ගමේ කඩවලට සතොසෙන් අඩු මිලට සහල් | දිනමිණ

ගමේ කඩවලට සතොසෙන් අඩු මිලට සහල්

ලංකා සතොස මඟින් සහල් වර්ග 4ක් සඳහා නියම කර ඇති සහන මිල රට පුරා පාරිභෝගිකයන්ට ලැබෙන පරිදි ලංකා සතොස, සතොස තොග ‍මධ්‍යස්ථාන හා සතොස අලෙවිසල් ජාලය මඟින් ග්‍රාමීය ප්‍රදේශවල වෙළෙන්දන්ට සහල් බෙදා හැරීමේ වැඩපිළිවෙළක් ඇරැඹේ.

ජීවන වියදම් අනුකාරක සභාවේ තීරණය පරිදි ලංකා සතොස මඟින් සුදු කැකුළු සහල් කිලෝව රුපියල් 64, නාඩු රුපියල් 73, කැඩුණු සහල් රුපියල් 60 සහ සම්බා රුපියල් 83 වශයෙන් සහන මිල ගණන් නියම කර තිබේ.

මෙම සහනය කොළඹින් පිට ග්‍රාමීය පාරිභෝගිකයාටත් ලබා දීමේ අරමුණින් රට පුරා ක්‍රියාත්මක වෙළෙඳ සංගම් සමඟ සාකච්ඡා කර වෙළෙන්දන්ට අවශ්‍ය සහල් ප්‍රමාණ කොපමණදැයි සොයා බලා වාර්තා කරන ලෙස ලංකා සතොස ශාඛා කළමනාකරුවන් සහ ප්‍රාදේශීය කළමනාකරුවන්ට දැනුම්දී ඇති බව ලංකා සතොස සභාපති ආචාර්ය නීතීඥ ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා පවසයි.

ටෙන්ඩර් මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ සිට පොන්නි සම්බා සහල් කිලෝවරුපියල් 80 දක්වා අඩු කිරීමට හැකි වනු ඇතැයිද ඒ මහතා සඳහන් කරයි.

ජීවන වියදම් පිළිබඳ අනුකාරක සභාවේදී ගත් තීන්දු තීරණ අනුව ලංකා සතොස මඟින් ආරම්භ කර ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රට පුරා බෙදා හැරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වීම සඳහා සතොස මූලස්ථානයේ ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව කීය.

සහන මිල නියම වූ සහල් වර්ග හතර රට පුරා බෙදා හැරීමේ ජාලය ක්‍රියාත්මක වීමෙන් පසු හාල්මැස්සන්, අල, ලූනු වැනි අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් පැවැසීය.

'තොග මධ්‍යස්ථානවලට අමතරව ලංකා සතොස අලෙවි සල් 370ක් ද රට පුරා ක්‍රියාත්මක වෙනවා. මේවා හරහාත් තොග වශයෙන් සහල් ගමේ තිබෙන සිල්ලර කඩයට ගෙන යාමේ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. ජීවන වියදම වැඩි වෙන්න ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ කොළඹ සිට සහල් ගමට යන විට අතරමැදියන් අතට පත් වීමයි. උදාහරණයක් විදිහට අපට නාඩු සහල් කිලෝව රුපියල් 69ක තොග මිලට ගන්න පුළුවන් වුණත් ඒ සහල් කීපදෙනෙක් අතට ගිහින් ඒ අයගේ ලාබය සහ ප්‍රවාහන වියදම් එකතු වුණාම ගමට යනවිට කිලෝග්‍රෑමයක මිල රුපියල් 80ක් 90ක් දක්වා වැඩි වෙනවා. මේක රජයත්, ජීවන වියදම් කමිටුවත් තේරුම් ගෙන තිබෙනවා. ඒ අනුව කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා ලංකා සතොසට සහ සතොසට උපදෙස් දී තිබෙනවා මෙවැනි ක්‍රියාමාර්ගයක් අරඹා ලංකා සතොසට ලාභයක් තියාගන්නේ නැතිව වුවත් හැකි පමණ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ජනතාව අතට පත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියලා.

පසුගිය කාලයේ ඇතිවූ දැඩි නියං තත්ත්වය නිසා වී අස්වැන්න 50%කින් පමණ අඩුවී තිබෙන නිසා ඇති විය හැකි ආහාර හිඟය වැළැක්වීම සඳහා ජීවන වියදම් කමිටුව ක්‍රියාමාර්ග කීපයක් ගෙන තිබෙනවා. ඒ අනුව ලංකා සතොස හරහාත් අනෙකුත් සුපිරි වෙළෙඳසල් හරහාත් සහල් අඩුමිලට බෙදා හැරීමටත් කටයුතු කර තිබෙනවා.

ඒ වගේම ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේ දී තීරණය කළා සහල් මෙට්‍රික් ටොන් 5ක් මේ ගෙන්වීම අවශ්‍යයි කියලා. මේ වනවිට ලංකා සතොස හොඳම වර්ගයේ නාඩු හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට පියවර ගත්තා. එහි පළමු තොගය මේ වනවිට ලැබී තිබෙනවා. ලබන දෙසැම්බර් වනවිට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයම අපට ලැබෙනවා යැයි කීය. 

සිතාරා සේනානි, අසේල ලියනගේ

නව අදහස දක්වන්න