මලින්ද පුෂ්පකුමාර ශ්‍රී ලංකා ‘ඒ’ පිල දිනවයි | දිනමිණ

මලින්ද පුෂ්පකුමාර ශ්‍රී ලංකා ‘ඒ’ පිල දිනවයි

මලින්ද පුෂ්පකුමාරගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල සමග ජැමෙයිකාවේදී පැවැති දෙවැනි සිවුදින තරගයේ ලකුණු 280ක ජයක් අත්කර ගැනීමට සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත් විය.

ඒ සමග තරග 3කින් සමන්විත සිවුදින තරගාවලිය 1-1ක් ලෙස සමකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

කඩුලු 9ක් දැවී ලකුණු 267ක් ලබාසිටියදී ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම අත්හිටවූයේ කොදෙව් පිලට ලකුණු 425ක දැවැන්ත ඉලක්කයක් ලබාදෙමිනි. එම ඉලක්කය හඹාගිය කොදෙව්වන්ට දෙවැනි ඉනිමේදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 144ක් පමණි. කොදෙව් පළමු ඉනිමේ විනාශකර දැමූ මලින්ද පුෂ්පකුමාර දෙවැනි ඉනිමේදීද විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 46කට කඩුලු 6ක් දවාගත් අතර ෂෙහාන් ජයසූරිය කඩුලු 2ක් බිඳ දැමුවේය. පුෂ්පකුමාර කොදෙව් පළමු ඉනිමේදී ලකුණු 56කට කඩුලු 6ක් බිඳ දමා තිබිණි.

සුනිල් ඇම්බ්‍රිස් ලකුණු 41ක් රැස්කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් රොෂේන් සිල්වා පන්දු 159කදී හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 86ක් රැස්කළ අතර පළමු ඉනිමේදී ශතකයක් රැසකළ දසුන් ශානක ලකුණු 60ක් හා වනිඳු හසරංග නොදැවී ලකුණු 50ක් ඉනිමට එක් කළහ. ශානකගේ ඉනිම පන්දු 85කදී හතරේ පහර 3කින් හා හයේ පහරකින් සවිමත් වූ අතර හතරේ පහර 6ක් එල්ල කළ හසරංගගේ ඉනිමට වැයවූයේ පන්දු 62ක් පමණි.

ශ්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ඉනිමට රැස්කළ ලකුණු 294 පිළිතුරු ලෙස කොදෙව් ‘ඒ’ පිලට පළමු ඉනිම සඳහා ලබාගත හැකිවූයේ ලකුණු 137ක් පමණි.

දෙපිල අතර තෙවැනි හා අවසන් සිවුදින තරගය මේ 26වැනිදා සබීනා පාර්ක්හිදී ආරම්භ වෙයි.

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම - 294යි. (ඕවර 73.3) දසුන් ශානක නොදැවී 102, ධනංජය ද සිල්වා 73, චරිත් අසලංක 41, රොෂේන් සිල්වා 30 (කියොන් ජෝශප් 32/3, ඩේමියන් ජේකොබ් 74/2, රකීම් කොන්වෝල් 85/2) සහ දෙවැනි ඉනිම - 267/9යි. (ඕවර 67.5) රොෂේන් සිල්වා 86, දසුන් ශානක 60, වනිඳු හසරංග 50 (රකීම් කොන්වෝල් 107/5)

කොදෙව් ‘ඒ’ පළමු ඉනිම - 137යි. (ඕවර 44.3) (මලින්ද පුෂ්පකුමාර 52/6, ෂෙහාන් ජයසූරිය 8/2) සහ දෙවැනි ඉනිම - 144යි. (ඕවර 54) (මලින්ද පුෂ්පකුමාර 46/6, ෂෙහාන් ජයසූරිය 48/2)

නව අදහස දක්වන්න