වයස ටිකයි වැඩ ඉහළයි | දිනමිණ

වයස ටිකයි වැඩ ඉහළයි

මංජුලා විජයරත්න

ඔස්ට්‍රියාවේ මීළඟ චාන්සලර්වරයා වීමට බොහෝදුරට ඉඩ ඇතැයි මත පළවන සෙබස්තියන් කුර්ස්, ලොව ළාබාලතම රාජ්‍ය නායකයා ද වනු ඇති බව දේශපාලන විචාරකයෝ පවසති. ඔස්ට්‍රියාවේ මීළඟ රාජ්‍ය නායකයා වීමේ සිහිනය සෙබස්තියන් කුර්ස් වෙත රැගෙන ආවේ පසුගියදා එරට පැවැති මහ මැතිවරණයේ ප්‍රතිඵලයයි. එහෙත් එය දෙකට දෙවාරණ ඡන්ද ප්‍රතිඵලයකි. එනිසා සෙබස්තියන් කුර්ස්ගේ සිහිනය ටික දවසකට වැටක් උඩට වීසි වී ඇත.

මධ්‍යස්ථ මතධාරී මහජන පක්ෂයට නායකත්වය දෙමින් සිය ඡන්ද ව්‍යාපාරය රැගෙන ගිය සෙබස්තියන් කුර්ස් අවසානයේදී සෙසු සියලු පක්ෂවල අපේක්ෂකයන් අභිභවමින් ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 31%ක් පමණ හිමි කරගත්තේය. ඒ අනුව ආසන 183කින් සමන්විත ඔස්ට්‍රියා පාර්ලිමේන්තුවෙන් ආසන 61ක් ලබාගෙන හෙතෙම සියලු අපේක්ෂකයන්ට වඩා ඉදිරියෙන් පසු වන බැව් ප්‍රකාශයට පත් කරන ලදී. තිස් එක් හැවිරිදි සෙබස්තියන් කුර්ස් නායකත්වය දුන් මහජන පක්ෂයට දෙවැනි වූයේ බොහෝ දෙනකු බලාපොරොත්තු තබා තිබූ නිදහස් පක්ෂයයි. නිදහස් පක්ෂයට ලබාගත හැකි වූයේ 27.4%ක පමණ ඡන්ද ප්‍රමාණයකි. තෙවැනි තැනට පත්, වත්මන් චාන්සලර් ක්‍රිස්ටියන් කෙරන්ගේ සමාජීය ප්‍රජාන්ත්‍රවාදී පක්ෂයට ලබාගත හැකි වූයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 26.7%ක් පමණි. මේ නිසා සෙබස්තියන් කුර්ස්ට ඉදිරියේදී නිදහස් පක්ෂය සමඟ හෝ චාන්සලර් ක්‍රිස්ටියන් කෙරන්ගේ සමාජීය ප්‍රජාන්ත්‍රවාදී පක්ෂය සමඟ හෝ සන්ධානගත වීමට වීමට සිදුව තිබේ. එවැනි සන්ධානගත වීමකින් පසු ඔස්ට්‍රියාවේ චාන්සලර් ධුරය බොහෝ දුරට හිමිවනු ඇත්තේ සෙබස්තියන් කුර්ස්ට බව මේ වනවිට පෙනෙන්නට තිබේ.

1986 වසරේ අගෝස්තු මස 27වැනිදා ඔස්ට්‍රියාවේ වියානා නුවරදී උපත ලද සෙබස්තියන් කුර්ස්, කුර්ස් පවුලේ එකම දරුවා බැව් සඳහන් වේ. ඉංජිනේරුවකු ලෙස සේවය කළ පියාත් ගුරුවරියක ලෙස ස්‌වය කළ මවත් සමඟ හැදුණු වැඩුණු සෙබස්තියන් පාසල් අධ්‍යාපනයෙන් පසු වැඩිදුර අධ්‍යාපනයට පිවිසියේ නැත. නීති උපාධියක් ලබාගැනීමට වියානා විශ්වවිද්‍යාලයට වරක් ඇතුලු වුණු සෙබස්තියන් එම අධ්‍යාපන කටයුතු පවා අතරමඟ නවතා දැමුවේ දේශපාලනයට පිවිසීමට තිබූ දැඩි කැමැත්ත නිසයි. මේ හේතුවෙන් සෙබස්තියන්ගේ ජීවිතයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඈත් වී ගියේය.

සෙබස්තියන් සිය දේශපාලන දිවියේ සැලකිය යුතු තරමේ තනතුරකට ළඟා වූයේ ඔහුට වයස අවුරුදු 23ක් පමණ වනවිට දී ය. ඒ, හෙතෙම ඔස්ට්‍රියා මහජන පක්ෂයේ තරුණ ශාඛාවෙහි සභාපතිවරයා ලෙස තේරී පත්වීමත් සමඟය. 2010 – 2011 අතර කාල පරිච්ඡේදයේදී මේ තරුණ නායකයා වියානා නගර කවුන්සිලයෙහි මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ බව දැක්වේ. ඒ සමඟම සෙබස්තියන්ට තවත් ඉහළ තානාන්තරයකට පය තබන්නට ඉඩ සැලසේ. සෙබස්තියන් කුර්ස්ට ලැබුණු නව තනතුර වූයේ ඒකාබද්ධතාවය සඳහා වූ රාජ්‍ය ලේකම් ධුරයයි. එවකට එම තනතුර අලුතින් ස්ථාපනය කරනු ලැබුණේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයෙහි එක් අංශයක් ලෙසිනි. මෙම තනතුර හරහා සිය දේශපාලන ස්ථාවරය තවදුරටත් සකසා ගත් සෙබස්තියන් නැවත පිම්මක් පනින්නේ 2013 වසරෙහි පැවැති මහා මැතිවරණයෙන් මන්ත්‍රී ධුරයක් හිමිකර ගනිමිනි. ඒ අවධියේදී ඔස්ට්‍රියා රජයේ සිටි ළාබාලතම මන්ත්‍රීවරයා වූයේ සෙබස්තියන්ය. ඔහුගේ දේශපාලන දිවිය එතැනින් එහාට වර්ධනය වන්නේ ලොව ළාබාලතම විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමත් සමඟයි.

ඔස්ට්‍රියාව යුරෝපා සංගමයේ සාමාජික රාජ්‍යයකි. එනිසා ඔස්ට්‍රියාවේ ස්ථාවරය පැහැදිලි කරනු වස් යුරෝපා සංගම් ප්‍රධානීන් සමඟ මෙන්ම ලොව විවිධ තරාතිරමේ දේශපාලන නායකයන් සමඟ කරට කර සිටින්නට මේ ලාබලම විදේශ කටයුතු අමාත්‍යවරයාට සිදු විය. ඉරාණයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවලදීත්, යුක්රේන අර්බුධයට විසඳුම් සෙවීම සඳහා පැවැති එකඟතාවලදීත්, යුරෝපයට සංක්‍රමණය වන සංක්‍රමණිකයන් පිළිබඳ ගැටලුව විසඳා ගැනීමේදීත් සෙබස්තියන් ලබාදුන් දායකත්වය කැපී පෙනෙයි. ඒ හැරුණු විට අමෙරිකා එක්සත් ජනපදය, චීනය, රුසියාව, ජර්මනිය, ප්‍රංශය සහ එක්සත් රාජධානිය යන රාජ්‍යවල ඉහළ පෙළේ දේශපාලන නායකයින් සමඟ න්‍යෂ්ටික ගනුදෙනු සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නටත් ඇතැම් අවස්ථාවලදී ගිවිසුම්වලට එළඹීමටත් සෙබස්තියන්ට ඉඩ ලැබුණේය. යුරෝපාකරයට සරණාගතයන් ඇතුළුවීම නතර කිරීම සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක පසු වුණු සෙබස්තියන් එය ප්‍රායෝගික යථාර්ථයක් කරගැනීමට දිගින් දිගටම වෙහෙසුණි. යුරෝපයට සරණාගතයන් ඇතුළුවන බෝල්කන් මාර්ගය වසා දමන්නට හෙතෙම දායකත්වය දුන්නේය. සිය රටට සරණාගතයන් ඇතුළු වන්නේ නම් ඒ කිසිවකුට වසර පහක් යනතුරු රජයෙන් කිසිඳු ප්‍රතිලාභයක් ලබන්නට අවසරයක් නොමැති බව කිසිඳු පැකිලීමකින් තොරව සෙබස්තියන් ප්‍රකාශයට පත් කිරීම සුළු කොට සැලකිය නොහැකි කාරණයකි. එමෙන්ම ඔස්ට්‍රියාවේ පවත්නා ඉස්ලාමික දේවස්ථානවල කටයුතු එරට රජයේ පාලනයට යටත්ව කරගෙන යාම සෙබස්තියන් කුර්ස් දැඩිව අවධාරණය කළේය. එම දේවස්ථානවලට විදේශ සංවිධානවලින් ලැබෙන විවිධ සහයන් නතර කිරීමට අවශ්‍ය නීති රීති සම්පාදනයට පෙරමුණ ගත්තේ සෙබස්තියන් බව සඳහන් වේ. ඔස්ට්‍රියාවේ ජීවත්වන ඉස්ලාමික බැතිමතුන්ගේ භාවිතයට රජය අනුමත කුරාණයක් නියම කිරීම සෙබස්තියන් කුර්ස් විදේශ කටයුතු අමාත්‍යවරයාගේ අනුදැනුම යටතේ සිදු විය. ඒ අනුව ඔස්ට්‍රියාවේ භාවිතයට ගත හැකි වන්නේ ජර්මන් බසින් ලියැවුණු කුරාණ ග්‍රන්ථ බව දැක්වේ. ඉස්ලාමික කාන්තාවන් හිස වසා අඳින බුර්කාව ඔස්ට්‍රියාව තුළ තහනම් කිරීමට සෙබස්තියන් කුර්ස් පියවර ගත්තේ ද සිය රටේ ජනයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වන ඉදිරි පියවරක් ලෙසිනි.

ලොව ළාබාලතම විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස සෙබස්තියන් මේ සා දැඩි තීන්දු තීරණ ගත්තේ ඔස්ට්‍රියාවේ ඉදිරි අනාගතය සම්බන්ධයෙන් පැහැදිලි ඉදිරි දැක්මක් පැවැති නිසයි. විදේශ අමාත්‍යවරයා ලෙස තමන් කළ කාර්යය සමුදාය සෙබස්තියන් කුර්ස් සිය ඡන්ද සටන ප්‍රාණවත් කරන්නට මනාව ගලපා ගත්තේය. ඔහු පළමුවෙන්ම කළේ පක්ෂයේ නම මඳක් වෙනස් කර එහි තේමාවද කාලයට ගැලපෙන ලෙස සැකසීමයි. එනිසා මහජන පක්ෂය, නව මහජන පක්ෂය ලෙස නම් කෙරිණ. ඔහු සිය ඡන්ද සටන දියත් කළේ අනවසරයෙන් සිදුවන සංක්‍රමණ නවතාලිය යුතුය යන්න පෙරටු කර ගනිමිනි. රැකියා අපේක්ෂාවෙන් සිය රටට අනවසරයෙන් ළඟා වන පුද්ගලයන්ට වෙනුවෙන් රජයෙන් කෙරෙන වියදම් කපා හැරීම ගැන ඔහු මැතිවරණ වේදිකාවේදී කතා කළේය. ඔස්ට්‍රියා වැසියන් මත පැටවෙන බදු බර කිසිවිටෙකත් වැඩි නොකිරීම තම ප්‍රතිපත්තියක් බව ඔහුගේ මැතිවරණ පොරොන්දු අතර සටහන්ව තිබිණ. නමුත් ඉස්ලාමික බැතිමතුන් වෙනුවෙන් තමන් ලිහිල් පිළිවෙතක් අනුගමනය කරන බව මැතිවරණ වේදිකාවේදී ඔහු ප්‍රකාශ කළේ නැත. මේ නිසා ඔස්ට්‍රියාවේ ඉස්ලාමික බැතිමත්හු එරට ඉදිරි දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් අන් කවරදාකටත් වඩා මේ වනවිට විමසිලිමත් නුවණින් පසුවෙති.

“මේ මැතිවරණයේ ප්‍රතිඵලවලින් පස්සේ මොකක්ද සිදුවෙන්නේ කියන එක හරිම වැදගත්. කෙසේ වුවත් ඉස්ලාමිකයන්ට විරුද්ධ න්‍යාය පත්‍රයක් මේ ඡන්ද සටන පුරා ක්‍රියාත්මක වුණා. අප සම්බන්ධයෙන් හැඟීම්බරව කටයුතු කරන එක අත්හැරලා වඩාත් ප්‍රායෝගිකව කටයුතු කරන්න මේක අවස්ථාවක්.කොහොම වුණත් අපේ ප්‍රජාතන්ත්‍රවාදය දැඩි බවත් අපේ රටේ ව්‍යවස්ථාවෙන් අප ආරක්ෂා කෙරෙන බවත් අපි දන්නවා” යැයි ඔස්ට්‍රියාවේ ඉස්ලාම් ආගමික අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක කාර්ලා අමීනා බඝජාති පවසා තිබිණ.

ලොව ළාබාලතම නායකයා වීමේ බලාපොරොත්තුවෙන් සිටින සෙබස්තියන් කුර්ස්ට එය සැබෑවක් බවට පත් කරගන්නට ඉඩක් ලැබේද?. එසේ වුවහොත් ඔහු තමන් ඉදිරියේ ඇති භයානක සහ භාරධූර ඉලක්ක ජයගන්නේ කෙසේද? යන්න ඉදිරියේදී දැක බලාගන්නට අපට ඉඩක් ලැබෙනු ඇත. එපමණක් නොව ලොව බලවත් රාජ්‍යය තරුණ නායකයන් අතට පත්වීමේ ප්‍රවණතාවයේ එක් සුවිශේෂ සන්ධිස්ථානයකට ළඟා වීමට ඔස්ට්‍රියාවටත් ඉඩක් ලැබෙනු ඇත.

නව අදහස දක්වන්න