවානා එහිදී කියා සිටියේ ‘හරියට බලනවා නම් මමයි පළමු ආර්යාව‘ කියාය.

ඇය කතාව පටන් ගත්තේම මෙලනියාගේ දෙසවන් රත්කළ ප්‍රකාශයකිනි.

‘මම හැම සති දෙකකට සැරයක්ම ඩොනල්ඩ්ට කෝල් කරනවා. මට එයාගේ වයිට් හවුස් එකේ ඩිරෙක්ට් නම්බර් එක දීලයි තියෙන්නේ. එයා දැන් එයාගේ දරුවෝ තුන්දෙනා තනියම ලොකු මහත් කළ එක ගැන මට ස්තූති කරනවා. ඒ විතරක් නෙවෙයි මට චෙක් රාජ්‍ය යේ තානාපතිකම දෙන්නත් හැදුවා. මමයි එපා කිව්වේ.‘ ඇය තොරතෝංචියක් නැතිව එක දිගට එසේ කියාගෙන ගියාය.

‘ඒත් මං කැමති නෑ නිතර නිතර එයාට කෝල් කරන්න. මෙලනියා ඉන්නවනේ. මට ඉරිසියාවක් හරි වෙන පටලැවිල්ලක් හරි ඇති කරන්න ඕන නෑ. මොකද මම තමයි ඩොනල්ඩ්ගේ පළමු බිරිය..පළමු ආර්යාව..හරිද..? ඉවානා එසේ ඇසක් ඉඟිමරා කී දේ මෙලනියා කෝපයට පත් කරවීමට සමත්විය.

‘ඒත් මට එයාගෙ තැන ගන්න ඕන නෑ. මං මේ කියන්නේ මෙලනියාට කොහොමත් වොෂිංටනය හරියන්නේ නෑ. එයා එහේ ඉන්න කැමතිත් නෑ වගේ.‘ ඉවානා කීවාය.

‘මට ධවල මන්දිරය සති දෙකක් ඇතුළත වෙනස් කරන්න පුළුවන්ද ගෙයක් විදිහට..? ඔව් පුළුවන්..‘ ඇයම අසා ඇයම පිළිතුරු දීමේ ආකාරයට කතා බහ මාරු විය. ‘කඩදාසියක් බලන්නේ නැතිව මට මිනිත්තු 45ක කතාවක් කරන්න පුළුවන්ද..? ඔව් පුළුවන්..‘

‘මට අලුත් සම්බන්ධතා ගොඩනගන්න පුළුවන්ද..? මට සාකච්ඡා පවත්වන්න පුළුවන්ද..? මට අමුත්තන් තෘප්තියට පත්වෙන ආකාරයට හැසිරෙන්න පුළුවන්ද..? ඔව් පුළුවන්..ඒත් මම කැමැති නෑ එහේ ඉන්න. මට මගේ නිදහස වටිනවා.‘

‘ඩොනල්ඩ් මට කෝල් කරලා ඇහුවා ඔයාට චෙක් රාජ්‍ය යේ තානාපතිකම ඕන නම් ගන්න කියලා. මං කිව්වා නෑ ඩොනල්ඩ් මට මගේ නිදහස වටිනවා කියලා.‘

‘මම සමහර වෙලාවට ඩොනල්ඩ්ට කියනවා ඔයාගේ දේශනා ඕනවට වඩා දිග් ගස්සන්න එපා කියලා.‘

‘මම කියන දේවල් එයා අහනවා. අපි කසාද බැඳලා හිටපු කාලෙත් එහෙමයි. මං ඒ කාලේ එයාට කියනවා ඔන්න ඉවන්කා ජොර්ජ්ටවුන් කැම්පස් එකට තමයි යන්න ඕනා. ඔන්න එරික් හීල් ස්කූල් එකට තමයි යන්න ඕනා හරිද කියලා. ඒ වෙලාවට ඩොනල්ඩ් කියනවා හරි ඔයාගේ කැමැත්තක් කියලා. ඒ කියන්නේ ඒ කාලෙත් මම තමයි එයාව පාලනය කළේ.‘

‘මං ඇත්තම කියන්නම්. ඩොනල්ඩ් කියන්නේ හරි කරුණාවත්ත තාත්තා කෙනෙක් තමයි. ඒ වගේම දරුවන්ට ඕන ඕන විදිහට වියදම් කරන්න ලැහැස්ති තාත්තා කෙනෙක් තමයි. ඒත් එයා දරුවන් පාක් එකට එක්කගෙන යන්න දන්නෙ නැති දරුවන්ට ෆිල්ම් එකක් බලන්න එක්කගෙන යන්න දන්නෙ නැති දරුවෝ එක්ක මොනවද කතා කරන්න ඕනා කියලා දන්නෙ නැති තාත්තා කෙනෙක්. එයාට ඕන වුණේ ළමයි ඉක්මනට ලොකු මහත්වෙලා එයාගේ ව්‍යාපාර කටයුතුවලට හවුල්වෙනවා දකින්නයි. එයාට ඕන වුණේ ළමයි එක්ක බිස්නස් ගැන කතා කරන්නයි.‘

මෙවැනි ප්‍රකාශ ගණනාවක් ඩොනල්ඩ් අරභයා ඉවානා කියද්දී අමෙරිකානු ජනතාව අසා සිටියේ අයාගත් දෑසින් යුතුවය.

එනපොට හොඳ නැති බව දැනගත් විගස ජනපති බිරිය සහ අමෙරිකාවේ පළමු ආර්යාව වන මෙලනියා හැරෙන තැපෑලෙන්ම සිය ප්‍රකාශිකාව හරහා අමෙරිකානු ගුවන් විදුලියෙන්ම ප්‍රචාරය කරන්නට නිවේදනයක් යැව්වාය.

‘ඇය පළමු ආර්යාව ලෙස ගෞරවයට පාත්‍රවීම ගැන ඉතාමත් සතුටට පත්වයි සිටින්නේ.‘ මෙලනියාගේ ප්‍රකාශිකාව ලියා යැව්වේ එසේය.

‘මෙලනියා මහත්මිය ධවල මන්දිරය ඔවුන්ගේ පුත්‍රයා වන බැරොන්ටත්, ජනපතිවරයාටත් නිවසක් බවට පත් කරලයි තියෙන්නේ. ඒ වගේම ඇය වොෂිංටනයේ ජීවත්වෙන්නත් හරි ආසයි. අමෙරිකාවේ පළමු ආර්යාව විදිහට ඇය ඉදිරියේදී දරුවන් වෙනුවෙන් ගෞරවාන්විත සේවයක නිරතවිමට අදහස් කරගෙන සිටිනවා. නැතිව පොත් විකුණන්න නෙවෙයි. පැහැදිලිවම කියනවානම් කාගෙවත් හිටපු බිරියන්ට ධවල මන්දිරයේ තැනක් නෑ. ඒවා ප්‍රලාප විතරයි.‘

ඩොනල්ඩ්ගේ හිටපු බිරිය ඉවානාගේ කතාව මෙලනියාගේ හිතට කොයිතරම් තදින් කාවැදුණාදැයි මේ නිවේදනයෙන් සිතා ගත හැකිය.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු බිරිය ඉවානා මේ සම්මුඛ සාකච්ඡාවේදී සිය හිටපු සැමියාගේ තුන්වැනි බිරිය මෙලනියා එසේ කෝප ගැන්වූවා පමණක් නොව තමා අත්හැරීමට ඩොනල්ඩ්ට උඩගෙඩි දුන් ඔහුගේ දෙවැනි බිරිය මර්ලාගේද පතුරු හැරියාය. තමා සිය සැමියාට සමාව දුන්නත් මර්ලාට නම් කිසිදිනෙක සමාව නොදෙන බව ඇය පුන පුනා කීවාය.

දරුවන් තිදෙනකු සමග මවක් හුදෙකලා කිරීම ගැන දැනට 53 හැවිරිදි වියෙහි පසුවන මර්ලා මීට කලෙකට පෙර එක්තරා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඉවානාගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත්තාය.

‘ඒත් මට එයාගේ කනගාටුවෙන් වැඩක් නැ. එයා තමයි මගේ පවුලත්, විවාහ ජිවිතයත් විනාශ කළේ. ‘ඉවානා එසේ කීවාය.

ජනපති ඩොනල්ඩ්ගේ ජනප්‍රියත්වය හරහා ඉවානා සිය ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට මෙවැනි පොතක් ලියා පළ කරන්නට ඇතැයි එල්ල වන ඇතැමුන්ගේ චෝදනා ඉවානා එකවරම ප්‍රතික්ෂේප කරන්නීය. ‘මං මේ පොත ලිව්වේ ඩොනල්ඩ්ට නෙවෙයි. එයා මේ පොතේ ඉන්නේ දරුවන්ගේ තාත්තා නිසා විතරයි. අනික මේ වගේ පොතක් ලියන්න මට ඩොනල්ඩ්ගේ අවසරය වුවමනාත් නැ.‘

 

 

නව අදහස දක්වන්න