මහින්දගේ අජූත තර්ක | දිනමිණ

මහින්දගේ අජූත තර්ක

ශ්‍රීලනිපයේ නිර්මාතෘ බණ්ඩාරනායක මහතාගේ දැක්ම අනුව අඛණ්ඩව ගමන් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරට ජනවාර්ගික අර්බුදය අතිශයින් තීරණාත්මක අවස්ථාවකට පැමිණ තිබූ 1988 වර්ෂයේ පවා ජාතික ගැටලුව සම්බන්ධයෙන් වන බණ්ඩාරනායක දැක්ම වෙතින් ඉවත් නොවීය. ඒ බව මනාව තහවුරු වන්නේ 1988 ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකත්වය දුන් “ප්‍රජාතන්ත්‍රවාදී බලවේගය” (ඩී.පී.ඒ) විසින් 1988 11 24 වැනිදා නිකුත් කළ ප්‍රකාශන ෙයනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 17 වැනිදා නිකුත් කළ දීර්ඝ මාධ්‍ය නිවේදනය ගැන මේ වන විට සමාජය තුළ යම් සංවාදයක් ආරම්භ වී තිබෙනවා. මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව වගේම මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය නිවේදනයත් හොඳ හැටි කියවපු බොහෝ දෙනෙක් කියන්නේ මහින්ද රාජපක්ෂ සුපුරුදු පරිදිම බොරු සහ මිත්‍යා කතා මගින් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ ක්‍රියාවලිය අඩපණ කිරීමට තැත් කරන බවයි. ඒ වගේම බලය බෙදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය කාලය පුරාම දැරූ ඉතා පැහැදිලි ස්ථාවරය මහින්ද රාජපක්ෂ විසින් හිතාමතා විකෘති කරන බවයි.

මුල සිටම බොරු කීම 

මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය ආරම්භයේ සිටම කරුණු විකෘති කිරීමක් සේම ජනතාව නොම යැවීමට ගන්නා කුහක ප්‍රයත්නයක් වශයෙන් සැලකිය හැකියි. මහින්ද රාජපක්ෂ තමන්ගේ මාධ්‍ය නිවේදනය ආරම්භ කරන්නේ “නව ව්‍යවස්ථාවක් සඳහා යෝජනාවලියක් ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවේ සභාගත කර ඇත” යනුවෙන් සඳහන් කරමිනි.

ඒත් ඉතා පැහැදිලිව පසුගිය සැප්තැම්බර් 21 වැනි දින අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කළේ මහින්ද රාජපක්ෂගේ අතිජාත ගෝලයන් දෙදෙනකු ද වන දිනේෂ් ගුණවර්ධන හා ප්‍රසන්න රණතුංග ද සහභාගි වූ “මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව” පමණයි. ( මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව ගැන කේලම් කියන්න ගිය දිනේෂ් ගුණවර්ධනට මල්වතු නාහිමියන් ද මේ බව මතක් කළ බව අප අමතක නොකළ යුතුයි) මෙය ඉතා පැහැදිලිවම නව ව්‍යවස්ථාව සම්බන්ධ යෝජනාවලියක් නොව ඒ සඳහා පදනම් වන ලේඛනයක් පමණයි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් දක්වා යාමට තව බොහෝ දුර ගමන් කළ යුතුයි. ඒ නිසා ආරම්භයේදීම ව්‍යවස්ථා බිල්ලෙක් මැවීමට යාමට පෙර මහින්ද රාජපක්ෂ තමන්ගේ හෘද සාක්ෂියෙන් ඇත්ත නැත්ත විමසා බැලිය යුතුයි. මන්ද මහින්දලා මේ අන්දන්න හදන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාව නිසා.

කියන කොට එහෙමයි

ඊළඟ මහින්ද රාජපක්ෂ තමන්ගේ මාධ්‍ය නිවේදනය මගින් කියනවා “මුළු ව්‍යවස්ථාවම වෙනස් කිරීමට මේ ආණ්ඩුවට ජනවරමක් ලැබුණේ නැත” කියලා. මහින්ද මෙහෙම කියන කොට අපිට අහන්න තියෙන්නේ 2010 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට යාවජීව ජනාධිපති ක්‍රමයක් ඇති කර ගැනීම සඳහා ජනවරමක් දුන්නේ කවුද ? කියලයි. මොකද මහින්ද රාජපක්ෂ විසින් 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කිසිම තැනක අලුත් ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ධුර දෙකේ කාලය ඉවත් කරමින්, 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් මුළු පාර්ලිමේන්තුවම එකඟ වූ ස්වාධීන කොමිසන් සභා අහෝසි කර ඒකාධිපති පාලනයකට පාර කපන කුප්‍රකට 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් ගැන ජනවරමක් ඉල්ලා සිටියේ නැහැ. ඒ වගේම මහින්දට 2010 දී ජනතාව 2/3ක බලයක් ලබා දුන්නෙත් නැහැ. ඒත් ජනවරමකින් අනුමත කර නොගත්, ජනවරමකින් ලබා නොගත් පාර්ලිමේන්තු කෘත්‍රිම බලයක් මගින් මහින්ද රාජපක්ෂ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය කළා.

මහින්ද රාජපක්ෂ මහතා ජනවරමක් ගැන කතා කරනවා නම් අපට ඔහු හා සම්බන්ධ තවත් උදාහරණ ලබාදිය හැකියි. උදාහරණයක් විදිහට මහින්ද රාජපක්ෂ මහතා විසින් 2005 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ “මහින්ද චින්තනය” නම් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ “අලුත් ශ්‍රී ලංකාවක් - නොබෙදුණු රටක්” ඡේදය යළි කියවා බලන ලෙස මහින්ද රාජපක්ෂ මහතාට යෝජනා කළ හැකිය.

“... උතුරු හා නැඟෙනහිර පවත්නා අර්බුදය පිළිබඳව නැවුම් ලෙස සිතන්නටත් අලුත් විසඳුම් මඟක් සෙවීමටත් මම අදිටන් කරගෙන සිටින්නෙමි... ” යනුවෙන් ආරම්භ වන මේ ඡේදයේ තවත් තැනක මහින්ද රාජපක්ෂ අවධාරණය කරන්නේ “... සාම්ප්‍රදායික නිජබිම්, ස්වයං නිර්ණය අයිතිය වැනි මූලධර්මයන්හි සිර නොවී, සියලු පුරවැසියන් සතු බලය උපරිම ලෙස ශක්තිමත් කෙරෙන සාමකාමී දේශපාලන විසඳුමක් ඇති කර ගැනීම මාගේ ප්‍රමුඛ ඉලක්කයයි. මා බලය පිරිනමන්න බලාපොරොත්තු වන්නේ පුරවැසියා වෙතටයි. මා බලය ලබා දිය යුතු වන්නේ පුරවැසියා අතටයි. ශක්තිමත් හා බලවත් පුරවැසියෙකු නිර්මාණය කිරීම මගින් ජාතික ගැටලුවට විසඳුම් සොයා ගත හැකි වනු ඇතැයි මම විශ්වාස කරමි. එහිදී ඉහත පිළිගැනීම්වලට අනුව ජන සම්මතවාදයේ මූලික ඉගැන්වීම වන බහුතරයේ මතයට මම එකඟ වෙමි. මගේ තනි මතය වෙනුවට මම බහුතර ජනතා මතය පිළිගන්නෙමි...” මේ මහින්ද රාජපක්ෂ 2005 ජනපතිවරණයට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එක් උපුටා ගැනීමක් පමණයි. “ ජන සම්මතවාදයේ මූලික ඉගැන්වීම වන බහුතරයේ මතයට මම එකඟ වෙමි. මගේ තනි මතය වෙනුවට මම බහුතර ජනතා මතය පිළිගන්නෙමි...” යනුවෙන් කී මහින්ද රාජපක්ෂ බලය අල්ලා ගත් වහාම කළ කී දෑ මේ රටේ ජනතාවට අමතක නැතැයි අපට විශ්වාසය. ජන සම්මතවාදය පිළිගන්නේ යැයි කී මහින්ද රාජපක්ෂ එදා සිට 2015 බලය අහිමි වන මොහොත තෙක් කළ කී දෑ ඔහු ජන සම්මතවාදය කෙසේ වෙතත් නාසිවාදය, පොල්පොට්වාදය, ස්ටැලින්වාදය, ෆැසිස්ට්වාදය නම් පිළිගන්නා බව හරි අපූරුවට පැහැදිලි කළේය.

සුළු ජාතීන් නැති රටක් හැදීම

“බහුතර සම්මුතියක් - ගෞරවනීය සාමයක් ” රටට උදා කිරීම සඳහා “... දැනට ප්‍රජාතන්ත්‍රවාදයට පිවිස නැති දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය සමඟ මම ඍජුව සාකච්ඡා ආරම්භ කරමි. ඒ සඳහා එහි නායකයා මුණ ගැසීමට ද මම අදහස් කරමි” මේ මහින්ද රාජපක්ෂ තමාට ජනාධිපති වීම සඳහා ජනවරමක් ලබා ගැනීමට 2005 දී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයයි. අද මහින්ද රාජපක්ෂ 2015 ජනවාරි 08 දා ගැන කරන ප්‍රකාශය ඔහුට ආදේශ කළහොත් රට හමුවේ නිරාවරණය වන චිත්‍රය කොතරම් අජූත දැයි අප මොහොතකට කල්පනා කළ යුතුය. ... මගේ තනි මතය වෙනුවට බහුතරයේ ජනතා මතය පිළිගන්නෙමි... කොටි නායකයා මුණ ගැසීමට ද මම අදහස් කරමි” කී මහින්ද රාජපක්ෂ අවසානයේ නතර වූයේ ලංකා ඉතිහාසයේ අපකීර්තිමත්ම, ප්‍රජාතන්ත්‍ර විරෝධීම දශකයක පාලනයක් නිමා කරමිනි. එහි මහින්ද ජනවරම ඉල්ලා සිටි අවස්ථාවේදී අවධාරණය කළ “ජනසම්මතවාදය, බහුතරයේ කැමැත්ත”ගෑවීවත් තිබුණේ නැත. තිබුණේ තනි කැමැත්ත හා පවුලේ කැමැත්තම පමණකි.

ගෞරවනීය සාමයක් ගැන පොරොන්දු දී ජනවරම ලබාගත් මහින්ද රාජපක්ෂ අවසානයේ රටට ලබා දුන් ඊනියා සාමය ගැන කතා කිරීමට තරම් දෙයක් නැත්තේ 2009 මැයි 19 වැනිදා යුද ජයග්‍රහණයෙන් උදම් වෙමින් මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුව අමතා කළ විශේෂ ප්‍රකාශයේ සඳහන් වුණ ... සුළු ජාතීන් කියන වචනය අපි මීට වසර තුනකට පෙරදීම අපේ ශබ්ද කෝෂයෙන් ඉවත් කළා. තවදුරටත් මේ රටේ දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ආදි කිසිවෙක් සුළු ජාතීන් නොවෙයි. දැන් මේ රටේ ඉන්නේ ජාතීන් දෙකයි. එකක් රටට ආදරය කරන ජාතිය. අනෙක උපන් බිමට ආදරයක් නැති සුළු පිරිස. රටට ආදරයක් නැති පිරිස දැන් සුළු පිරිසක් බවට පත් වෙලා..”

සුළු ජාතීන් කියන පදය ශබ්ද කෝෂයෙන් ඉවත් කළ බවට පාරම් බෑ මහින්ද රාජපක්ෂ පසුගිය කාලය පුරා හැසිරුණු ආකාරය හා හැසිරෙමින් සිටින ආකාරය අනුව අපට ඔහුගේ සැබෑ තත්ත්වය අවබෝධ කරගත හැකිය.

බලය බෙදීම හා ශ්‍රීලනිපය

අද “යහපාලන ආණ්ඩුවේ ජනවරම” ගැන කතා කරන, බලය බෙදා හදා ගැනීමට මාරාන්තික විරෝධයක් දක්වමින් යළි " ෆෙඩරල් බිල්ලෙක් " මවා පෑමට තැත් කරන මහින්ද රාජපක්ෂ බලය බෙදා

ගැනීම සම්බන්ධයෙන් වන ශ්‍රීලනිපයේ දීර්ඝ කාලීන ස්ථාවරය නොදැන සිටීමට කිසිඳු ඉඩක් නැත. එසේ නැතහොත් හිටපු ජනපතිවරයා කරන්නේ තම දේශපාලන පැවැත්ම වෙනුවෙන් ඉතාම අවස්ථාවාදී ලෙස ශ්‍රීලනිපයේ දීර්ඝ කාලීන මතයක් අමු අමුවේ පාවාදීමකි.

දමිළ සමාජය “ ෆෙඩරල් ක්‍රමයක් ගැන සිහිනෙන්වත් සිතා නොසිටි, කතා නොකළ සමයකදී ‘ෆෙඩරල් ක්‍රමයක්” ගැන ශ්‍රී ලංකාවේ මුලින්ම කතා කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසිනි. ඒ 1926 ජූලි 17 වැනිදා “සිලෝන් මෝර්නිං ලීඩර් පුවත්පතට” සැපයූ ලිපියක් මගිනි. “ලංකාවට ෆෙඩරල් ක්‍රමයක් අවශ්‍ය ඇයි ?” යන මාතෘකාව යටතේ මේ ලිපිය මගින් බණ්ඩාරනායක මහතා මෙසේ තර්ක කළේය.

“... ඉතිහාසය දෙස බලන විට පෙනෙන දෙයක් නම්, දෙමළ, පහත රට සහ උඩරට සිංහල යන ජන කොටස් අවුරුදු 1000කට වඩා මේ රටේ ජීවත් වී සිටි නමුදු, ඔවුන් එක්වීම සඳහා කිසිඳු සූදානමක් පෙන්වා නැත. ඔවුහු තම තමන්ගේ චාරිත්‍ර, භාෂා සහ ආගම් වෙන වෙනම පවත්වා ගෙන යති. මේ වෙනස් ක්‍රම ක්‍රමයෙන් ආහෝසි වී යනු ඇතැයි සිතිය හැක්කේ මෝඩයෙකුට පමණකි. ෆෙඩරල් ආණ්ඩු ක්‍රමයක් තුළ සිදුවන දෙයක් නම් සෑම ෆෙඩරල් ඒකකයකටම තමන් පිළිබඳව සියලු බලතල ලැබීමයි...”

මේ ආකාරයෙන් ලංකාවට ෆෙඩරල් ක්‍රමය සුදුසු වන්නේ කුමන හේතු මතදැයි කරුණු පැහැදිලි කරන බණ්ඩාරනායක මහතා තම ලිපිය අවසානයේදී ... මේ ක්‍රමයට විරුද්ධව දහසකුත් එකක් තර්ක ඉදිරිපත් විය හැකි වුවත්, එම විරුද්ධතා අඩුවී ගියාට පසු, ෆෙඩරල් ආණ්ඩු ක්‍රමය ලංකාවට තිබෙන එකම විසඳුම බවට පත් වනු ඇත” යනුවෙන් ද අනාවැකි පළ කරයි.

1926 දී ෆෙඩරල් ක්‍රමයක් ගැන විශ්වාසය තැබූ බණ්ඩාරනායක මහතා අගමැති වී 1957 ජූලි 26 වැනිදා “චෙල්වනාගම්” මහතා සමඟ බලය බෙදා හදා ගැනීමට සුප්‍රකට “රට සභා පනත” අත්සන් කිරීමට තැත් කළත් ඊනියා අන්තවාදීන්ගේ තර්ජන හමුවේ එකී පියවර ආපසු ගත්තේය. ( පසුගියදා දිනේෂ් ගුණවර්ධනට මේ බව මල්වතු නාහිමියෝ අවධාරණය කළහ) එදා ගිවිසුම ඉරා දමමින් බණ්ඩාරනායක මහතා අනාවැකි පළකළ ආකාරයට අන්තවාදය හා අවස්ථාවාදය රට අගාධයටම තල්ලු කළ ආකාරයට ජනතාවට රහසක් නොවේ.

යුද සමයේ ශ්‍රීලනිපයේ ස්ථාවරය

ශ්‍රීලනිපයේ නිර්මාතෘ බණ්ඩාරනායක මහතාගේ දැක්ම අනුව අඛණ්ඩව ගමන් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරට ජනවාර්ගික අර්බුදය අතිශයින් තීරණාත්මක අවස්ථාවකට පැමිණ තිබූ 1988 වර්ෂයේ පවා ජාතික ගැටලුව සම්බන්ධයෙන් වන බණ්ඩාරනායක දැක්ම වෙතින් ඉවත් නොවීය. ඒ බව මනාව තහවුරු වන්නේ 1988 ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකත්වය දුන් “ප්‍රජාතන්ත්‍රවාදී බලවේගය” (ඩී.පී.ඒ) විසින් 1988 11 24 වැනිදා නිකුත් කළ ප්‍රකාශන ෙයනි. එහි (1) බලය විමධ්‍යගත කිරීමේ ඒකකය යන ඡේදයේ, ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය විමධ්‍යගත කිරීමේ ප්‍රතිපත්තිය පිළිගනී.

(2) උතුරු හා නැඟෙනහිර පළාත් දෙකට සීමා වූ නමුත් එම ප්‍රදේශයන්හි පිහිටි බහුල වශයෙන් මුස්ලිම් වර්ගයාගෙන් සැදුම් ලත් ඒකකයන් ඇතුළත් නොවන, බහුල වශයෙන් දෙමළ වර්ගයාගෙන් සැදුම්ලත් ඒකකයන් වශයෙන් සැලකීම.

(3) මඩකළපුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල මුස්ලිම් වර්ගයා බහුල වශයෙන් පදිංචි ප්‍රදේශ ද ඇතුළත් අම්පාර දිස්ත්‍රික්කය මූලස්ථානය ලෙස සලකමින් බහුල වශයෙන් මුස්ලිම් වර්ගයාගෙන් සැදුම්ලත් ඒකකයක් වශයෙන් සැලකීම.

මෙහි “බලය විමධ්‍යගත කිරීම” යනුවෙන් සඳහන් (2) ඡේදයේ (අ) හි සඳහන් වූයේ “මධ්‍යම ආණ්ඩුවට වෙන් කොට ඇති ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ බලය හැරුණු විට, සෙසු රාජ්‍ය බලය ජනමතයෙන් තෝරන ලද ප්‍රාදේශීය ආණ්ඩුවලට පවරනු ලැබේ.. යනුවෙනි.

මේ අතර 1989 මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කළ “සාධාරණ හා සාමකාමී සමෘද්ධිමත් සමාජයක් සඳහා” මැයෙන් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ “ජනවාර්ගික ගැටලුව පිළිබඳ ප්‍රකාශනය”නම් ඡේදයේ සඳහන් වූයේ ... බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුමේ අඩංගු ප්‍රතිපත්ති වර්තමාන වාතාවරණය හා සැබෑ තත්ත්වයට ගැළපෙන සේ සංශෝධනය කර සකස් කර, නොවිසඳී ඇති සියලු ජනවාර්ගික ප්‍රශ්න නිරාකරණය කෙරෙන සියලු ජන කොටස්වලට පිළිගත හැකි ස්ථිර විසඳුම් පද්ධතියක් ක්‍රියාත්මක කරනු ඇත” යනුවෙනි.

ශ්‍රීලනිපයේ ස්ථාවරය තවත් ඉදිරියට ගිය හැටි

1988 -89 කාලයේ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලනිපය තුළ කැපී පෙනෙන හෝ බලවත් චරිතයක් නොවූ නිසා එම යුගයේදී ශ්‍රීලනිපයේ ස්ථාවරයෙන් ගැලවී යාමේ හැකියාවක් ඔහුට ඇත. එහෙත් 1994 යනු මහින්ද රාජපක්ෂ ශ්‍රීලනිපය තුළ ප්‍රබල භූමිකාවක් නිරූපණය කළ අවධියකි. පාද යාත්‍රා යමින් එජාපයේ 17 වසරක පාලනය නිමා කළ 1994 මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ (මහින්දගේ වචන අනුව ජනවරම ලබා ගැනීමට) “ජනවාර්ගික අර්බුදය හා අපේ විසඳුම” යනුවෙන් වූ පරිච්ඡේදයේ සඳහන් වන්නේ අද නම් මහින්ද රාජපක්ෂ මහතාට එලොව පොල් පෙනෙන කතාවක්.

යුද්ධය යුද්ධයෙන් පරාජය කළ හැකියි, ඒත්, යුද්ධය නැතත් යුද්ධයක් ඇති වෙන එක නතර කරන්න බැහැ. ඒ නිසා මේ සඳහා දේශපාලන විසඳුමක් ඕනෑමයි. ජාතිය නිසා, ආගම නිසා, භාෂාව නිසා බෙදුම්වාදී යුද්ධ ඇවිළුණ රටවල් ඒ ප්‍රශ්න විසඳා ගත්තේ බලය බෙදලයි. එවැනි අරගල මතුවුණු, ඒත් බලය නොබෙදූ සෑම රටක්ම කැඩුණා. වෙන් වුණා. බලය නොබෙදා ජාතිවාදී අරගල නවත්වපු රටක් නැහැ. බලය නොබෙදා ආගම්වාදී අරගල නවත්වපු රටවල් නැහැ. බලය නොබෙදා භාෂා අරගල නවත්වපු රටවලුත් නැහැ. අපේ උත්සාහය බලය බෙදා රට නොබෙදීමයි...”

මේ මහින්ද රාජපක්ෂ බලවත් චරිතයක් වුණ ශ්‍රීලනිපය 1994 මහ මැතිවරණයට ජනතාව හමුවේ තැබූ තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ බලය බෙදීම ගැන කියන ආකාරයයි. මහින්ද රාජපක්ෂ කම්කරු ඇමැති වන්නේ මේ ජනවරමට පින් සිදුවන්නයි.

මහින්ද රාජපක්ෂ මහතා ද කැබිනට් මණ්ඩලයේ සිටි, පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව (ජී.එල්. පීරිස් මහතා නායකත්වය දුන් කණ්ඩායම) විසින් 1995 ජනවාරි 06 වැනිදා ඉදිරිපත් කළ “පොදුජන එක්සත් පෙරමුණු රජයේ දේශපාලන යෝජනාවලිය” සැලකිය හැක්කේ ලංකාවේ රාජ්‍යයේ ව්‍යුහය (ඒකීයභාවය) ඉවත් කළ ප්‍රධානම දේශපාලන යෝජනාවලිය වශයෙනි. (අද ද ඉදිරිපත්ව ඇත්තේ එවැනිම යෝජනාවලියක් පමණකි) එහි (ix) අක්ෂරය යටතේ “බලය බෙදීමේ සැලස්ම” යනුවෙන් (9.1) ඉතා පැහැදිලිව සඳහන් වූයේ,

(9.1) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන

(අ) ශ්‍රී ලංකා ජනරජය එක්සත් ස්වෛරී ජනරජයකි. එය පළාත් සංගමයක් වේ” යනුවෙනි.

එදා ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය නියෝජනය කරමින් ප්‍රබල තැනක සිටි මහින්ද රාජපක්ෂ මහතා “ඒකීයභාවය” වෙනුවට “එක්සත් ස්වෛරී” ජනරජයක් ආදේශ කිරීම ගැන මීක් ගානු පවා අප දුටුවේ නැත.

මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය නම් අපට තවත් අවස්ථාවක් මතක් කර දිය හැකිය. ඒ එතුමාද සිටි ආණ්ඩුව විසින් සම්පාදනය කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත (2000)යි. පසුගියදා හිටපු ජනාධිපතිනිය විසින්ම ප්‍රකාශ කළ ආකාරයට “ඒකීය” යන වචනය 2000 ව්‍යවස්ථාව තුළ තිබුණේ නැත. ඒ වෙනුවට එහි සඳහන් වූයේ 1995 ජනවාරී 06 යෝජනා අනුව යමින් “එක්සත් ස්වෛරී ජනරජයක් / පළාත් සංගමයක් ” යන වචනයයි. අද මහින්ද රාජපක්ෂ මහතාට ඒ බව අමතක නම් 2000 ව්‍යවස්ථා කෙටුම්පතේ 15 වැනි ඡේදයේ “පළාත් වෙත බලය බෙදාදීම” යන ශිර්ෂය යළි කියවා බැලිය හැකිය.

රටේ ඒකීයභාවය අහෝසි කරමින්, උපරිම බලය බෙදාහැරීමක් සහතික කළ 2000 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට එරෙහිව මහින්ද රාජපක්ෂ කැරලි ගැසුවේ හෝ අද මෙන් මාධ්‍ය නිවේදන නිකුත් කරමින් රට ගිනි තැබුවේ නැත. ඒ වෙනුවට නිකං බලා සිටියේය. එදා 2000 ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කර ගැනීමට හැකි වුණේ නම් අද ඒකීයභාවය වෙනුවෙන්, බලය බෙදා ගැනීම වෙනුවෙන් මාරාන්තික සටන් කිරීමට සූදානම් මහින්ද රාජපක්ෂ කුමක් කරනු ඇත්ද ?

අද මහින්ද රාජපක්ෂ කරන කියන දෑ පිටුපස දුවන්නන් වාලේ දුවන ජනතාව මහින්දගේ මේ ඉතිහාසය යළි කියවා බැලිය යුතු බව අපි අවසාන වශයෙන් යෝජනා කරමු.

භාතිය බරුකන්ද 

නව අදහස දක්වන්න