ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම ලකුණු 294යි | දිනමිණ

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම ලකුණු 294යි

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල සමග ජැමෙයිකාවේදී පෙරේදා ආරම්භ වූ දෙවැනි සිවුදින තරගයේ පළමුව පන්දුවට පහරදුන් සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 294ක් වාර්තා කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන කොදෙව් පිල දිනය නිමාවනවිට කඩුලු 2ක් දැවී ලකුණු 14ක් රැස්කර තිබිණි.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ‘ඒ’ පිල වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත්කළ දසුන් ශානක වේගවත් ලකුණු 102ක් රැස්කළේ 5වැනි පළමු පෙළ ශතකයක ලෙසිනි. පන්දු 108ක් පමණක් වැය කළ ඔහුගේ ඉනිම හතරේ පහර 5කින් හා හයේ පහර 8කින් වර්ණවත් විය. ඔහු රොෂේන් සිල්වා (30) සමග එක්ව 6වැනි කඩුල්ලට ලකුණු 105ක් රැස්කිරීමට සමත් විය.

නායකත්වයේ ඉනිමක් දියත් කළ ධනංජය ද සිල්වා පන්දු 89කදී හතරේ පහර 6ක් සමගින් ලකුණු 73ක් රැස්කළ අතර චරිත් අසලංක (41) සමගින් තෙවැනි කඩුල්ලට ලකුණු 92ක සබඳතාවක් පිහිටුවීය.

පන්දු යැවීමේදී කියොන් ජෝශප් කඩුලු 3ක් දවාගත් අතර ඩේමියන් ජේකොබ්ස් හා රකීම් කෝන්වෝල් කඩුලු 2 බැගින් බිඳ දැමූහ.

තරග 3කින් සමන්විත මේ සිවුදින තරගාවලියේ පළමු තරගයෙන් ඉනිමක හා ලකුණු 13ක ජයක් අත්කරගත් කොදෙව් පිල මේ වනවිටත් 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත්ව සිටී.

ශ්‍රී ලංකා ‘ඒ’ - 294යි. (ඕවර 73.3) දසුන් ශානක නොදැවී 102, ධනංජය ද සිල්වා 73, චරිත් අසලංක 41, රොෂේන් සිල්වා 30 (කියොන් ජෝශප් 32/3, ඩේමියන් ජේකොබ් 74/2, රකීම් කෝන්වෝල් 85/2)

 

නව අදහස දක්වන්න